යහපාලන පළිගැනීම්වලට  මිලියන 117 ක් වන්දි ගෙවන්න  අලුත් කැබිනට් පත්‍රිකාවක්

126

2015 සහ 2019 අතර පැවති යහපාලන ආණ්ඩු සමයේදී දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රජයේ නිලධාරීන්ට රුපියල් මිලියන ගණනක් වන්දි ගෙවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පක්‍ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් උත්සාහ කරන බව වාර්තා වී ඇත. මෙම කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා ඉදිරිපත් කිරීමට නියමිතය.

 ඉහත සඳහන් කැබිනට් පත්‍රිකාව කෙටුම්පත් කර ඇත්තේ හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසිනි. අශෝක ද සිල්වා හිටපු අගවිනිසුරුතුමා සභාපතීත්වය දුන් කමිටුවක් මගින් කරන ලද නිර්දේශ කිහිපයකට අනුව හිටපු

 අගමැතිවරයා විසින් මේ කෙටුම්පත් කිරීම සිදුකර ඇත. හිටපු අගමැතිවරයා මේ වසරේ මැයි 9 වැනිදා තනතුරින් ඉල්ලා අස් වූ බැවින් එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නොහැකි විය. දිනේෂ් ගුණවර්ධන මහතා අගමැති වූ පසු මෙම කැබිනට් පත්‍රිකාව පිළිබඳ උනන්දුව නැවත ඇති විය. ඉදිරි දින කිහිපයේදී මෙම කැබිනට් පත්‍රිකාව අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්‍ෂිතය.

 කැබිනට් පත්‍රිකාව සඳහා නිර්දේශ ඉදිරිපත් කරන ලද කමිටුවට හිටපු විනිසුරු අශෝක ද සිල්වා මහතා සභාපතීත්වය දෙද්දී හිටපු අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ, ජනාධිපති නීතිඥ වී. කේ. චොක්සි, හිටපු විගණාධිපති එස්. ස්වර්ණජෝති සහ විශ්‍රාමික ගණකාධිකාරී එච්. ඩී. වීරසිරි එහි සාමාජිකයන් ලෙස කටයුතු කළහ. මෙම කමිටුව පත්කරන ලද්දේ ඉකුත් වසරේ සැප්තැම්බර් 10 වැනිදා ය. අදාළ කැබිනට් පත්‍රිකාව සම්මත වුවහොත් දේශපාලන පළිගැනීම්වලට ලක්වූයේ යැයි කියන නිලධාරීන් 27 දෙනකුට මූල්‍ය වන්දි ලැබෙනවා ඇත. මෙය රුපියල් ලක්‍ෂ 7 සිට රුපියල් මිලියන 25 දක්වා වූ මුදලකි. මෙම කමිටුවට දුක්ගැනවිලි ඉදිරිපත් කළ තවත් නිලධාරීන් 11 දෙනකු වන්දි ලබා ගැනීම සඳහා නුසුදුසු බව කමිටුව මගින් තීරණය කර ඇත.

 වන්දි ලබන පිරිස අතර ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්‍ෂ පියදාස කුඩාබාලගේ (වන්දිය රුපියල් මිලියන 24.8), හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් (වන්දිය රුපියල් මිලියන 24), හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග (වන්දිය රුපියල් මිලියන 15), අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට (වන්දිය රුපියල් මිලියන 14), මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ (වන්දිය රුපියල් මිලියල 6), අමාත්‍යාංශ ලේකම් නීල් හපුහින්න (වන්දිය රුපියල් මිලියන 5.9), දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල් කිත්සිරි රණවක (වන්දිය රුපියල් මිලියන 4.8), හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ (වන්දිය රුපියල් මිලියන 4.2) යන අය වෙති. මෙම වන්දි මුදලේ සම්පූර්ණ එකතුව රුපියල් මිලියන 117 කි.

advertistmentadvertistment
advertistmentadvertistment