යලත් අල වී වී කුණු කොල්ලයට

196

ගොවිතැන් කරන්න ගත්ත ණය ගොවිියන්ට ගෙවන්න බෑ !

මේ දිනවල අස්වනු නෙළන රජරට ඇතුළු වී වගාකරන පෙදෙස්හි ගොවිබිම්වල වෙනදා මෙන් අහසට දුම්රොටු විහිදන විසල් යන්ත්‍ර හෝ මෙවලම් ආදිය දැකීම උකහටය. ඒ වෙනුවට දක්නට ඇත්තේ ගොයම් කපන්නට දෑකැති ලෙළවන කඩිසර දෑත්ය. ගොවි මුවින් වැඩිපුරම නික්මෙනු අසන්නට ලැබෙනුයේ ඔවුනට බලපා තිබෙන ගැටලු පිළිබඳව දුක්මැසිවිලි මිස සැනසිලි වදන් නොවේ.

මෙවර යල කන්නයේ වී අස්වනු නෙළන යන්ත්‍ර සඳහා ඩීසල් සපයාගැනීම මෙන්ම වී කිලෝවට ලැබෙන මිල ප්‍රමාණවත් නොවීම ආදිය මේ දිනවල ගොවීන්ට බලපා තිබෙන මූලික ප්‍රශ්න බව අපට දැනගන්නට ලැබිණි. වී අස්වනු නෙළාගැනීමට මෙන්ම මෙවර යල් කන්නයේ වී වගාව ආරම්භ කිරීමට ද ඩීසල් හිඟය ඉතා තදින් බලපා තිබෙන බවයි ගොවීන් බොහෝ දෙනෙකු කියා සිටියේ. මෙවර යල කන්නයේ වාරි පහසුකම් යටතේ වී වගා කරන බොහෝ ප්‍රදේශවල ජලාශයන්හි ජලය නිකුත් කර සති කිහිපයක් ගතවීත් වගා කටයුතු නිසිකලට ආරම්භ කරන්නට ඩීසල් නොමැතිවීම බලපෑ බවද ගොවීහු සිහිපත් කළේ දැඩි කනස්සල්ලෙන් යුතුවය. මෙවර වී අස්වනු නෙළන අවස්ථාවේදීත් තමන්ට මුහුණපෑමට සිදුව ඇත්තේ එම සන්තෑසියටම බවද ඔවුහු කියා සිටියහ.

පොලොන්නරුව, අලුත්වැව, ගණන්ගොල්ල ප්‍රදේශයේ කුඹුරු යායෙක පැසුණ ගොයම දෑකැතිවලින් කපමින් සිටි ගොවීන් පිරිසේ අප සමග කථා බහට එක්වූ පී.කේ.

නුගේගොඩ ගොවි මහතා කියා සිටියේ පූරුවේ කළ කරුමයකට මේ රටේ කුඹුරු ගොවිතැන් කරන බවයි. අස්වනු නෙළන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඩීසල් නොමැතිකම නිසා දෑකැතිවලින් ගොයම් කපන බව ඔහු කියා සිටියේය. “දැන් මේ ගොයම හොඳටම පැහිලා තියෙන්නේ. අදින් හෙටින් කපලා, පාගලා ගෙට ගත්තේ නැත්නම් වී ඇට ටික කුඹුරේම හැලිලා විනාශ වෙනවා. මැෂින් එකකින් කැපුවා නම් පැයකින්, පැය එක හමාරකින් වැඩේ ඉවරයි. නමුත් කරගන්න විදියක් නෑ. ඩීසල් නෑ. අතින් කපන්න ගියාම කාලය වැඩිපුර යනවා. වියදමත් අඩුවක් නෑ. දැන් කම්කරු කුලිය රුපියල් 2000යි 2,500යි වැඩියි. ඒත් ඉතින් මොකද කරන්නේ. දැන් ඉතින් මේ ගොයම් පාගාගන්නත් හරක් බානක්, දෙකක් හොයාගන්න වෙනවා. ඒකයි මම කියන්නේ අපි මේ

යලත් අල වී වී කුණු කොල්ලයට

ගොවිතැන් කරන්නේ පූරුවේ කරුමෙකට කියලා. කරන්න දෙයක් නෑ. ජීවත්වෙන්න වෙන විදියක නැති නිසයි ගොවිතැන් කරන්නේ. වෙන ඉතින් කරන්න දෙයක් නෑ. අපි මෙහෙම දුක් මහන්සිවෙලා ගොවිතැන් කළාට වැඩක්නෑ. වීවලට හරිහමන් මිලක්වත් නෑ. තුට්ටු දෙකට මුදලාලිලා වී ගන්නේ. අද විතරක් නෙවෙයි හැමදාමත් සිද්ධ වෙන්නේ මේ දේ තමයි.”

ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණදෙන ගැටලු සම්බන්‍ධයෙන් අප සමග අදහස් දැක්වූ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරයට අයත් අලුත්වැව නැඟෙනහිර බෙදුම්ඇළ ගොවි සංවිධානයේ සභාපති පී.කේ.ඩී. විජේරත්න මහතා- “ගොවියා මේ වෙනකොට ඉන්නේ අර්බුද රාශියක් මැද්දේ. මේ යල් කන්නය ආරම්භයේ ඉඳලම අපි ප්‍රශ්නවලට මුහුණ දුන්නා. වැවේ ජලය නිකුත් කරලා සති ගාණක් බලාගෙන හිටියා කුඹුර හාගන්න ඩීසල් ටික නැතුව. දැනුත් එහෙමයි. ප්‍රධාන වශයෙන්ම ඉදිරි දිනවලදී යල කන්නයේ වී අස්වැන්න නෙළනවා. ඒ සඳහා යන්ත්‍රවලට යොදන ඩීසල් ටික සපයාගැනීම මූලික ප්‍රශ්නයක්. ගොවීන්ට අවශ්‍ය ඩීසල් ලබාගැනීමට පහසුකම් රජය මැදිහත්වෙලා ලබාදෙනවා කියලා තියෙනවා. නමුත් ඒ ඩීසල් මිලදී ගැනීම සඳහා ගොවියා අතේ මුදල් නෑ. හෙක්ටයාර් එකක අස්වැන්න නෙළන්න ඩීසල් ලීටර් 40ක් විතර අවශ්‍යවෙනවා. ඒ සඳහා රුපියල් 17,200ක මුදලක් ඕන. වෙනදා කරන්නේ අස්වනු නෙළන යන්ත්‍රවලට කුලිය ගෙවන්නේ ගොයම් කපලා පාගලා වී ටික විකුණලා. නමුත් මේ වතාවේ ඩීසල් ගන්න විශාල මුදලක් ආරම්භයේදීම වියදම් කරන්න ඕන. ගොවියා අතේ මේ වෙලාවේ උගස් තියන්න රත්තරන් බඩුවක් තරමවත් නෑ. ඒවත් උගස් කරලා ගොවිතැනට වියදම් කරලා. අනෙක් කාරණය මේ වතාවේ අස්වනු නෙළන යන්ත්‍රවලට ගෙවන කුලියත් විශාල වශයෙන් වැඩිවෙලා. වෙනදා අක්කරයක අස්වැන්න නෙළන්න අය කළේ රුපියල් 16,000ක්-18,000ක් වගේ මුදලක්. මේ කන්නයේ අක්කරයක් සඳහා රුපියල් 22,000ක් 25,000ක් අය කරනවා. දැන් මේ වෙනකොට වී මිල පහළ බැහැලා. පෞද්ගලික වෙළෙඳුන් වී ගන්නේ කිලෝ එක රුපියල් 90ත් 100ත් අතර මිලකට. වී කිලෝවක් සඳහා දැනට නියම කරලා තිබෙන රජයේ සහතික මිල කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. එම නිසා වී කිලෝවේ මිල අනිවාර්යයෙන්ම මීට වඩා වැඩිවෙන්න ඕන. අඩුම තරමින් වී කිලෝවක් සඳහා රුපියල් 150ක මිලක්වත් ගොවියාට ලැබෙන්න ඕන. රටට බත සපයන ගොවීන් හැටියට ඉතාමත්ම සාධාරණ ඉල්ලීමක් මේක. අපි බලාපොරොත්තු වෙනවා රජය මේ සම්බන්‍ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා අපිට සාධාරණත්‍වයක් ඉෂ්ට කරාවි කියලා. දැනට පවතින වියදම් අනුව කුඹුරු අක්කරයක් වගා කරන්න රුපියල් 1,50,000කට වැඩිය වියදම යනවා.”

යලත් අල වී වී කුණු කොල්ලයට

මඇලහැර, බකමූණ දමනේයාය ප්‍රදේශයේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව කියා සිටියහ. එහිදී අදහස් දැක්වූ පොලොන්නරුව දිස්ත්‍රික් ගොවි සංවිධාන බලමණ්ඩලයේ භාණ්ඩාගාරික සහ ඇලහැර ව්‍යාපාර ගොවි සංවිධානයේ හිටපු සභාපති ආනන්ද එදුස්සූරිය මහතා- දැනට ඇලහැර ප්‍රදේශයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් තවමත් ක්‍රියාත්මක වන්නේ නෑ. වී අලෙවි මණ්ඩලයේ ගබඩා සියල්ලක්ම වහලා දාලා තිබෙන්නේ. එම නිසා දැනට ගොවීන්ගේ නෙළමින් පවතින වී අස්වැන්න පෞද්ගලික වෙළෙන්ඳන් විසින් මිලදී ගනු ලබන්නේ ඉතාමත් අඩු මිලට. මේ වෙනකොට ගොවීන්ගේ නාඩු වී කිලෝවට ලැබෙන්නේ රුපියල් 84යි. සම්බා කිලෝවට රුපියල් 90ක්. කීරි සම්බා කිලෝවට රුපියල් 100ක්. රජය මේ වෙනකොට ගොවියාගේ වී කිලෝවට සහතික මිලක් නියම කරලා තිබෙනවා. නාඩු වී කිලෝවට රුපියල් 120ක්. සම්බා වී කිලෝවට රුපියල් 125ක් සහ කීරි සම්බා කිලොවට රුපියල් 130ක් වශයෙන්. රජයේ මේ සහතික මිල කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. එම නිසා අපි රජයට යෝජනා කරනවා ගොවියාගේ වී කිලෝවකට රුපියල් 175ක් ඉක්මවන සහතික මිලක් ලබාදෙන්න කියලා. දැනට මේ නියම කරලා තිබෙන මිලට අනුව ගොවියාට වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වන නිෂ්පාදන වියදමවත් පියවාගන්න ලැබෙන්නේ නෑ. පෞද්ගලික වෙළෙඳුන් මේ කුණුකොල්ලයට මිලදී ගන්නේ ගොවියා රුපියල් 40,000ට, 45,000ට පොහොර මිලදී අරන් වගා කළ වී වගාවේ අස්වැන්න. මේ ඉතාමත් අසාධාරණ තත්ත්වයක්. මුදලාලිලා මේ විදියට මඩිය තරකරගන්න උත්සාහ කරන්නේ රටට බත සපයන ගොවියා ආරක්ෂා කරන නිසි වැඩපිළිවෙළක් නොමැති නිසයි කියන එක ප්‍රකාශ කරනවා.”

ගොවිඅරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා මහතා රටට බත සපයන ගොවියා මේ දිනවල මුහුණපා සිටින මූලික ප්‍රශ්න සම්බන්‍ධයෙන් අප හමුවේ පැහැදිලි කළේ මෙසේයි. “මේ යල් කන්නයේ මේ රටේ වී ගොවීන් කුඹුරු හෙක්ටයාර් ලක්‍ෂ 05ක් පමණ වගා කරලා තිබෙනවා. මේ වෙනකොට එහි අස්වැන්න නෙළමින් තියෙන්නේ. මොණරාගල, අම්පාර, මඩකලපුව, අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්කවල දැන් අස්වනු නෙළීම ආරම්භවෙලා තියෙනවා. අනෙකුත් දිස්ත්‍රික්කවලත් මේ මාසය ඇතුළත අස්වැන්න නෙළීම ආරම්භ කිරීමට නියමිතයි. මේ වෙනකොට සමස්ත ගොවි ජනතාව අස්වනු නෙළන යන්ත්‍රවලට යෙදීමට අවශ්‍ය ඩීසල් නැතිකම නිසා බරපතළ ප්‍රශ්නයකට මුහුණදීලා තියෙන්නේ. මේ වෙනකොට රටේ වගාකරලා තිබෙන කුඹුරු අක්කර ප්‍රමාණය ගත්තහම එහි අස්වැන්න නෙළන්න අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ලීටර් වශයෙන් ගත්තොත් කෝටි දෙකක් පමණ අවශ්‍යයි. බවුසර් වශයෙන් කිව්වොත් ලීටර් 6500 බවුසර් 3020ක ප්‍රමාණයක් වුවමනා වෙනවා. මේ ඩීසල් ප්‍රමාණය ගොවි ජනතාවට සපයල දෙන්න ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නෑ. හැබැයි සැලැසුම් හදලා තියෙනවා කියලා කියනවා. දැන් මහවැලි සී කලාපය ගත්තොත් එහි වගාකරලා තියෙන සම්පූර්ණ කුඹුරු ප්‍රමාණයේ අස්වැන්න නෙළාගැනීම සඳහා ලීටර් 6500 බවුසර් 137ක් අවශ්‍ය වෙනවා. ඒ කලාපය ඇතුලේ ෂෙඩ් 05ක් තියෙනවා. ඒ ෂෙඩ් පහට ලීටර් 6500 බවුසරය බැගින් දවස ගාණේ ආවොත්, ඒ මුළු ප්‍රමාණයම ගොවීන්ට ලබලා දුන්නොත් දින 27ක් යනවා අස්වැන්න නෙළලා ඉවර කරගන්න. සැප්තැම්බර් මාසය අවසන් වෙන්න කලින් අස්වැන්න නෙළලා අවසන් කරගන්නත් ඕන. රටේ මේ වෙනකොට වගා කරලා කුඹුරු හෙක්ටයාර ලක්‍ෂ පහක පමණ ප්‍රමාණයේ ගොවීන් වැඩි දෙනෙක් මේ කුඹුරු වගා කළේ යූරියා හොණ්ඩරය රුපියල් 40,000ට මිලදී අරන්. වගාවේ අනෙක් කටයුතු සඳහාත් විශාල වියදමක් දරන්න සිද්ධ වුණා. මේ සියල්ලක්ම කරලා තියෙන්නේ ණයතුරුස් වෙලා. ඒ ණය පියවා ගන්න තියෙන්නේ මේ ලබාගන්න වී අස්වැන්නෙන්. ඒ නිසා අපි ආණ්ඩුවට පැහැදිලිව කියනවා මේ ගොවි ජනතාව අමාරුවේ දාන්නේ නැතිව යල කන්නයේ වී වගාවේ අස්වැන්න නෙළාගැනීම සඳහා අවශ්‍ය ඩීසල් බවුසර් 3020ක ප්‍රමාණය ලබාදෙන්න කියලා. පැසුණු ගොයමේ වී අස්වැන්න පමා නොවී නෙළාගන්නට නම් ඒ සඳහා භාවිත කරන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඩීසල් නොමැති කාරණය ප්‍රධාන බැව් ගොවිබිම සිව්දෙසින් නැඟෙන පොදු අඬහැරයක් බවට පත්ව තිබේ. මේ සටහන තබන මොහොත වනවිට යළිත් වතාවක් මේ රටේ ඉන්ධන හිඟයක් ඇතිවන බවට ද අමිහිරි ආරංචි ලැබෙමින් පවතී. එසේ වුවහොත් ගොවියාගේ වී අස්වැන්න නෙළාගැනීමේ කාරණයට කෙබඳු ඉරණමක් අත්වේද යන්න සිතාගැන්ම පවා අසීරු බව කිව හැක.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment