යල පරක්කු කළොත් ප්‍රශ්න තවත් වැඩිවේවි…

132

කන්නයට වගා නොකළොත් පළිබෝධ හානි වැඩිවෙනවා
 
 වසංගතයක් ආවොත් ඉසින්න කෘෂි රසායනත් ඇති පමණට නෑ
 
 කලට වෙලාවට ‘මහ’ පටන් ගන්නත් බැරිවෙනවා


 විද්‍යාත්මක පදනමක් සහිත වගා උපදේශයන් ගොවි ගෙදරට ගෙනගොස් බෙදාහැරීමේ ක්‍රමවේදයක් නොතිබුණු ඈත අතීතයේදී ගොවියා තම වගා කාලසටහන සාදාගත්තේ කාලගුණික විපර්යාසයන් අධ්‍යයනය කිරීමෙන්ය. වසර පුරාවටම හිරුඑළිය අඩුවක් නැතිව පතනය වෙන ශ්‍රී ලංකාව වැනි රටක මේ සඳහා ප්‍රධාන වශයෙන් සලකා බලනු ලැබුවේ වැසි ලැබෙන දින වකවානු පිළිබඳවයි. මේ අනුව ප්‍රධාන වගා ස්ථාපන අවධි දෙකක් හඳුනාගෙන තිබෙන්නේ යල සහ මහ කන්න වශයෙනි. නිරිත දිග මෝසම් වැස්සෙන් පෝෂණය වෙන යල කන්නය අප්‍රේල් සමයේදී ඇරඹේ. ඒ මගින් වැඩි වාසි සැලසෙන්නේ දිවයිනේ තෙත් කලාපය ආශ්‍රිත ප්‍රදේශවලටයි. මහ කන්නය ඇරඹෙනුයේ ඔක්තෝබරයේය. එහි වර්ෂා ප්‍රභවය ඊසාන දිග මෝසම් සුළං වන නිසා වැඩි ප්‍රතිලාභය ලංකාවේ වියළි කලාපයට ලැබේ. සාමාන්‍යයෙන් මෙතෙක් පවත්නා සිරිත වනුයේ සාමූහිකව එකතුවෙන ගොවීන් යායටම පොදු කාලසටහනක් සාදාගෙන වගා කටයුතු ආරම්භ කිරීමයි. මේ සාමූහිකත්වයේ වාසි රැසකි. ඉන් එකක් පමණක් සඳහන් කරන්නේ නම් කිව හැකි වන්නේ බෝගයට පැමිණෙන රෝග හා පළිබෝධ හානි අවම කරගැනීමට කන්නයට වැඩකිරීම හරහා සිදුකර ගත හැකි බවයි. මුළු යායම එකම වයසේ වූ බෝගයකින් පිරී තිබෙනා විට පළිබෝධකයින්ට වුවත් කළ හැකි හානිය සීමා සහිතය. හුදකලා බිම්කඩක ඇති බෝගයකට සිදුවෙන හානිය තරමට එය දරුණු වන්නේ නැත. ඒ නිසාම එය වසංගත තත්ත්වයක් කරා නොයන අතර ගොවියා සැලකිලිමත් වන්නේ නම් ආර්ථික හානියක් වීමට නොදී බෝගය බේරාගැනීමට ද හැකියාව පවතී.

 1973 වසරේදී අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාව ගොදුරු වූ දුඹුරු පැළ කීඩෑ වසංගතය මෑත ඉතිහාසය තුළ දී වගා කන්නයට පිටුපෑම නිසා සිදු වූ ලොකුම ව්‍යසනය වශයෙන් ඉතිහාසගතවී තිබේ. එහිදී මුල් වරට පළිබෝධනාශක ඉසින්නට හෙලිකොප්ටර් පවා යොදාගනු ලැබිණ. මෙය ගොවියාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් බලෙන් කැන්දාගත් ව්‍යසනයක් බව පසුව අනාවරණය වුණි. වතුරයි, පොහොරයි, ඉරඑළියයි ඇත්නම් තවත් කුමන කතාද කියන මට්ටමට එදා අම්පාරේ ගොවියා සිටියේ ප්‍රමාණයටත් වඩා වැඩි ආත්ම විශ්වාසයකිනි. ඉඟිනියාගල වැනි මහා වාරිමාර්ග නිමවී තිබුණෙන් ඔවුනට වතුර ප්‍රශ්නයක් තිබුණේ නැත. අම්පාරට වැටෙන හිරුඑළිය ගැන කුමන කතාද? අතමිට කාසි තිබෙනවා නම් අද මෙන් පොහොර හිඟයක්ද නොතිබුණ අතර, මුළු යායම එකවර අස්වැද්දීමේ පරිසර හිතකාමී සිරිත පෑලදොරින් පලායෑමත් සමග හිතෙන හිතෙන වෙලාවට කුඹුරු කොටා පැළ සිටුවීමේ නරක පුරුද්දට ද ගොවි ජනතාව ඉබේටම ඇබ්බැහි වුණි. හදිසි දුඹුරු පැළ කීඩෑ ආක්‍රමණයට මෙම අවිධිමත් වගාක්‍රමය ප්‍රධාන හේතුවක් වූ බව විද්වතුන්ගේ මතයයි. මන්දයත් කීඩෑවාට තම පරපුර නොනැසී පවත්වාගෙන යන්නට උවමනා කරන අන්දමේ ඕනෑම රහ ගොයමක් හැමවිටම කුඹුරේ තිබුණු නිසාය. ගොවීන් වැඩිපුරම වගාකර තිබූ බී.ජී. 11-11 යන වී ප්‍රභේදය ඇතුළු සියලුම වී වර්ග මෙහිදී හානියට හසුවුණි. දුඹුරු පැළ කීඩෑවාට තත්ත්වය කෙතරම් රහවැටී තිබුණා ද කියනවා නම්, මෙම පළිබෝධකයාට ඔරොත්තු දීම සඳහා පිලිපීනයේ ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේදී නිපදවා තිබුණු ප්‍රතිරෝධී වී ප්‍රභේදයක් වන අයි.ආර්. 26 ද සොයාගිය කීඩෑවා බතලගොඩ සිටුවා තිබුණු නිරීක්ෂණ වගාවක් තුළදීම එයටත් පහරදුනි.

 මේ සිද්ධිය අපගේ මතකයට නැගුනේ වර්තමානයේදී ද ගොවියා අතින් කන්නය මගහැරීමක් සිදුවෙන බවක් නිරීක්ෂණය වූ නිසාය. එදා මෙන් එය කැමැත්තෙන් හෝ හිතුවක්කාරකමට කරන්නක් නම් නොවේ. ඊයේ පෙරේදා පවා වියළි කලාපීය ගොවියා කුඹුරට බසින්නට නම් රසායනික පොහොර හා කෘෂිරසායන ද්‍රව්‍ය ලබාදෙන බවට සහතිකයක් බලධාරීන්ගෙන් ඉල්ලමින් කල්මරනු දක්නට ලැබුණි. වතුර දුන්නට පොහොර නැත්නම් කුඹුරු නොකොටන බවට වූ සටන්පාඨ පවා ඔවුන් සතු විය. බලධාරීන්ද උත්සාහ ගනිමින් සිටින්නේ පමාවී හෝ ගොවි ඉල්ලීම වන පොහොර ටික කෙසේ හෝ ලබා දෙන්නටය. එහෙත් ඇඟ බේරාගැනීමට මෙන් පරිසර කාලසටහන කියවන්නේ නැතිව ගන්නා එවන් පියවර ප්‍රශ්නයට තිරසාර විසඳුමක් රැගෙන ඒවිද? නැතහොත් නැති ප්‍රශ්න බිහිකරාවිද? අපට පෙනෙන පරිදි යල කන්නයේ වගා ස්ථාපන කටයුතු දැනටමත් ප්‍රමාද වී ඇත්තාක් සේය. මන්දයත් යල කන්නයේ වී වගා ස්ථාපනය මේ වනවිට අවසන් වී තිබිය යුතුවේ. එහෙත් ඇතැම් ගොවීන් තවම ලියැද්දටවත් බැස නැත. හෙට පොහොර දුන්නත් ඔවුන්ගේ කුඹුර වපුරන්නට තවත් සති 3-4 ක් වත් ගතවේවි. සත්‍ය වශයෙන්ම ඒ වනවිට කුඹුරේ තිබිය යුත්තේ පීදීමට ආසන්න ගොයමකි. කලින් වැපිරූ කුඹුරු කීපයක් මල්පිපෙන මට්ටමට ලංවෙත්දී තවත් ඒවාහි වැඩ අරඹන්නට ගියහොත් මෙවර සිදුවනු ඇත්තේද පාලනය කළ නොහැකි තරමින් රෝග හා පළිබෝධ හානි උත්සන්න වීම බව කෘෂි විද්වතුන් විසින් අනතුරු හඟවමින් සිටී. එවන් තත්ත්වයක් පැමිණියහොත් වෙනදාට මෙන් අතදිගහැර ඉසින්නට පළිබෝධනාශකද නැත. එදා භාවිතා කළ උග්‍ර විෂ සහිත ඒවා කොහොමටවත් නැති අතර ඒවා රට තුළට ගෙන්වන්නේද නැත. වගා නොකර කල්මරන ගොවියා මේ ගැන සිතා බැලීම වැදගත්වේ.

 පමාවී අස්වැද්දුවා යයි සිතමු. පැමිණෙන පළිබෝධ උවදුරක් වේ නම් එයද මර්දනය කරගත්තා යයි තවදුරටත් සිතමු. එහෙත් ගොයමේ කරල් පැසීමේ කාල සීමාව තීරණය කරනට ගොවියා සමත්වන්නේ නැත. මහවැලි සී කලාපයේ කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ බොහෝ දෙනා වගාකරන්නට සූදානම්ව සිටින්නේ ‘කීරි සම්බා’ වැනි වී මිල අධික ප්‍රභේදයන් බවය. එය මාස තුන හමාරේ වයස් කාණ්ඩයේ වී වර්ගයකි. ප්‍රමාදවී සිටවූවාට ගොයම් කපන්නට සිදුවන්නේ මාස තුන හමාරක් ගෙවී ගොස් කරල් පැසුණු පසුවය. ඒ කාලයට සොබාදහමේ කැමැත්ත පරිදි වියළි කාලයක් පවතීද යන්න සැක සහිත වේ. ඊට හේතුව මේ වනවිට සිදුවන ප්‍රමාදයයි. එසේනම් අස්වැන්න ගෙට ගත නොහැකිව ගොවියා අමාරුවේ වැටෙනු ඇත. මේ නිසා පමාවට ඉඩදී වගා පිහිටුවන්නෙක් වේනම් කළයුත්තේ කෙටි වයස් කාණ්ඩයේ වී ප්‍රභේදයක් තෝරා ගැනීමයි. මාස දෙකහමාරේ ප්‍රභේදයන් මේ සඳහා සුදුසු වනු ඇත.

 පමාව හේතුවෙන් සිදුවෙන තවත් හානිකර තත්ත්වයක් තිබේ. සැප්තැම්බර් අග සිට ලැබෙන මෝසම් වැස්සත් සමග විධිමත්ව බිම් සකසාගෙන වල්පැල මර්දනයට නිසි පියවර ගනිමින් මාස් කන්නය ඇරඹීමට තිබෙන අවස්ථාවද යලෙහි පමාව විසින් අවුල් කරලනු ඇත. ගොවියා මේ සියල්ල ගැනම වඩාත් සාධාරණ මනසකින් යුතුව සොයා බැලිය යුතුවේ. මේ වනවිටත් කුඹුරට නොගිය අයෙක් වේ නම් සහ යල කන්නයේ වී ගොවිතැන් කරන්නට තවදුරටත් බලාපොරොත්තු වන්නේ නම් කළ යුතු හොඳම දෙය වන්නේ කෙටිකාලීන වී ප්‍රභේදයක් තෝරාගනිමින් හැකි විගස කුඹුර අස්වද්දා, තම පමාවේ දෝෂය අවම කරගැනීමයි. මේ ගතවෙන්නේ ඒ සඳහා ඇති අන්තිම දින කීපය බව සිහිතබා ගැනීම වටී. කොන්දේසි දමාගත යුත්තේ බලධාරීන් සමග නොවේ. සොබාදහම සහ මහපොළොව සමගය. අනාගතයේදී ගොවියා යමක් ලබන්නේද ඒ දෙතැනින්ම පමණක් නිසාය.

 ● සනත් එම්. බණ්ඩාර
[email protected]

සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment