යටපත් කරන ප්‍රජාතන්ත්‍රීය අයිතිය

75

මැතිවරණ ක්‍රියාකාරිත්වය බිඳ දැමීම සඳහා රජය විසින් නොගන්නා උත්සාහයක් නොමැති තරම්ය. මේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීමට දරන සියලු ප්‍රයත්නයන් නීති විරෝධී යැයි මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන කියයි. ස්වාධීන මැතිවරණ කොමිසම මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටිය ද මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදීම පිළිබඳ රතු එළි මහා භාණ්ඩාගාරය වෙතින් නිකුත් වෙමින් තිබේ. නමුත් මැතිවරණ කොමිසම කියා සිටින්නේ මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් අවශ්‍යතාවයන්හි ප්‍රමුඛතාවය මත කඩින් කඩ ලබාදීම ප්‍රමාණවත් වන බවයි.

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමට පවත්නා බලවත් අපහසුතාව ගැන රජයේ මාධ්‍ය ප්‍රකාශකයා නිරන්තරයෙන් කියා සිටී. මෙහි බරපතළ ම කාරණය වන්නේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙත මැතිවරණ කටයුතු අඩපණ කිරීම සඳහා කරන ලද තර්ජනයන්ය. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කළ බවට

පැතිරගිය ප්‍රචාරයන් සමාජයේ මහත් අවධානයට ලක්විය. නමුත් තමුන් ඉවත්වීමට අදහස් නොකළ බව කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය. මෙය මැතිවරණයක ශක්තිමත්ම යාන්ත්‍රණය නිහඬ කිරීමට දරන සහාසික ප්‍රයත්නයකි.

මෙම සන්දර්භයේ දී අවධානයට යොමුවිය යුතු කරුණ වන්නේ මෙම තර්ජන එල්ල වන්නේ කාගෙන්ද යන්නයි. ඒ පිළිබඳ සැක සහගත ඇඟවීමක් හෝ දැනගැනීමට නොහැකි වී ඇත. මේ සම්බන්ධයෙන් රහස් තොරතුරු අංශ දැනුවත් කර ඇති බව ද කියැවේ. නමුත් ඒ ඔස්සේ නිශ්චිත තොරතුරු හෙළිදරව් කරගත හැකිවේ ද යන්න ගැන සැක සංකා ජන සමාජයේ මතුවේ. එයද සාධාරණය. එවැනි සැක සහගත අවිනිශ්චිතභාවයන් පහළ වීමට අවශ්‍ය තරම් කරුණු කාරණා ගණනාවක් වත්මන් සමාජ දේශපාලන පසුබිමේ ඇති විය.

කොමිසමේ සාමාජිකත්වය දරන සාමාජිකයෝ ද මීට පෙර රජයේ විවිධ පරිපාලන ක්‍ෂේත්‍රවල හා ප්‍රමුඛ රාජ්‍ය ආයතනවල කටයුතු කළ නිලධරයෝ වෙති. මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන කේ. පී. බී. පතිරණ මහතා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරිවරයෙකි. පසුගිය කාලයේ පැවැති රාජ්‍ය පාලනයන් බලයට ගෙන ඒමට සුවිශේෂී කාර්ය කොටසක් ඉටුකළ අයෙකි. වත්මන් පාලනයේ බල අධිකාරියේ පැවැත්ම, පැවැති එම පාලනයේම කොටසක් බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම පාලනය සවිමත් කිරීමට විශාල මෙහෙයක් ඉටුකළ පුද්ගලයෝ මැතිවරණ කොමිසමේ සිටිති.

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් වන චාල්ස් මහත්මියගේ ඉවත්වීම ද මෙම තර්ජනාත්මක ඇඟවීමේ බලපෑමකැයි යම් හැඟීමක් ජන සමාජයට මුසුකර ඇත. නමුත් ඇය ද දීර්ඝකාලීනව වත්මන් පාලනයේම පැවැති බල අධිකාරියක උසස් නිලධාරිනියකි. ඇගේ ඉවත්වීම මත මැතිවරණ කොමිසමේ සංයුතිය වෙනස් වුවද, ගැටලුකාරී තත්ත්වයක් නොමැති යැයි කොමිසමේ සභාපතිවරයා කියා සිටිය ද තීරණාත්මක අවස්ථාවක දී මෙම ස්වභාවය ඍජු බලපෑමක් ඇති නොකරනු ඇතැයි කිව නොහැක.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් රටේ ආර්ථිකය තවදුරටත් අර්බුදයට යනු ඇති බව ආණ්ඩුවේ නියෝජිතයන් කියා සිටිය ද මැතිවරණය නොපැවැත්වීමෙන් එම ස්වභාවය වහාම සමනය වනු ඇතැයි පිළිගත නොහැක. ඒ සඳහා පැහැදිලි දැක්මක් ද නැත. මෙම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ක්‍ෂණිකව ඇතිවූ හිතුවක්කාරී ක්‍රියාකාරිත්වයක් ද නොවේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත කාලසීමාව ද ඉකුත් වී ඇත. පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් පාර්ලිමේන්තුවේ සම්මත වූයේ මීට පෙර ඉදිරිපත් කළ විසර්ජන පනත මගිනි. සම්මත කරගන්නා ලද ආදායම් වියදම් ඇස්තමේන්තුවල ගැටලුකාරී තත්ත්වයන් පැවැතිය හැක. එය මෙරට ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාවලියට තර්ජනාත්මකව මතුකර ගැනීමට දරන ප්‍රයත්නයක් මෙහි ඇති බව පැහැදිලිය.

වත්මන් පාලනය, පැනනැඟී ඇති මෙම අර්බුදයේ වගකීම ද මෙරට ජනතාව වෙත නැවත වටයකින් ආරෝපණය කිරීමට වෑයම් කරයි. මෙම ආර්ථික පරාජයන් හා මූල්‍ය කළමනාකරණයේ වගකීම් විරහිත ස්වරූපයට මෙරට ජනතාව කිසිසේත් වගකිව යුතු නැත. ජනතාවගේ පීඩාකාරිත්වය අරගලකාරී ස්වරූපයෙන් මතුවීම පැවැති ආර්ථික ව්‍යසනයේම ඵලයක් මිස ඇතිවූ ආර්ථික පරාජය අරගලකාරිත්වයේ ප්‍රතිඵලයක් නොවේ.

පවත්නා ආර්ථික අර්බුදය ඉදිරියට දමමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් වන මැතිවරණ අයිතිය හකුළා දැමීමට තරම් දුර්දාන්ත ප්‍රතිචාරයක් ඇතිකිරීමට දරන ප්‍රයත්නය අයුක්තිසහගතය. එවැනි තත්ත්වයකට මුහුණ දීමට හේතු වූ අයුක්ති සහගත මූල්‍ය පරාජයන්ට තුඩුදෙන ක්‍රියාන්විත මෙරට පොදු ජනයා විසින් දියත් කළේ නැත. ඒ අනුව ආර්ථික අර්බුදය ඉදිරියට දමමින් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උදුරාගැනීමට දරන උත්සාහය පිළිකුල්සහගතය.

ආර්ථිකය නිවැරැදි මාවතකට යොමු කිරීමේ දී කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීමට සැලසුම් කළ ද අප විසින් යෝජනා කළ කාර්යයන් ඒ විදියට ම සිදුකරන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියා සිටී. ජනපතිවරයා මේ කියා සිටින්නේ බදු ප්‍රතිපත්තිය හා ඊට එරෙහිව පැනනැඟෙන ප්‍රතික්‍රියාවන් පිළිබඳවයි. මේ යටතේ ඇතිවී තිබෙන ජනතා පීඩාකාරිත්වය මේ වනවිට ද සමාජය මත පුපුරා යමින් තිබේ. මෙම දුෂ්කර කාලපරිච්ඡේදය තවත් ඉදිරියට දිවයන බවත් එය ද බදු ප්‍රතිපත්තිය යටතේ ම ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටී. ආර්ථික පරිහානිය යටතේම පීඩාවේ පරිධිය තව තවත් පුළුල් වෙමින් පවතින බව මින් පැහැදිලිය.

මෙම ස්වභාවය සමනය කිරීමේ උපක්‍රමයක් වශයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සිදුකිරීමට නියමිත යැයි ජනපතිවරයා කියයි. මෙම වැටුප් වැඩි කිරීමේ සංකල්පය ඇත්ත වශයෙන්ම ආර්ථිකය ප්‍රසාරණය කිරීමේ ශක්තිමත් පිළියමක් ද යන්න විවාදාත්මකය. එය කෙටිකාලීන සරල විසඳුමක් විය හැක. ශක්තිමත් දීර්ඝකාලීන ආර්ථික මෙහෙයුමක අවශ්‍යතාවය මේ මොහොතේ දී මතුවී ඇත. සැබැවින්ම වියයුත්තේ නිෂ්පාදනය පුළුල් කිරීම හා විශේෂයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහුල කිරීමයි.

භාණ්ඩ නිෂ්පාදනය පහළ යෑම හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟකම යටතේ භාණ්ඩවලට ඉහළ මිලක් නියමවීමත් එම තත්ත්වය සමනය කිරීමේ විසඳුමක් ලෙස වැටුප් වැඩිකිරීමත් ආර්ථික අභිවෘද්ධියක ප්‍රකාශනයක් ලෙස පිළිගත නොහැක. මීට ඇති එකම විසඳුම මුදල් අච්චු ගැසීම යැයි යෝජනාවක් ද ඉදිරියට එනු ඇත. මෙය පවත්නා අර්බුදයට කිසිසේතම සුබවාදී වූ ඉඟිකිරීමක් නොවන බව පැහැදිලිය.

ප්‍රියන්ත සිල්වා – මොරටුව

advertistmentadvertistment
advertistmentadvertistment