යන නොයන IMF (ගියොත් එහෙමයි – නොගියොත් මෙහෙමයි)

2474

ශ‍්‍රී ලංකාව සුවිශාල ඩොලර් අර්බුදයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේදී මේ රටේ වැඩි හරියකගේ ප‍්‍රශ්නය වී ඇත්තේ හෙට කන්නේ කොහොමද යන කාරණය නොව ආණ්ඩුව IMF යනවාද නැද්ද යන්නයි. මෙසේ ප‍්‍රශ්න කරන වැඩි දෙනා IMF යනු සංචාරක පුරයක් ද, සුපර් මාර්කට් එකක් ද, පොළක් ද, සුරුට්ටු කඩයක් ද, නොඑසේ නම් ස්පා එකක් ද යන්න නොදනිති. ඒ අතර ක්ෂණිකව පහළ වී සිටින ආර්ථික විශේෂඥයන් සමූහයක් IMF යා යුතු සහ නොයා යුතු බව කියමින් ගහ මරා ගැනීමට සූදානම් වෙති. එක්සත් ජාතීන්ගේ අනුගාමික ආයතනයක් සහ රටවල් 190 කින් සමන්විත වන IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට අවුරුදු 77 ට පෙර 1945 දී ඇමරිකාවේ වොෂින්ටන් ඞී සී නගරයේදී බිහි කරන ලද්දේ ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් කැපකරු පියකු ලෙස ක‍්‍රියාකිරීම පිණිසය. එසේම ලෝකයෙන් දුප්පත්කම තුරන් කිරීම ද මෙහි අරමුණයි. ලෝක ප‍්‍රකට අර්ථ ශාස්ත‍්‍රඥයන් වූ Harry Dexter White සහ Jhon Keynes යන දෙදෙනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිහි කිරීමේදී සංකල්පික සහ න්‍යායාත්මක දායකත්වය දැක්වූහ. නූතන ලෝකයේ ගෙවුම් ශේෂ ප‍්‍රශ්නවලදී ලොකුවටම ඉදිරිපත් වන බේරුම්කරුවා වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ය. එහි සාමාජිකත්වය දරන රටවල් 190 තම තමන්ගේ ආර්ථිකයන්වල හටගන්නා මූල්‍ය අර්බුදවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ලබා ගනිති.

මේ අරමුදල තුළ ඩොලර් බිලියන 850 ට වැඩි මුදල් සංචිතයක් ඇත. එය ලෝකයේ ධනවත්ම මිනිසා වන Elon Musk ගේ සමස්ත ධනය මෙන් තුන් ගුණයකි. බිල් ගේට්ස් ගේ ධනය මෙන් හය ගුණයකි. ඉහත සඳහන් වගන්තිය අප සඳහන් කරන්නේ ලෝකයේ රටවල් 190 ක් එකතු වී පිහිටුවා ගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තරමටම හෝ ඉන් අඩක් පමණ හෝ වත්කමක් ඇති තනි මිනිසුන් මෙලොව සිටින බව පැහැදිලි කරනු පිණිසය. මේ ලෝකයේ ධනය බෙදී ගොස් ඇත්තේ බෙහෙවින් අසමාන ලෙසය. පිලිපීනයේ සමස්ත ධනයෙන් 90% ට වඩා ඇත්තේ පවුල් 600 ක් අතය. ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය වන ඉන්දියාවේ සමස්ත ධනයෙන් 80% ක් එම සුවිශාල රටේ සිටින ධනවත් පවුල් දහසකට ටිකක් වැඩි පිරිසක් අතේ පවතින බව කියනු ලැබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළදී ධනවාදය ඉහළට නගින්නේ පූසා පොල් ගස් නගින්නාක් මෙනි. ගස් නගින පූසා පරිදිම නගින තරම් ඉක්මනින් බිමට බැසීමට ධනවාදයට නොහැක. එවිට ගහ උඩ සිටින ධනවාදය දෙස බලමින් ඉතා දුක් සහගත ජීවිතයක් ගෙවීමට නිර්දන පංතියට සිදුවේ. එහෙත් නිර්දන පංතිය අතට බලය යෑම ද සුදුසු නැත. එවිට එම පන්තිය තුළ සිටින මී හරක් රැුළ කන්ට්‍රෝල් කරගත නොහැකිව ලොකු ප‍්‍රශ්නයක් මතුවේ. අපේ කතාව පීලි පැන ඇති බවක් හැෙඟයි. එබැවින් නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ කතන්දරයට බසිමු.

ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ගන්නා පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමට නොහැක. එම ආයතනය බොහෝ විට සපයන්නේ ඉතා අඩු පොලියට ආපසු අය කර ගන්නා මුදල් ආධාර ය. මෙම සංවිධානය ඇතැම් රටවල ඇතැම් ව්‍යාපෘති සඳහා ණය නිකුත් කරන නමුදු ඒ සඳහා ඉතා ක්ෂුද්‍ර නාමික පොලියක් පමණක් අය කරයි. නැතහොත් කිසිදු පොලියක් අය නොකරයි. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන් දෙන මුදල්වලට ඒ ඒ රටවලදී සිදුවන්නේ කුමක් ද යන්න ගැන විශාල ඕනෑකමකින් කටයුතු කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසියම් රටකට සපයන මුදල් ආධාරය දෙන්නේ කොටස් වශයෙනි. එම මුදල් දීමට පෙර ඔවුහු කොන්දේසි රැුසක් පනවති. එම කොන්දේසි ක‍්‍රියාත්මක නොවන්නේ නම් පළමුවැනි වාරිකයෙන් පසු ඉතිරි මුදල් වාරික එම සංවිධානයෙන් ලබා ගැනීමට හැකිවන්නේ නැත. එමතු ද නොව යළි කවදාවත් එම සංවිධානයෙන් ආධාර මුදලක් ලබා ගැනීමට නොහැකි වීමේ අවදානමට අදාළ රට පත්වෙයි. කොන්දේසි කඩන රට යළි මුදල් ආධාර ලබා ගැනීමට නම් පෙත්සම් ගණනාවක් ලිවිය යුතුය. අලූත් කොන්දේසි ගණනාවකට යටත් විය යුතුය. මහ පාරේ මහ දවල් ගමන් කරමින් සිටියදී ඇඳ සිටින වස්තරය ගලවා දීම වැනි වැඩකට පවා එකඟ විය යුතුය.

කිසියම් රටකට මුදල් ආධාරයක් ලබා දීමේදී පනවන කොන්දේසි සඳහා කොන්දේසි යන වචනය පාවිච්චි නොකිරීමට තරම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෘදුය. ඒ සඳහා ඔවුහු Structural Adjustment හෙවත් ව්‍යුහය නැවත හරිගැස්සීම යන යෙදුම යොදයි. මෙය සමාන වන්නේ පොලිසිය පාවිච්චි කරන අවම බලය යන යෙදුමට ය. පොලිසිය අවම බලය කියන්නේ බැටන් පොල්ලෙන් ඔළු පලූ වන පරිදි සහ කකුල් කැඩෙන පරිදි පහර දීමටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්නා රටවල් සඳහා ඔවුන් පනවන Structural Adjustment මෙසේය; රටේ විවිධ වියදම් කපා දැමිය යුතු බව ඔවුහු කියති. රටේ සම්පත්වලින් උපරිම සාරය උරා ගැනීමටත් සෘජු අපනයන කටයුතු කිරීමටත් හැකිවන පරිදි ආර්ථිකය හරිගස්සා ගන්නා ලෙස ඔවුහු කියති. ඔවුන්ගේ තවත් යෝජනාවක් වන්නේ ආධාර ගන්නා රටේ මුදලේ අගය පහත දැමීමය. එසේම නිදහස් වෙළෙඳාම ඇති කරන ලෙසත් ආනයන අපනයන සම්බාධක ඉවත් කරන ලෙසත් ඔවුහු නියම කරති. ඒ අතර ආයෝජන වැඩි කර ගත යුතු බව පෙන්වා දෙන ඔවුහු විදේශීය ආයෝජන කෙළින්ම ලබා ගැනීම ප‍්‍රවර්ධනය කරගත යුතු බවට බල කරති. එසේම අය වැය හිඟය අවම කරන ලෙසත්, අනවශ්‍ය වියදම් කපා හරින ලෙසත් ඔවුහු ඉල්ලති. මේ සඳහා ආසන්නතම උදාහරණය මෙසේය.

පාකිස්ථාන ආණ්ඩුව විසි වතාවක් පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ලබාගෙන තිබේ. පසුගියදා පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් එරට පාර්ලිමේන්තුවට සීමිත අය වැයක් ඉදිරිපත් කළේය. එම බජට් එක සැදීමට සිදුවුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුවය. මන්ද පාකිස්ථානය එසේ නොකළේ නම් ඊළඟ ආධාර වාරිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන්නේ නැත. කිසියම් රටක් ජනතාවට සහනාධාර දෙනවාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විරුද්ධ ය. එබැවින් ආධාර දීමේදී ඔවුන් ඉදිරිපත් කරන ප‍්‍රමුඛ කොන්දේසියක් වන්නේ රට තුළ තිබෙන සහනාධාර කපා හැරිය යුතු බවය. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය පහසුකම් යන දෙක මේ රටේ තිබෙන ප‍්‍රධාන සහන දෙකක් ලෙස ගැනේ. මේ දෙකටම ජනතාවගේ බදු මුදල් වියදම් වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ගන්නා විට පෙරකී සහනාධාර දෙක කපා දැමීමට සිදුවූවොත් ආණ්ඩුව පෙරළී යෑම කිසිසේත්ම වැළැක්විය නොහැක. එසේම මිල පාලනය නොකළ යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තවත් ඉල්ලීමකි. රජයේ දේපළ පුද්ගලික අංශයට විකුණා ලාභ ලබන පරිදි පවත්වාගෙන යනු දැකීම ඔවුන්ගේ පරම අරමුණුවලින් එකකි. මේ සියල්ලටම අමතරව යහ පාලනය සහ දූෂණයට එරෙහිව සටන් කිරීම ඔවුන් බරපතළ ලෙස ඉල්ලනවා ඇත. පෙරකී කවර කොන්දේසියකට අවනත වීමට හැකි වුණත් යහපාලනය සහ දූෂණ මර්දනය කිරීම මේ රටට කළ නොහැක. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළවෙනි ආධාර වාරිකය මිස ඉන් එහා කිසිවක් ලබා ගැනීමට අපට හැකිවේ ද යන්න සැක සහිතය.

advertistmentadvertistment
advertistmentadvertistment