යකා දෙවියා සහ බෙහෙත් හිඟය

1156

ඖෂධ මිල ඉතා වේගයෙන් ඉහළ යමින් පවතී. තෙල් මිලත් ඉහළ ගියා නම්, ගෑස් මිලත් වැඩි වුණා නම්, සියලුම කෑම ජාති මිල නැග්ගා නම් බෙහෙත් මිල විතරක් බහින්නට විදිහක් නැති බවට කිසියම් උගතෙක් තර්ක කරනවා ඇත. රට ඉතාම දුෂ්කර සමයක තිබියදී ආණ්ඩුව 21 වැනි සංශෝධනය බදාගෙන නටන බව පෙනේ. 21 වැනි සංශෝධනය යනු දැනට තිබෙන ප්‍රශ්නවලට විසඳුම් දීම කල් ඇරීම සඳහා යොදන ලද වැඩපිළිවෙළක් බවට සැකයක් අප තුළ පවතී. මේ සංශෝධන එන්නට තව අවුරුදු එකහමාරක් පමණ ගත වෙනවා ඇත. ඒ වන විට ආණ්ඩුවේ කාලය අවසන් ය. කන්න නැති නිසා ජනතාවගේ කාලයත් අවසන් ය.

 මෝසම් වර්ෂාවට සමගාමීව දැනට එළඹී ඇති යල කන්නය රසායනික පොහොර හිඟය නිසා අල වී ඇති බවක් පෙනේ. කෙසේ හෝ කුඹුරට ගොස් වැඩ පටන් ගන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ජනතාවගෙන් ඉල්ලයි. කුඹුරක පැළ සිටුවීමට පෙර අවස්ථා කිහිපයක් එළඹෙයි. මුලින්ම වල්නාශක යොදා කුඹුරේ වල්පැළ මර්දනය පළමු අවස්ථාවයි. දෙවනුව වතුර බැඳීම සිදු වේ. ඊළඟට වතුර බස්සවා පැළ සිටුවිය යුතුය. මෙවර යල කන්නය සඳහා කුඹුරට බසින ගොවියන්ට වල්නාශක නැත. රසායනික පොහොරත් නැත. මහින්ද අමරවීර ගොවියන්ට කියන්නේ රසායනික පොහොර ලැබෙන්නේය යන අධිෂ්ඨානය සහිතව කුඹුරට බැස වැඩ පටන් ගන්නා ලෙස ය. මෙය සමාන වන්නේ 70 – 76 සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ හැදූ නැගෙනහිර කඩදාසි කර්මාන්ත ශාලාවට ය. කඩදාසි සෑදීමට විශේෂ දැව වර්ග අවශ්‍යය. මේ දැව අඹරා පල්පයක් බවට පත්කර කඩදාසි සාදනු ලැබේ. එහෙත් ලංකාවේ එවැනි විශේෂ දැව වර්ග වැවෙන්නේ නැත. වවන්නට ඉඩකුත් නැත. මේ නිසා මේ රටේ කඩදාසි හදනවා නම් ඊට අවශ්‍ය දැව පල්පය පිටරටින් ගෙන්විය යුතුය. මේ නිසා කඩදාසි සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන විශාල වනගහනයක් නැති කිසිදු රටක් කඩදාසි කම්හලක් විවෘත කරන්නේ නැත. රසායනික පොහොර ලැබේය යන අපේක්‍ෂාවෙන් කුඹුරට බසින ගොවියාට රසායනික පොහොර නොලැබුණු විට සියදිවි නසා ගන්නට සිදු වේ. කුඹුරක පැළ සිටුවීම දක්වා වූ තැනට ඇති පියවර සඳහා විශාල මුදලක් අවශ්‍යය. මේ මුදල ලබා ගැනීම සඳහා ගොවියා කරන්නේ එක්කෝ ගේදොර උකස් තැබීම ය. නැත්නම් රත්‍රන් බඩු උකස් තැබීමය. නො එසේ නම් 20% ගිනි පොලියට ණය ගැනීම ය. මේ ණය සියල්ල ගෙවා ගැනීමට හැකි වන්නේ කුඹුර සාර්ථක වුවහොත් පමණි. රසායනික පොහොර නැති කුඹුර තණකොළ බිස්සක් පමණක් බවට පත්වන අතර එමගින් පිදුරු මිස වී කරල් නොලැබේ. මෙවිට ගොවියාට සිදුවන්නේ සියදිවි නසා ගැනීමටය. වගා ණය ගෙවා ගැනීමට නොහැකිව සියදිවි නසා ගැනීමට බැරි වූ ගොවීන් ගැන පසුගිය කාලයේදී අපට වාර්තා විය. මෙවර එවැනි ගොවීන්ට සියදිවි නසා ගැනීමට සිදුවන්නේත් නැත. මන්ද යත් සියදිවි නසාගැනීම පිණිස පානය කිරීම සඳහා පරණ පුරුදු මැහිතෙල් අද ඔවුනට නැති බැවිනි. එබැවින් සාර්ථක ලෙස සියදිවි නසා ගැනීම සඳහා මැහිතෙල් හෝ වල්නාශක පිටරටින් ගෙන්වන තුරු බලා සිටීමට ඔවුනට සිදුවේ.

 අපි නැවතත් බෙහෙත් ගැන කතා කරමු. ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය රට හා සමානවම රෝගී වී ඇත. රෝහල්වල බෙහෙත් සහ වෛද්‍ය උපකරණ නැත. මේ වෛද්‍ය උපකරණ සහ බෙහෙත් හැම විටම පාහේ එන්නේ චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය වැනි රටවලිනි. මෙහිදී පාකිස්තානය සහ ඉන්දියාවේ ඖෂධ ගැන ඒ තරම් විශ්වාසයක් තබනු නොලැබේ. ඊට හේතුව තම තමන්ගේ ගෙවල් පිටිපස්සේ හැදූ කුඩා මඩුවක සිට කංහැන්දෙන් බෙහෙත් කැප්සියුල් පුරවන උප කොන්ත්‍රාත්කරුවන් ඉන්දියාවේ හා පාකිස්තානයේ සිටීමය. සාමාන්‍යයෙන් කැප්සියුල්වලට බෙහෙත් පුරවන යන්ත්‍ර ඉතා මිල අධිකය. එසේම ඒවායින් කැප්සියුල් පුරවන විට වේස්ට්ඒජ් වශයෙන් 20% ක පමණ කැප්සියුල් ප්‍රමාණයක් අපතේ යයි. මේ පාඩුව පියවා ගැනීම සඳහා බෙහෙත් කොම්පැනි අයිතිකාරයා කරන්නේ එක සිලි සිලි බෑගයක දැමූ බෙහෙත් කුඩු තොගයකුත් තවත් සිලි සිලි බෑගයක දැමූ හිස් කැප්සියුල් තොගයකුත් කංහැන්දෙන් බෙහෙත් පුරවන කර්මාන්තකරුවන්ට සැපයීමය. අද වන විට කංහැන්දෙන් පුරවන බෙහෙත් පවා ඉතා විශාල ලෙස මිල ඉහළ ගොස් තිබේ. රුපියල් 7 ට තිබූ ඇස්ප්‍රීන් කාඩ් එකක් රුපියල් 70 වන අවස්ථා ඇත. රුපියල්  7 ට තිබුණු එක 70 වූ විට එය දරා ගැනීමට පුළුවන. එහෙත් රු. 700 ට තිබූ බෙහෙතක් රුපියල් 7000 දක්වා ඉහළ ගියහොත් එය කිසිසේත් ම දරාගැනීමට නොහැක. මේ වන විට ශත 10 ට තිබූ විටමින් C පෙති ආගිය අතක් නැත. පැරසිටමෝල් පෙත්තේ මිල පවා ඉතා අධික ලෙස ඉහළ ගොස් තිබේ. මේ වන විට ෆාමසිවලට එන කිසිවෙක් සම්පූර්ණ බෙහෙත් කෝස් එක මිලට නොගනිති. උදාහරණයක් ලෙස දොස්තර මාසයකට බෙහෙත් ලියූ විට ලෙඩා මිලට ගන්නේ සතියක බෙහෙත් පමණි. ඇතැම් විට මාසයක බෙහෙත් කෝස් එකක් සඳහා රුපියල් දසදහසක් පමණ වැය වන අවස්ථා තිබේ. එවිට රෝගියා කරන්නේ අතේ තියෙන රුපියල් 2500 න් සතියකට අවශ්‍ය බෙහෙත් ගැනීමය. සතියක් බෙහෙත් පාවිච්චි කිරීමේදී රෝගයෙන් චුට්ටක් හොඳ වේ. එහෙත් මෙය ඉතා හානිදායකය. ඇතැම් ප්‍රතිජීවක ඖෂධ හෙවත් ඇන්ටිබයටික් වර්ග පුරා මාසයක් පාවිච්චි කළ යුතුමය. එය මගින් නැවැත්වූ විට ඊළඟ අවස්ථාවේදී එය ශරීරයට අවශෝෂණය කරගනු නොලැබේ. මාසයේ බෙහෙත් සතියකට ගත් විට ඊළඟට හැදෙන ලෙඩවලට බෙහෙත් කිරීම භාර වන්නේ දොස්තරට නොව දෙවියන්ට හෝ යක්‍ෂයාට ය.

 අත්‍යවශ්‍ය බෙහෙත් වහාම ගෙන්වාදීම සඳහා වැඩපිළිවෙළක් යොදා ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළේය. මේ වැඩපිළිවෙළ කොතරම් දුරට ක්‍රියාත්මක වීද යන්න අපි නොදනිමු. කෙසේ වුවද බෙහෙත් වර්ගවල මිල පහත හෙළීම රජයේ වගකීම වේ. මිනිසුන් ගෝඨාභයට ඡන්දය දුන්නේ සාධාරණ මිලට බෙහෙත් ලබාගැනීමටත් එක්කය.

advertistmentadvertistment
advertistmentadvertistment