යල කන්නයට පොහොර කෝ

253

මේ වන තුරුම රටේ කොවිඞ් වසංගතය තරමටම ප‍්‍රචලිත වූ තවත් ගැටලූවක්ව පවතින්නේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ ඇති ගැටලූකාරී තත්ත්වය. කාබනික පොහොර භාවිතයෙන් වගා කළයුතු බව දෙදහස් විසිඑක වසරේ මාර්තු විසිඅට වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශයට පත්කිරීමත් සමගම අතීතයේ පටන් කෘෂිකර්මයේ නියැළුණු ගොවියෝ කිසියම් අවිනිශ්චිතතාවකට පත්වූහ.

ඒ වැසි දියෙන් වගා කරන මහ කන්නයේදී කාලයට අනුරූපව වගාව සිදුකර ගෙන යෑම විශාල අභියෝගයක් බව දැනුනු නිසාය. කාබනික සහ රසායනික පොහොර ඒකාබද්ධ වගා ක‍්‍රමයක් උදෙසා හැඩ ගැසී තිබූ වී වගාව එළවළු වගාව පලතුරු වගාව අලබෝග වගාව සහ විසිතුරු මල් වගාව ඉදිරියට පවත්වාගෙන යා යුතුවන්නේ කෙසේදැයි යන්න ප‍්‍රශ්නාවලියක් අතරට ගොවීහු මැදිව සිටයහ.

එම ප‍්‍රශ්නයම තවදුරටත් වර්ධනය වෙමින් රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීම සම්බන්ධයෙන් දෙදහස් විසිඑකේ අපේ‍්‍රල් හය වැනි දින ගැසට්පත‍්‍රයක් නිකුත් කිරීමටද රජය පියවර ගත්තේය. මේ සියලූ කරුණු හමුවේ ගොවීහු නොසිතූ විරූ අකරතැබ්බයන්ට මුහුණ දුන්හ.

ඉන් සිදු වූයේ ගොවීන් විකල්ප පොහොර හෝ කාබනික පොහොර හෝ යොදමින් වගාව වෙත යොමු වීම නොව, උදළු කැති නගුල් ගෙන විරෝධතා පෙළපාලි යෑමය. රටපුරා නන්දෙස ගොවීන් පාරට ගොඩ වී විරෝධතාවයේ නියැළීමෙන් මහ කන්නයේ වගාවට කණකොකා හැඬිය. මන්ද ඒ වන විට චීනෙන් ආනයනය සඳහා අයැදුම් කර තිබූ කාබනික පොහොර තොගයද ලංකා භූමියට අහිතකර බැවින්, ගෙන්වීම නතර කරනු ලැබීය. මේ පසුබිම සමග ගොවියෝ දැඩි පීඩනයකට ලක්වූයේ වගාව පවත්වාගෙන යනු ලබන්නේ කෙසේද යන ගැටලූව නිසාය. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මේ මොහොතටත් කියා සිටින්නේ, ගොවීන් වරින්වර විරෝධතා දක්වමින් වගාවට බාධා ඇති කරගත් අතරම පොහොර ප‍්‍රශ්නයත් තරමක් බලපෑ බවය. නමුත්, දෙපාර්තමේන්තුව මට්ටමෙන් කෙසේ හෝ මෙම පොහොර බෙදා දීමේ ක‍්‍රියාවලිය දිගින් දිගටම පවත්වාගෙන යෑමට අවැසි පරිසරය සකසා දුන් බවත් පොහොර ලේකම් කාර්යාලය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඊට මැදිහත්ව කටයුතු කළ බවද හෙතෙම කියා සිටියේය.

ජනාධිපතිවරයා විසින් රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බවට එදා ගනු ලැබූ තීන්දුව සමඟ සමාජයේ බොහෝ පාර්ශ්ව වික්ෂිප්ත වූ බවක් දක්නට ඇත. පළමුවෙන්ම රටේ නායකයා විසින් එවැනි නිර්භීත සහ ධෛර්යමත් දේශපාලන තීන්දුවක් ගනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා නොකළ බවටද කිසිදු සැකයක් නැත. අප රටේ දීර්ඝ කාලයක් රජය සහ විවිධ ස්වෙච්ඡා සංවිධාන විසින් වස විස නැති ගොවිතැන පිළිබඳව රසායනික පොහොර අධෛර්යමත් කිරීම පිළිබඳව මතවාද ගොඩනැගූ අතර තෝරාගත් ගොවීන් සමඟ ප‍්‍රායෝගීව වැඩසටහන් ආරම්භ කළ බව රහසක් නොවේ. එහෙත් එම ප‍්‍රවේශයන් සමස්ත කෘෂි නිෂ්පාදන පද්ධතියට ආදේශ කිරීමට හැකියාවක් නොලැබුණි. ඊට හේතුව පොහොර සහනාධාරය යටතේ ගොවියාට නොමිලේ හෝ සහන මිලට පොහොර ලබා දෙන අතර ඒවා අධෛර්යමත් කිරීම ප‍්‍රායෝගික නොවීමය. අනෙක් පැත්තෙන් ගත් විට කෘෂි රසායන අධි භාවිතය බරපතළ මහජන සෞඛ්‍ය ප‍්‍රශ්නයක් බවට පොදු පිළිගැනීමක් ඇතත් මහා සමාජයෙන් ඒ පිළිබඳව විරෝධයක් මතු වන්නේ නැත. නමුත් එම පෙරළිය පසෙක ලා නැවතත් රසායනික පොහොර ගෙන්විය හැකි පසුබිමක් තැනීම පිණිස ගැසට් ආපසු හැරවීමක් සිදුකරන්නට කෙසේ හෝ රජය කටයුතු කළහ.

එම සියලූ තීන්දු තීරණවලට එරෙහිව විවිධ වුවමනාවන් සහ හේතු මත සෘජුව හෝ වක‍්‍රව විරෝධතා දැක්වීමට බොහෝ පිරිස් බලා සිටියහ. එවැනි බාධක අතුරින් පළමුවැන්න යම් දේශපාලන පක්ෂ පටු දේශපාලන වාසි සඳහා ගොවීන් විරෝධතා ව්‍යාපාරවලට පෙළඹවීමය. එහිදී ඔවුන්ට රජය විදේශ විනිමය අර්බුදයක සිටින බැවින් විදේශ විනිමය ඉතිරි කර ගැනීම සහ පොහොර සහනාධාරය කපා දැමීම සඳහා මෙම පියවර ගත් බවට මතයක් ගොඩනැගීමේ හැකියාව ඇත.

කෘෂිකර්ම නිලධාරීන් විසින්ම දීර්ඝ කාලයක සිට ගොවියාගේ මනස තුළ ගොඩනගා ඇති ආකල්ප මෙම සියලූ තීන්දු වලට ඍජුවම බලපෑවේය. නිලධාරීන් සහ බහුජාතික කෘෂි යෙදවුම් අලෙවි සමාගම් විසින් ගොඩනගා ඇති ප‍්‍රභල මතවාදය අනුව රසායනික පොහොර සහ පළිභෝධනාශක භාවිතයෙන් තොරව වැඩි අස්වැන්නක් ලබාගත නොහැක යන්න ඉන් එක් ආකල්පයකි. ඒ අනුව රසායනික පොහොර භාවිතය නැවැත්වූ සැණින් අස්වනු අඩුවී තමා අමාරුවේ වැටෙනු ඇතැයි ගොවියා විසින් කල්පනා කිරීම වැළැක්විය නොහැකි විය. ඊට අමතරව පසුගිය කාලයේදී විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව සමයේදී යම් ආයතන විසින් මහා පින්තූරය සැලකිල්ලට ගැනීමෙන් තොරව කුඩා ව්‍යාපෘති හරහා කාබනික වගාව ප‍්‍රචලිත කිරීමට ගනු ලැබූ උත්සහායන් අසාර්ථක වීම නිසා ගොවීන්ගේ විශ්වාසය බිඳ වැට්ටවීම පහසු විය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප‍්‍රතිපත්තිමය පරස්පරය ලෙස සැලකිය හැක. ඔවුහු එක් පැත්තකින් බාහිර යෙදවුම් මත යැපෙන කෘෂිකර්මාන්තය ප‍්‍රචලිත කරන අතර අනෙක් පැත්තෙන් ”හොඳ කෘෂිකර්ම පුරුදු” නමින් කාබනික වගාව ප‍්‍රචලිත කිරීමට උත්සාහ කරති. ඒ මඟින් යම් ඉහළ වටිනාකම් සහිත සුළු වෙළඳපොළක් ගොඩනැගුනද මහා සමාජය තුළ වස විස නැති ආහාර පරිභෝජනමය ප‍්‍රචලිත කිරීමට හෝ ඊට වටිනාකමක් ලබාදීමට සමත් වී නැත.

කෘෂිකාර්මික විද්වතුන් පවසන පරිදි, පස පිළිබඳව සහ ඊට බාහිරින් එකතු කරන ද්‍රව්‍යවල දායකත්වය ගොවියා විසින් පමණක් නොව නිලධාරීන් විසින් පවා ගැඹුරින් තේරුම් නොගැනීම වගාවට බාධාවක් වී තිබේ. කෘෂි යෙදවුම් සමාගම් විසින් ගොඩනගා ඇති මතය අනුව පස යනු අජීවී මාධ්‍යයකි. එය යොදා ගනිමින් වගා කිරීමට නම් සියල්ල බාහිරින් එකතු කළ යුතුය. එම මතවාදය තුළ දීර්ඝ කාලීනව පසේ ජෛව ක‍්‍රියාකාරීත්වය රැක ගැනීම සහ ඊට පහසුකම් සැලසීම වෙනුවට සහනාධාර යටතේ ලැබෙන බාහිර යෙදවුම් එකතු කිරීම් මත යැපීමට ගොවියා පුරුදු වී ඇත. එවැනි ගොවීන් තුළ රසායනික පොහොර නැතිනම් ඒ වෙනුවට කාබනික පොහොර ලබාගන්නේ කෙසේ දැයි උභතෝකෝටිකයක් මතුවීම වැළැක්විය නොහැක. රසායනික පොහොර තහනමට එරෙහිව අදහස් දක්වන යම් විද්වතුන් සහ ගොවීන් අතර එම මතවාදයට අදාළව විශාල වෙනසක් දක්නට නැත.

පස සුරැකීම සහ සංවර්ධනය කිරීම සඳහා ගොවියා පෙළඹීම සිතන තරම් පහසු නැත. ඒ සඳහා බහුවිධ ක‍්‍රියාමාර්ග අවශ්‍ය වේ. ඉන් පළමුවැන්න ඒ සඳහා ගොවියා දිරිමත් කිරීම මුල්කරගෙන මූල්‍යමය සහ වෙනත් මානසික දිරිගැන්වීම් ලබාදීමය. එහිදී ගොවියා සෘජුව මුණගැසී ලබා දෙන අධ්‍යාපනයට මුල් තැනක් ලබාදිය යුතුය. එසේ නොමැතිව කුමන අන්දමක තීරණ රජය හෝ කෘෂි ක්ෂේත‍්‍රයේ කවරකු විසින් ලබා ගත්තද පලක් නැත.

ගොවියෙකුටම තම ශරීරයේ තත්ත්වයට සමාන ආකාරයට තමා ජීවත් කරවන පසේ සෞඛ්‍ය පිළිබඳව තත්ත්ව පරීක්ෂණ වාර්තා ලබාදිය හැකි ක‍්‍රමවේදයක් සකස් කළ යුතුය. රජය විසින් පස පරීක්ෂා කොට නයිට‍්‍රජන් පොස්ෆේට් සහ පොටෑසියම් ඌනතාවයන් පිළිබඳ වාර්තාවක් ගොවියාට ලබාදීම සඳහා පර්යේෂණාගාර පිහිටුවනු ලැබුවද එම වැඩසටහන කඩාවැටී ඇති බව ගොවීන්ගෙන්ම විමසා දැන ගත හැකිය. නමුත් අද වන විටත් රජය විසින් ප‍්‍රකාශ කරන්නේ දිගුකාලීන වැඩසටහන් ඔස්සේ පස පරීක්ෂා කිරීම සහ ප‍්‍රමිතිගත පොහොර ලබා දීම මේ වන විටත් සිදු කරන බවය. මහ කන්නයේ එවැනි ක‍්‍රියාමාර්ගයන් රටපුරා ගන්නා බවක් දක්නට නොලැබිණි.

ගොවියාට තමාගේ ගොවිපළ සෞඛ්‍ය පිළිබඳ තක්සේරුවක් තිබේනම් අත්‍යවශ්‍ය ඖෂධ පමණක් ලබාදිය යුතු බවට එනම් ඌණතාව සහිත රසායනික පොහොර පමණක් යෙදිය යුතු බවට ගොවියාගේ දැනුමට යමක් එක්කල හැකිය. ජෛව ගොවිතැන හෝ ස්වාභාවික ගොවිතැනට ගොවියා පෙළඹවීම සඳහා හෙවත් රසායනික පොහොර අධෛර්යමත් කිරීම සඳහා එම ප‍්‍රවේශය ඉතා වැදගත් වන බව කෘෂි විද්වතුන්ගේ මතයය. ඒ සියල්ලටම වඩා අද විපක්ෂයේ සිටින කෘෂිකර්ම විද්වතුන් යැයි කියන දේශපාලඥයන් සඳහන් කරන්නේ පිටරටින් ගෙන්වන බීජ වර්ග රසායනික පොහොර නොමැතිව වගා කළ නොහැකි නිසා රසායනික පොහොර තහනම් නොකළ යුතු බවය. ඔහුගේ කෘෂි විද්‍යා දැනුම ප‍්‍රශ්න නොකළද සම්ප‍්‍රදායානුකූල හෝ දෙමහුන් බීජ යන කුමන බීජ වර්ගයකට වුවද ජෛව විද්‍යාත්මක සරු පසක් තිබිය යුතු බවට විවාදයක් නැත.

ඒ අනුව පස හොඳනම් බීජ කුමක් වුවත් ගැටලූවක් නොවන බව ඔහුට වඩා හොඳින් ගොවීන් ප‍්‍රායෝගිකව තේරුම්ගනු ඇති බවට සැකයක් නැත. එසේ වුවත් රසායනික පොහොර අධෛර්යමත් කිරීමේ වුවමනාව සමඟ දේශීය බීජ නිෂ්පාදනය දිරිගැන්වීමද එකට බැදී ඇති බව පිළිගැනීමට සිදුවේ.

මනුෂ්‍යයකු ලෙඩ වූ විට ප‍්‍රතිජීවක එකපෙත්තක් හෝ මිලදී ගැනීම සඳහා වෛද්‍යවරයෙකුගේ නිර්දේශ අවශ්‍ය වේ. නමුත් මිනිසුන් දසදහස් ගණනක් ලෙඩ කළ හැකි පස, ජලය, ගංගා, ඇළ, දොල සියල්ල දූෂණය කරන පලිබෝධ නාශක ඕනෑම ප‍්‍රමාණයක් කට වචනයට මිල දී ගත හැකිය. ඊට අදාළ පනත සකස්කොට ඇත්තේ මහා සමාගම්වල වෙළෙඳපොළ ආරක්ෂා කිරීමට මිස පරිසරය හෝ පොදු මහජනයා ආරක්ෂා කිරීමට නොවේ. එම තත්ත්වය වෙනස් කිරීම සඳහාද දැඩි පාලනයක් අවශ්‍ය වේ. කෙසේ වෙතත් රසායනික පොහොර ක‍්‍රමයෙන් අඩුකරන අතර කාබනික වගා ක‍්‍රම ප‍්‍රචලිත කිරීමේදී අස්වනු අඩුවනු ඇතැයි ගොවියාගේ සිත් තුළ පැන නගින ගැටලූවෙන් බේරීම සඳහා රජයේ විශේෂ මැදිහත්වීමක් අවශ්‍ය වේ. ඒ සඳහා සුදුසුම ක‍්‍රමවේදය වන්නේ සම්පූර්ණයෙන්ම කාබනික වගා ක‍්‍රමයට මාරුවන ගොවීන් විශේෂයෙන් හඳුනා ගැනීම සහ ඔවුන්ට රජයේ පූර්ණ දායකත්වය සහිතව වගා රක්ෂණ වැඩසටහනක් හඳන්වා දීමය. ඊට අමතරව අවසාන වශයෙන් සඳහන් කළ යුතු අතුරු කරුණු කිහිපයක්ද ඇත. රටක් ලෙස අප මුහුණ දෙන මූලික අභියෝගය වන්නේ රසායනික පොහොර විශේෂයෙන්ම බැර ලෝහ සහිත පොහොර ආනයනය නතර කිරීමය. නමුත් දේශීයව බැර ලෝහ අඩංගු නොවන පොස්ෆේට් සහ පොටෑසියම් නිපදවීමේ බාධාවක් නැත. එප්පාවල පොස්ෆේට් නිධිය සහ බලංගොඩ පොටෑසියම් නිධිය ප‍්‍රඥාවන්ත ලෙස භාවිත කරන්නේ නම් ඉදිරි වසර 2500 ක කාලයකට එම සම්පත් සෑහෙන බව පැවසේ. නමුත් රටේ අහේතුවට මෙන් මෙම ක‍්‍රියාමාර්ග ඍජුව ගැනීමට අයෙකු නැත. මහ කන්නයේ අස්වනු දැක හෝ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව කවරකු හෝ උනන්දු වී කෘෂිකර්මාන්තය රැක ගැනීමට පියවර ගත යුතුය.

මේ වන විට කෘෂිකර්මාන්තය වෙනුවෙන් කෘෂි ක‍්‍රියාන්විතයන් ක‍්‍රියාත්මක වන්නේ වැටී ඇති කෘෂිකර්මාන්තය නගා සිටුවීමටය. එසේ නම් බහුවිද කාරණා සමග අස්වැන්න අහිමි වූ මහ කන්නයට අත්වූ ඉරණම යල කන්නයට අත්වීමට ඉඩ නොදිය යුතුය. පොහොර ගැටලූවත් නව යෙදවුම් සහ ගොවින් වගාවෙන් බැහැර වීමේ ගැටලූ ඇතුළු සමස්ත කෘෂිකර්මාන්තයේ ගැටලූ විසඳීමට කෘෂි විද්වතුන්ටත් නිලධාරීන්ටත් රජයටත් දැන් සිදුව තිබේ. ඒ අතරට පැමිණ ඇති ක‍්‍රියාන්විත හමුදා නිලධාරීන්ද දැන් රටේ වගාව කරට ගෙන තිබේ. මේ සියල්ල සමග ඉදිරි වගාව රැක ගැනීමටත් දේශීය කෘෂි නිෂ්පාදන අනාගතය උදෙසා පවත්වාගෙන යෑමත් යන අභියෝගය හමුවේ ජනතාව දෑස් අයා සිටින්නේ, ඉදිරියේදි කුසට අහරක් වැටේදෝ නොවැටේදෝ කියා පමණි. ඒ හැර රජයේ ප‍්‍රතිපත්ති ජනතාවට වැදගත් නැති තැනට දැන් රට වැටී තිබේ.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment