යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී එක්දරු පියාගේ පාදයක් ඉවතට: පැදිකරු බාලවයස්කාරයෙක්

208

මාරවිල දූවවත්ත ප‍්‍රදේශයේ දී ඉකුත්දා යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරෙන් තුවාලකරුවන් පස්දෙනකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කළ බවත් එක්දරු පියකුගේ පාදය ඉවත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට යැවූ බව මාරවිල පොලිසිය කියයි.

යතුරුපැදිය පැදවූ 16 හැවිරිදි තරුණයාට රියැදුරු බලපත‍්‍ර නොමැති බව පැවසූ පොලිසිය, ඔහු හා අනතුරට පත් අනෙක් යතුරුපැදියේ පැමිණි කාන්තාව ද පසුව හලාවත මහා රෝහලට ඇතුළත් කළ බව පැවසීය.

හලාවත දෙස සිට වෙන්නප්පුව වෙරළබඩ මාර්ගයේ පැමිණි තරුණයන් දෙදෙනකු සහිත නවීන පන්නයේ යතුරු පැදියක ආ එක් අයෙකු ජංගම දුරකථනයෙන් සෙල්ෆි ගසමින් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද, අධික වේගයෙන් පැමිණ ඇතැයිද පොලිසිය පැවසීය.

වෙන්නප්පුව දෙස සිට හලාවත දෙසට ආ යතුරු පැදියෙන් මව, පියා දරුවා ද සමග පැමිණ තිබුණි. එම කාන්තාවගේ (මවගේ) පාදයද උකුල ප‍්‍රදේශයෙන් බිඳී ඇතැයිද සැකකාර තරුණයා පැදවූ යතුරුපැදියේ හා 15 හැවිරිදි අනිත් තරුණයාද මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයිද, 5 හැවිරිදි දරුවාට සුළු තුවාල සිදුව ඇතැයිද පොලිසිය කියයි.

අනතුරින් තුවාල ලබා ඇත්තේ නාත්තන්ඩිය තබ්බෝව පදිංචි පෙදරේරුවකු වූ ඩබ්ලිව්. ඒ. සනුර ඩිලාන් (34) හා මනෝරි නිසංසලා (29) යන අඹුසැමි යුවළය. සැකකාර පැදිකරු වූ මාරවිල හත්තිනිය පදිංචි එම්. දිමුත් සංජය (16), ඔහු සමග පැමිණි තල්විල ඞී. මලීෂ ගිහාන් (15) හා දියණිය නිශානි අනුරාධි (5) යන පස් දෙනාය. අධි බලැති යතුරුපැදියක් මොවුන් ධාවනය කර ඇති බව පොලිසිය කියයි.

විමර්ශනවලින් පසුව හා රෝහලින් ඉවත් වූ පසු සැකකාර තරුණයා මාරවිල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙසේ වුවද කකුල කැපූ පියාගේ තත්ත්වය බරපතළ බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුර පිළිබඳව නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරි පර්සි මයිකල් සහ මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ප‍්‍රියන්ත රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත මාරවිල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති ජී. කේ. එම්. යූ. ගජනායක, සැරයන් (54678) රෝහිත, (59214) රත්නායක, කොස්තාපල් (67251) සුමිත් යන නිලධාරීහු තවදුරටත් පරීක්ෂණ පවත්වති.

නාත්තන්ඩිය – රෙක්ස් හැරිසන්

advertistmentadvertistment
advertistmentadvertistment