යළි ජීවමාන වියයුතු, පිලිප්ගේ චින්තනය

197

මෙරට ”සමාජවාදයේ පියා” ලෙස සැලකෙන්නේ පිලිප් ගුණවර්ධනයන්ය. ”බොරළුගොඩ සිංහයා” ඔහුට පටබැඳුණු ජනප‍්‍රිය නාමයයි. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය විරෝධී සටනේ ජාතික වීරයෙකු වන පිලිප් ගුණවර්ධනයන්ගේ 50 වන ගුණානුස්මරණය 2022 මාර්තු 26 දිනට යෙදී තිබෙන්නේය.

පිලිප් උපන්නේ 1901 ජනවාරි 11 වැනිදාය. ඔහුගේ පියා, ”බොරළුගොඩ රාළහාමි” යන නමින් ප‍්‍රසිද්ධව සිටි හේවාගම් කෝරළයේ විදාන ආරච්චි වූ දොන් ජාකෝලිස් රූපසිංහ ගුණවර්ධන වූ අතර මව ලියනෝරා ගුණසේකර වූවාය. අසත්‍ය චෝදනා මත ඉංග‍්‍රීසී පාලකයන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බොරළුගොඩ රාළහාමි මරා දැමිය යුතු බවට දුන් තීන්දුව වෙනස් කරවා ගැනීමට කුඩා පිලිප් සිය මව සමඟ පෙත්සමක්ද රැගෙන අශ්ව කරත්තයෙන් රජ ගෙදරට ගියේ ”කවුරු කීවත් කරත්තය නවත්තන්න එපා” යනුවෙන් කරත්තකරුට උපදෙස් දෙමිනි. ආණ්ඩුකාරයාට එසේ භාර දුන් පෙත්සමේ අවසාන ප‍්‍රතිඵලය ලෙස බොරළුගොඩ රාළහාමිට නිදහස ලැබිණි.

1932 වන විට ඇමරිකා එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපන කටයුතු ඔහු හමාර කර තිබුණේ, කළුඅග්ගල සිද්ධාර්ථ මිශ‍්‍ර පාසලෙන්ද, හංවැල්ල සිංහල ද්විභාෂා පාසලෙන්ද, මොරටුව වේල්ස් කුමර විදුහලෙන්ද, කොළඹ ආනන්ද විද්‍යාලයෙන්ද, කොළඹ ශාස්ත‍්‍ර ශාලාවෙන්ද මූලික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුවය. උසස් අධ්‍යාපනය හමාර කර ඔහු මවුබිමට පැමිණෙන විට, ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් නොව එංගලන්තය ඇතුළු යුරෝපයේ විවිධ රටවල ජාතික නායකයන් හා එක්ව, යටත් විජිත රටවල විමුක්ති ව්‍යාපාරයන්ට උර දෙමින් ක‍්‍රියාකාරී දේශපාලන අත්දැකීම් රැසක් ලබා තිබුණේය.

යළි ජීවමාන වියයුතු, පිලිප්ගේ චින්තනය

එංගලන්තයේ සිටි සමාජවාදීන් ලබා දුන් වැදගත් ලේඛන කිහිපයක් රැගෙන, එංගලන්තයේ සිට ප‍්‍රංශය හරහා පිරනීස් කඳුවැටිය තරණය කරමින් පිලිප් තනිවම ස්පාඤ්ඤයේ සමාජවාදීන් වෙත ගිය ගමන, යුරෝපා සමාජවාදී සටන් ඉතිහාසයේ නොමැකෙන සලකුණක් ලෙස හැඳින්විය හැකිය.

ඔහු සියරට පැමිණි පසු, සූරිය මල් ව්‍යාපාරයට එක් වූයේය. ඒ, ලෝක සංග‍්‍රාමයට දායක වූ සෙබළුන් සමරා ඇරඹුනු පොපි මල් ව්‍යාපාරයට එරෙහි අදහස් දැරූ තරුණ නායකයන් සමඟිනි. සූරිය මල් ව්‍යාපාරය මෙරට සමාජවාදී ව්‍යාපාරයේ පදනම ලෙස සැලකිය හැකිය.

1934 දී තුන්කෝරළයේ පැතිර ගිය මැලේරියා වසංගතයෙන් පීඩාවට පත් ජනතාව අතරට ගිය පිලිප් ඇතුළු නායකයෝ ආහාර ද්‍රව්‍ය බෙදීමෙන් පමණක් නොනැවතී, රෝගීන්ට සාත්තු සප්පායම් කිරීමටද ඉදිරිපත් වීම, අධිරාජ්‍යවාදී පීඩනයට හසුව සිටි ජනතාවට නිදහසේ ආශ්වාදය ගෙන දුන්හ.

පිලිප්, 1935 දෙසැම්බර් 19 වැනිදා බිහි වූ මෙරට පළමු වාමාංශික පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂයේ පුරෝගාමියා වූවා පමණක් නොව, 1936 රාජ්‍ය මන්ත‍්‍රණ සභා මැතිවරණයට තරග වදිමින්, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව අලූත් යුගයක් ආරම්භ කිරීමට සමත් වූයේ ය. 1936 රාජ්‍ය මන්ත‍්‍රණ සභා ඡුන්දයේදී ඔහු, අවිස්සාවේල්ල රදළ බලකොටුව දෙදරවා හරිමින්, ජය තමන් සතු කරගත්තේය. එතැනින් නොනැවතුන පිලිප්, මෙරට ඇළ දොළ ගංගා ඇසුරින් ජල විදුලිය නිපදවීම මෙන්ම කෘෂි කර්මාන්තය පෝෂණය කිරීමේ යෝජනා ද ඉදිරිපත් කළේය. කැලණි ගඟ පිටාර ගැලීම පාලනය කිරීම මෙන්ම සංවර්ධනය උදෙසා ඉදිරිපත් කළ යෝජනාද ඊට අන්තර්ගත විය. පාසල් සිසුන්ට නොමිලේ දිවා ආහාරය සැපයීම සඳහා එකල රජය මුදල් වෙන් කළේද පිලිප් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ඉදිරිපත් කළ යෝජනාවක් අනුවය.

එහෙත් අධිරාජ්‍ය විරෝධී චෝදනා මත 1940 දී පිලිප්, ඇන්. ඇම්., කොල්වින්, එඩ්මන් සමරක්කොඩි යන සම සමාජ නායකයන් අත්අඩංගුවට ගැනිණි. බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි ඔවුන් එතැනින් ඉන්දියාවට පලා ගිය අතර ඔවුන් සිර භාරයෙන් මුදා ගැනීමේ මෙහෙවරට නායකත්වය දුන්නේ පිලිප්ගේ සොහොයුරු රොබට් ගුණවර්ධනයන්ය. ඉන්දියාවට ගිය ගමන පෞද්ගලිකව භයානක අත්දැකීමක් වුවද මෙරට අධිරාජ්‍ය විරෝධී සටන් ව්‍යාපාරයේ නොමැකෙන දේශපාලන සලකුණක් වන්නේය. පිලිප් එහිදී ඉන්දීය නිදහස් සටනට ද එක් වූයේ, අන්තර්ජාතික දේශපාලනය තුළ ඔහුගේ ක‍්‍රියාකාරීත්වය තවත් පෝෂණය කරමිනි.

1943, ඉන්දියාවේදී පිලිප් අත්අඩංගුවට ගැණුනේ ඒ වන විට වෙස් වළාගෙන එහි ගොස් සිටි ඔහුගේ බිරිඳ කුසුමා ගුණවර්ධන සහ පුතු ඉන්දික ද සමඟිනි. පසුව මෙරටට එවනු ලැබූ පිලිප් ඇතුළු වමේ නායකයන් යළි සිර ගත කෙරුණු අතර ඔවුන්ට සමාව ලැබුණේ 1945 දී දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ යෝජනාව රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සම්මත වීමෙන් අනතුරුවය. එහෙත් නිදහස ලබා ගන්නට, දින 14 ක් පුරා සිර ගේ තුළ උපවාස කරන්නට සම සමාජ නායකයන්ට සිදු විය. 1945 දී ඔවුන්ට එරෙහිව නඩු පැවරුන අවස්ථාවේ අධිකරණය ඇමතූ පිලිප් වේගවත් දේශනයක් කළේය. ”ලංකාව පාලනය කිරීමට බි‍්‍රතාන්‍යයන්ට කිසිදු අයිතියක් නැත. දහවල් මංකොල්ල කමින්ද, රාත‍්‍රියේ මිනී මරමින්ද ලංකාව යටත් කර ගත් බි‍්‍රතාන්‍ය වූ අපේ ජාතික නිදහස පමණක් නොව අපේ පාරම්පරික ගුණ වගාවද, ස්වංපෝෂිත ආර්ථිකයද විනාශ කළහ. යුද්ධය අවසානයත් සමඟ, ජපානයේ කාඩ්බෝඩ් ගෙවල් මෙන් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය කැඞී බිඳී යනු ඇති” ඔහු එහිදී ප‍්‍රකාශ කළේය.

කොළඹ රෝලන්ඩ් කොම්පැණියේ සේවකයන් සිය ගණනක් නෙරපා හැරීම හේතුවෙන් ආරම්භ වී රට පුරා කම්කරුවන් ඒකරාශි කළ, 1947 මහා වැඩ වර්ජනයේදී පිලිප්, රත්මලානේ සවුත් වෙස්ටර්න් බස් සමාගමේ වර්ජනයට නායකත්වය දෙමින් ප‍්‍රධාන දොරටුව අසල වැතිරුනේ ”බස් යනවා නම් මගේ සිරුර උඩින් පලයල්ලා” කියමිනි. 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් අවිස්සාවේල්ල ආසනය ජය ගත්තත් බස් සේවකයන් වරදට පෙළඹවීමේ චෝදනාවට ඔහුට තුන් මසක සිර දඬුවමක් නියම කෙරිණි. ඒ සමගම අවිස්සාවේල්ල සඳහා පිලිප්ගේ නාමයෙන් කුසුමා පාර්ලිමේන්තුවට පිවිසියාය.

අධිරාජ්‍යවාදීන්ටද, ”අධිරාජ්‍යගැති දේශීය ධනේශ්වර පන්තියට” ද එරෙහිව ගෙන ගිය නිර්භීත සටන හේතුවෙන් පිලිප් වේගයෙන් දැවැන්ත ජනතා නායකයෙකු බවට පත් වූවා පමණක් නොව රටේ විකල්ප දේශපාලන බලවේගය බවටද පත් වූවේය. නිර්භීත, අවංක ජාතික නායකයෙකු ලෙස වේගයෙන්ම සමාජ සලකුණක් බවට පත් වූ මෙරට පළමු දේශපාලනඥයා ලෙස ඔහු සැලකිය හැකිය.

1950 දශකය මුලදී විප්ලවවාදී සමසමාජ පක්ෂය පිහිටුවා ගත් පිලිප්, වමේ පක්ෂ සමඟියද සමඟින් 1953 හර්තාලයටද ඉහළම නායකත්වය ලබා දුන්නේය.

1956 දී බණ්ඩාරනායකයන්ගේ නායකත්වයෙන් මහජන එක්සත් පෙරමුණේ ආණ්ඩුවක් බිහි කිරීම පිලිප්ගේ දේශපාලන නායකත්වයේ මීළඟ පුරෝගාමී සන්ධිස්ථානය විය. ඔහු එම ආණ්ඩුවේ බස්, වරාය ඇතුළු ජනසතු ව්‍යාපාරයේ පුරෝගාමියා වූ අතර කුඹුරු පනත මඟින් අඳ ගොවි අයිතිය සහතික කර දුන්නේ, කෘෂිකර්ම, ආහාර සමුපකාර අමාත්‍යවරයා ලෙසය. නිෂ්පාදනයන් නිසි ලෙස බෙදා හැරීම සහතික කිරීම සඳහා බහු කාර්ය සමුපකාර යෝජනා ක‍්‍රමය සහ ග‍්‍රාමීය ජනතාව නඟා සිටුවීම සඳහා සමුපකාර සංවර්ධන බැංකුව නිර්මාණය කළේය. අද බොහෝ දෙනා නොදන්නවා වුවද පසුව මහජන බැංකුව බවට පත් වූයේ මෙම සමුපකාර සංවර්ධන බැංකුවය. අවසානයේ, සමුපකාරය ද රාජ්‍ය හා පෞද්ගලික අංශයට අයත් නොවන, රටේ වඩා පුළුල් ම මහජන ව්‍යාපාරයක් බවට පත්වූයේය.

තවදුරටත් පැවැති යටත් විජිත විලංගු ඉවත් කිරීම සඳහා කටුනායක බි‍්‍රතාන්‍ය ගුවන් හමුදා කඳවුර සහ ත‍්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර පවරා ගැනීමට ඔහු දැක්වූ දායකත්වය අති විශාලය. 1957 දී පිළිගත් ව්‍යාපාරයක් ලෙස තරුණ ගොවි සමාජයක් මෙරට ස්ථාපිත කෙරුණේ පිලිප් ඉදිරිපත් කළ පනත මඟිනි. මෙම මහජන ආණ්ඩුව යටතේ සිංහලය රජ බස වූ අතර දෙමළට නිසි තැන ලැබිණි. රජයේ කාර්යාලවල පාලන කටයුතු සිංහලයට හැරුණේය. ලෝක කම්කරු දිනය යෙදෙන මැයි පළමුවැනිදා රජයේ නිවාඩු දිනයක් විය. සම්බුද්ධත්ව ජයන්තිය මහත් ඉහළින් පැවැත්වුණේය.

1956 යනු මෙරට පොදු ජන බස, ගුණධර්ම, සංස්කෘතිය යළි පිබිද වූ ප‍්‍රථම ජයග‍්‍රහණය වූ අතර, ඊට උර දුන් පොදු ජනතාවගේ හදවතේ ලැගුම් ගත් සැබෑ නායකයා පිලිප් විය.

1965 සිට 1970 දක්වා කර්මාන්ත සහ ධීවර අමාත්‍යවරයා ලෙස පිලිප් ටයර් සහ වානේ මෙන්ම තුනී ලෑලි සංස්ථාව වැඩි දියුණු කළ අතර ධීවර සංස්ථාවද දියුණුවට පත් කළේය. එකල කිරි මණ්ඩලය විවෘත කරමින්, පළමු වතාවට කල්තබා ගෙන පානය කළ හැකි කිරි බෝතල් හඳුන්වා දුන්නේය.

1930 දශකයේ පටන් 1970 දක්වා පිලිප්ගේ දේශපාලන දර්ශනය සහ භූමිකාව මෙරට ජාතික දේශපාලනයේ තීරණාත්මක සාධකයක් ලෙස හඳුන්වා දිය හැකිය. ඔහුගේ දැවැන්ත දේශපාලන නායකත්වය මෙන්ම විද්‍යාත්මක දර්ශනය, සමාජවාදය, ජාතික සංස්කෘතික උරුමය ඔස්සේ දිව යන්නේ බෞද්ධ දර්ශනයටද සමාන්තර වෙමිනි. පවතින තත්ත්වයට හා අවශ්‍යතාවට ගැළපෙන සේ සිය දැක්ම මෙහෙයවා ගැනීමට තරම් නිර්මාණශීලී වූ පළමු වාමාංශික නායකයාද පිලිප්ය. සම සමාජ පක්ෂය ඔස්සේ මහජන එක්සත් පෙරමුණ දක්වා පැමිණි දේශපාලන ගමන ඊට සාක්ෂි සපයන්නේය.

පිලිප් බිහි කළ මහජන එක්සත් පෙරමුණ ඉදිරියට ගෙන යන ඔහුගේ පුත් දිනේෂ් ගුණවර්ධනයන් අද දවසේ ජාතික නායකයකු ලෙස රටේ ඒකීයභාවය, ජාතියේ ආරක්ෂාව, සම්බුදු සසුනේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සුවිශේෂී භූමිකාවකට පණ දෙමින් සිටින්නේය. දිනේෂ්ගේ සොහොයුරු ගීතාංජන ගුණවර්ධන නියෝජ්‍ය කථානායකවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කළ අතර දිනේෂ්ට සහ මහජන එක්සත් පෙරමුණට විශාල ශක්තියක් ලබා දෙමින් සිටියි. පිලිප්ගේ පුතු ඉන්දික ගුණවර්ධන කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අතර ප‍්‍රසන්න ගුණවර්ධන කොළඹ පුරපති ලෙස කටයුතු කළේය. එකම දියණිය ලක්මලී ලේඛිකාවක වූවාය.

දිනේෂ්ගේ පුත් යදාමිණි ගුණවර්ධන පිලිප්ගේ දර්ශනය හා භාවිතාව මීළඟ පරපුරට උරුම කරමින් මහජන එක්සත් පෙරමුණේ තරුණ සංවිධානයේ නායකයා ලෙස පාර්ලිමේන්තුවද නියෝජනය කරමින් ජනතා සේවයට පිවිස සිටින්නේය.

පිලිප්, ජයේදීත් පරාජයයේදීත් ප‍්‍රගතිශීලි සටන අත් නොහළේය. ඔහුගේ චින්තනය පොතේගුරු වාදයක් නොවීය. පිලිප් මිය ගොස් 50 වන වසර සපිරෙන මේ මොහොතේදී ලාංකේය පොදු ජනතාව ජීවත් වන්නේ තවත් තීරණාත්මක කාල පරිච්ෙඡ්දයකය. මේ නිසා පිලිප් ගුණවර්ධන චින්තනය ජීවමාන විය යුතු කාලයකට ශ‍්‍රී ලංකාව පිවිස සිටින්නේ යැයි සිතීම වඩාත් නිවැරදිය.

ප‍්‍රියන්ත ප‍්‍රදීප් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment