යහපාලන කාලයේදී ඉංජිනේරු සංස්ථාවට ගත් ආරක්‍ෂකයන් 19 කට තේරුමක් නැතුව කෝටි 4ක් පඩි ගෙවලා  

143

යහපාලන රජය සමයේ 2016 දී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට බඳවා ගෙන සිටි ආරක්ෂක නිලධාරීන් දහනවදෙනකු ආයතනයේ කටයුතුවලින් බැහැරව පෞද්ගලික ව්‍යාපාරික හා වතුවල ආරක්ෂාව සඳහා යොදවා ඔවුන්ට රුපියල් හාරකෝටි විසිලක්ෂයක වැටුප් හා දීමනා ගෙවා ඇතැයි අභ්‍යන්තර පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙම දහනවදෙනාට වැටුප් හා දීමනා ගෙවා ඇත්තේ 2016 සිට වසර දෙකක කාලයක දී යැයි ඉංජිනේරු සංස්ථා උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ කාලයේදී සිදුවූ මෙවැනි දූෂිත කටයුතුවලදී ඇතැම් වෘත්තීය සමිති නිහඬව ඒවාට සහාය දැක්වූ බවත් එවැනි දූෂිතයන් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් පාර්ශ්ව වත්මන් පාලනාධිකාරියට එරෙහිව අවලාද නගන බවත් හෙතෙම පැවසීය.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට බඳවා ගෙන සිටි මෙම ආරක්ෂක නිලධාරීන් දහනව දෙනා සංස්ථාවට පැමිණ ඇත්තේ පත්වීම් ලිපි භාරගත් දිනයේ පමණක් යැයි ද එතැන් සිට තරුපහේ හෝටලය පුද්ගලික ව්‍යාපාරික ස්ථානයට, වතුවල හා දේශපාලන කාර්යාලවලට අනුයුක්තව ඉංජිනේරු සංස්ථාවෙන් මාසිකව වැටුප් හා දීමනා ලබා ගෙන තිබූ බව ද පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත. අදාළ වාර්තාව මේ වන විට ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට භාර දී ඇත.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මේ වන විට බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබෙන අතර යහපාලන සමයේ සිදුවී තිබෙන මෙවැනි වංචා, දූෂණ, මූල්‍ය අක්‍රමිකතා මෙන්ම වත්මන් ආර්ථික අර්බුදය ද එයට බලපා ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.

යහපාලන ආණ්ඩුව අහෝසිවීමත් සමග ස්ථිර වී නොසිටි ආරක්ෂක නිලධාරීන් දහනවදෙනාගේ සේවය අහෝසි කර ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment