යහපාලනය ආපු ගමන් මධ්‍යම අධිවේගයෙන් ලක්‍ෂ 18000ක් හොරා කාලා – ජොන්ස්ටන් මැතිසබයේදී කියයි

176

කඩවත සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීම් කටයුතුවලින් යහපාලන ආණ්ඩුව පත්වී මාස තුනක් යන්නත් කලින් රුපියල් ලක්ෂ 18,000ක් හොරකම් කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 දා) පැවසීය.

විපක්ෂ මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා (සජබ) විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා තුන්වන අදියර ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තු පිරිනැමීම පිළිබඳව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

එහිදී ඇමැතිවරයා මෙසේද කීය.

ඔබතුමා ඇහුවා ටෙන්ඩර් දානවා, දේශීය කොන්ත‍්‍රාත්කරුවෝ කියලා, ඒවා වෙනස් කරලා කියලා. ටෙන්ඩර් ඉදිරිපත් කරනවා කියලා. අපිට සල්ලි

හොයාගන්න බැරි නම් අපි වෙනස් කරනවා. ඒකට තමයි රජයක් තියෙන්නේ. ඒ නිසා කැබිනට් එකට යන්න ඕන නම් කැබිනට් එකේ එකඟතාවයෙන් අපි වෙනස් කළ යුතුයි. ඊයේ ජාතික පුවත්පත්වල තිබුණ ඒවාට මම ඊයේ හවසම උත්තර සැපයුවා. සති දෙකක් තිස්සේ මේ දේවල් ගියා. මම උත්තර දුන්නේ නැත්තේ ප‍්‍රසම්පාදන කටයුතු සිදුවෙන නිසා. එවිට අපි උත්තර දෙන එක වැරදියි. මේ අය කියනවා කෝටි එක්දාස් හයසිය ගාණක් හොරකම් කරලාලූ. මම දැක්කා එක දේශපාලනඥයෙක් කියනවා, රත්තරන්වලින් පාරවල් හදන්න පුළුවන් ඇස්තමේන්තු ද කියලා.

මම ඔබතුමාලාට කියන්නම් ඔබතුමාලාගේ දිස්ත‍්‍රික්කයේ පැරදිලා ගෙදර ඉන්නේ. එතුමන්ලා කරපු හැටි මතකයි. ඔබතුමා දන්නවානේ කවුද කරේ කියලා. මිරිගම ඉඳලා කඩවතට නැත්නම් කඩවත ඉඳන් මීරිගමට. ඒ සමාගම ඒ ගැනනේ මේ කියන්නේ. ඒ සමාගමට ඔබතුමාලා කොහොමද ඒ කාලේ කිව්වේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මන්තීරු 6ක් වටරවුම් පාරේ බිලියන 66කට දෙනවා කිව්වා. රත්තරන්වලින් හදන්න පුළුවන් ඇස්තමේන්තු කියලා එදා මඩ ගැහුවා. මඩ ගහලනේ ඡුන්දය දිනා ගත්තේ. නමුත් ඔබතුමාලගේ ආණ්ඩුව මොනවද කෙරුවේ. ඔබතුමාලාගේ ආණ්ඩුව බිලියන 66යේ මන්තීරු 06 මන්තීරු 02 ක් අඩු කරලාත් බිලියන 66කට දුන්නා.

මම කවුරුත් ඇමැතිවරුන්ට ඇඟිල්ල දික්කරන්නේ නැහැ. නමුත් මේවාට ගොඩක් අය හවුල්. මෙතන හිටිය නම් ඕක අහන්නේ ඔබතුමා නෙවෙයි වජිර අබේවර්ධන. ලක්ෂ 25,000 ටෙන්ඩරය ලක්ෂ 43,000කට දුන්නේ කඩවත ඉඳන් මීරිගමට. ලක්ෂ 18,000ක් හොරකම් කෙරුවා. මාස තුනක් යන්නත් කලින්. යහපාලන ආණ්ඩුව ඇවිත් අගෝස්තු මාසය වෙද්දී ආරම්භ කෙරුවා. අදට අවුරුදු හතයි ඔය සමාගම අරගෙන. අඩුම ගාණේ තමුන්නාන්සේලා මේක ටෙන්ඩරයකින්වත් නෙවෙයි දුන්නේ. ඒකෙත් බිලියන 20 යි ගෙව්වේ. බිලියන 36ක් ගෙව්වේ අපේ ආණ්ඩුවෙන්. අපිටත් ඒක කැන්සල් කරන්න තිබුණා. නමුත් අපි බැලූවේ මේ අධිවේගී මාර්ග නතර නොකර ඉක්මනින් මේ රටේ මිනිසුන්ට හදලා දෙන්න.

ඊළඟට මේ දෙවැනි පැකේජ් එක මීරිගම සිට කුරුණෑගලට. ඒකෙදිත් මම කියන්නම් තමුන්නාන්සේලා දුන්න විදිය. කිරිඇල්ල හිටපු ඇමැතිතුමා කියනවා, ‘දයා ගමගේ හරියට කරා නම් කුරුණෑගල අධිවේගය ඉවර කරන්නේ අපි.’ දයා ගමගේ කියන්නේ තමුන්නාන්සේලාගේ කැබිනට් එකේ හිටපු ඇමැති. කැබිනට් එකේ හිටපු ඇමැතිට ටෙන්ඩර් දුන්නා කියලා කැබිනට් ඇමැති කෙනෙක් තවත් ඇමැති කෙනෙක් පත්තරේට කියනවා. එහෙම තමයි ඒ කාලේ හොරකම වුණේ. ඒකේ පාරක් කීයකට ද දුන්නේ. අපි දීලා තිබුණේ ලක්ෂ 24,000කට. මුල්ගල් තිබ්බා නොවැම්බර් මාසයේ 13, 14. ගලගෙදර දක්වා සහ ගලේවෙල දක්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දේශීය කොන්ත‍්‍රාත්කරුවන්ට දීලා තිබුණේ. ඒක දුන්නා ලක්ෂ 33,000කට. කිලෝමීරටයකට ලක්ෂ අටදාහක් වැඩියෙන් දුන්නා. ඒ නිසා මම කියනවා ඔබතුමාලා ඇ`ගිලි දික්කරද්දී අපි ප‍්‍රසම්පාදන කටයුතු ඉතාමත් නිවැරදිව රාජ්‍ය නිලධාරීන් හරහා කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ කියලා. එතුමා දූෂණයට විරුද්ධයි. අපේ රජයත් දූෂණයට විරුද්ධයි. අපි දූෂණයට ඉඩ දෙන්නේ නැහැ. දැන් මේ ගණන් හිලව් කියන්නේ මොනවාද. මේ ඇරපු නැති ටෙන්ඩරයක ගණන් තමයි මේ කියන්නේ. ගණන් හිලව් ඉදිරිපත් වෙච්ච නැති, අඩුම ගාණේ ලියුම් කවරයක්වත් ගලවපු නැති ටෙන්ඩරයක් ගැන තමයි මේ කතා කරන්නේ. අපි කියනවා පැහැදිලිවම දූෂණයෙන් තොරව හැම දේම කරනවා කියලා. තමුන්නාන්සේලා නියෝජනය කරන්නේ එදා මීරිගම ඉඳලා කඩවතට ලක්ෂ 18000ක් වැඩියෙන් දුන්න සමාගමක් තමයි නියෝජනය කරන්නේ කියලා මම කනගාටුවෙන් වුණත් කියනවා.

අපි කියනවා මේ සමාගම් නියෝජනය කරන්න යන්න එපා. තමුන්නාන්සේලා කියනවා මහ බැංකුවලටත් වඩා වැඩිය හොරකමක්ලූ දැන් වෙන්නේ. මහ බැංකුව හොරා කෑවා. අද සමාගම් නියෝජනය කරනවා. පක්ෂය ඉවර වුණා. ඒ නිසා කල්පනා කරලා බලලා හොරුන්ව නියෝජනය කරන්න එපා කියලා මම ඉල්ලනවා. මලික් සමරවික‍්‍රමලා කොහොමද බෑග් පිටින් සල්ලි දුන්නේ කියලා අපි කියන්නම්. ඒ නිසා කරුණාකරලා මඩ ගහන්න එපා. ඊළඟට කියයි ආණ්ඩුවක් තිබිලා ආණ්ඩුව මොනවද කළේ කියලා. ඒ නිසා අපි සංවර්ධනය නතර කරන්නේ නැහැ. මේ ජනතාවට අවශ්‍ය කරන සංවර්ධනය අනිවාර්යෙන්ම ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මොන අභියෝගය ආවත් අපි ඉටු කරනවා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා –

2015 අපි බලයට පත්වෙන විට කඩවත – මීරිගම අධිවේගී මාර්ගය එම්සීසී සමාගමට දෙන්න මහින්ද රාජපක්ෂ මහතා ගිවිසුම් අත්සන් කරලා තිබුණා. අපි නෙවේ දුන්නේ එතකොට කවුද එම්සීසී ආයතනයේ දේශීය නියෝජිතයන් දෙන්නා? එක්කෙනෙක් ප‍්‍රභාත් නානායක්කාර, අනෙක් කෙනා තමා දිල්ශාන් වික‍්‍රමසිංහ. කවුද දිල්ශාන් වික‍්‍රමසිංහ කියන්නේ? 2015 අපි බලයට පත්වුණාම චීන සමාගම ඇවිත් මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වුණ ලියවිලි පෙන්නුවාම අපිට මාර්ගය දෙන්න සිද්ධ වුණා. එදා ඒ ගිවිසුම අත්සන් කරලා තිබුණේ නැතිනම් අපි දේශීය කොන්ත‍්‍රාත්කරුවන් දාලා කඩවත – මීරිගම මාර්ගය කරනවා. මොකද අපිට සල්ලි තිබුණා. මේ අය තමා මෙයාලගේ කාලේ හැමදාම චීන්නු පස්සේ ගියේ. නමුත් අපි මීරිගම – කුරුණෑගල මාර්ගය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට දේශීය කොන්ත‍්‍රාත්කරුවන්ට දුන්නා. මාර්ගයේ කිලෝමීටර් 41න් කිලෝමීටර් 37ක් හදලයි වත්මන් රජයට භාර දුන්නේ. මේ අය හැදුවේ කිලෝමීටර් 04 යි. එම්සීසී එක ගැන අහන්න ඕනේ නම් දිල්ශාන් වික‍්‍රමසිංහගෙන් අහන්න. දිල්ශාන් වික‍්‍රමසිංහ කියන්නේ ශිරන්ති රාජපක්ෂගේ අයියගේ පුතා. එම්සීසී එකට මාර්ගය දුන්නේ අපි නෙවේ මේගොල්ලෝ. මේ අය බලයට ආවට පස්සේ මාසයක් හෙව්වා මොනවා හරි පටලවන්න.

ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා-

කිරිඇල්ල මන්තී‍්‍රතුමා බබා පාට් දානවා. එතුමා කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ කාලයේ දුන්න කොළයක් ගෙනත් දුන්නාලූ. කොළේ බලලා ටෙන්ඩර් එක දුන්නාලූ. ගොන් කතා කියන්න එපා. දයා ගමගේ ඇමැතිතුමාට කොන්ත‍්‍රාත් දුන්නා කියලා දෙවැනි පාරටත් කිව්වා. එතුමා කියනවා මාසයක් හෙව්වා කියලා. එක දවසක්වත් හොයලා නැහැ. අපි දැක්කා අපෙන් පලිගත්ත හැටි. අපි එක ෆයිල් එකක්වත් හොයලා නැහැ. ඔබතුමා බොරු කතන්දර කියන්න එපා. ඔයගොල්ලො ඉල්ලනවා නම් අපි හොයන්නම්. බිලියන 66කට දුන්න එක මන්තීරු දෙකක් අඩු කරලත් මහින්ද රාජපක්ෂ කියපු හින්දද බිලියන 66 කට දුන්නේ. ශිරන්ති රාජපක්ෂගේ නම ඇදගෙන බොරුවට මඩ ගහනවා. මතකද ඔබතුමන්ලා කිව්වා රත්තරන් අශ්වයෝ, ලැම්බොගිනි, හෙලිකොප්ටර් තියනවා කියලානේ කිව්වේ. එතුමා කිව්වා අපි කිලෝමීටර හතරයි හැදුවේ කියලා. එතුමන්ලා දීලා අවුරුදු හතයි. අඩුම ගානේ එම්සීසී එකට සියට 15වවත් දුන්නේ නැහැ. දැන් චීන්නු චීන්නු කියලා කියනවා. අපිට කිව්වේ චීන කොලනියක් කරනවා කියලා. අද තමුන්නාන්සේලා නියෝජනය කරන්නේ කාවද? දේශීය සමාගම් ද? අපි ඕන විවාදයකට ලෑස්තියි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment