යළි පිබිදෙන ඓතිහාසික කඳුළව ඉහළ පෝයමළු රජමහා විහාරය

283

ඉබ්බාගමුව කඳුලව ඓතිහාසික ඉහළ පෝයමළු රාජමහ විහාරය අනුරාධපුර යුගයට අයත් නටබුන් සහිත පුදබිමකි. විනාශ වී ගිය ශෛලමය බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා, මහ රහතන් වහන්සේලා වැඩසිටි බව අනුමාන කෙරෙන කටාරම් කෙටූ ගල්ලෙන් ඇතුළු නටබුන් මෙහි විසිර පවතී.

යළි පිබිදෙන ඓතිහාසික කඳුළව ඉහළ පෝයමළු රජමහා විහාරය

මහනුවර යුගයේ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ දවස වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ මෙහෙයවීමෙන් සියම් ජාතික උපාලි මහ තෙරුන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ලක්දිවට වැඩම කොට නැති වී ගිය උපසම්පදා විනය කර්මය යළි මෙරට පිහිටුවීමෙන් පසු රටෙහි විවිධ ස්ථානවල විනය කර්ම සිදු කිරීම සඳහා සීමා සම්මත කරවන ලදී. සංඝරාජ හිමියන්ගේ ද්විතීය ශිෂ්‍ය වූ දරමිටිපොළ ධම්මරක්ඛිත හිමියන් වැඩ සිටි කඳුලව ඉහළ පෝයමළු විහාරය ද මෙලෙස සීමා සම්මත කළ පෞරාණික පුදබිමකි. කාලයාගේ ඇවෑමෙන් මෙම පුදබිම විනාශයට පත්ව වනගත වූ අතර පහළ භූමියෙහි සියලූ විහාරාංග තනවා මැදිරිය රජමහ විහාරය ලෙස හඳුන්වමින් ආගමික කටයුතු සිදු කර ඇත.

යළි පිබිදෙන ඓතිහාසික කඳුළව ඉහළ පෝයමළු රජමහා විහාරය

සියම් මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි විනාශයට පත් ඓතිහාසික ඉහළ පෝයමළු විහාරස්ථානය මුළුමනින්ම ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා පසුගිය දා මූලික කටයුතු සිදු කෙරුණි. මල්වතු මහා විහාරවාසී, ඓතිහාසික දන්තුරේ රාජමහා විහාරය, කඳුලව මැදිරිය රාජමහ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති, කර්මවාගාචාර්ය, ධර්මාචාර්ය දන්තුරේ විපස්සි නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් සතර පේරුවේ දායක පිරිසගේ ශ‍්‍රම දායකත්වයෙන් වනගතව පිහිටි පෞරාණික විහාර බිම එළි පෙහෙළි කිරීම් කටයුතු ආරම්භ කරන ලදී. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි පෙර රජ දවස පැවති ශ‍්‍රී විභූතියෙන් මෙම පුදබිම සැදැහැවතුන් හට වන්දනාමාන කිරීමට සුදුසු පුණ්‍යභූමියක් ලෙස සංවර්ධනය කිරීමට විහාරාධිපති දන්තුරේ විපස්සි නාහිමිපාණන් වහන්සේ අපේක්ෂා කරති.

advertistmentadvertistment
advertistmentadvertistment