යළි බුදුන් වඩින මහියංගණය

123

ඵෙතිහාසික මහියංගණ පුදබිම ලාංකීය ඉතිහාස කතාව තුළ ප්‍රබලතම සන්ධිස්ථානයක් සනිටුහන් කළ පුණ්‍ය භූමියකි. බුද්ධත්වයෙන් නව මසක් ඇවෑමෙන් මහියංගණය මහවැලි නදිය අසබඩ මහානාගවන නම් වූ උද්‍යානයේ යක්‍ෂයන්ගේ මහා සම්මේලනයක් පැවති අවස්ථාවක ලංකාද්වීපයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ බොහෝ පෙළහර පා යක්‍ෂයන් දමනය කළ අතර යක්‍ෂ, නාග, දේව පිරිස්වලට ධර්ම දේශනා කොට ලංකාද්වීපය පන්දහසක් කල් බුද්ධ ශාසනය පැවතීමට සුදුසු ස්ථානයක් බවට පත් කරන ලද්දේය.

මෙලෙස ප්‍රථම වරට සම්බුද්ධ පාදශ්පර්ශය ලද මෙම භූමියේ එකී ලංකාගමනය සිහිකරනු වස් කිසිදු ඉදිකිරීමක් මෙතෙක් නොතිබුණි. මෙම පසුපස ආධාරකයක් රහිත බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකරනු ලැබූයේ එකී අඩුව සපුරාලනු සඳහායි. විල්ලුව වැව මැද කුඩා දූපතක අඩි 102 ක් උසැතිව ඉදිකරන ලද පසු ආධාරකයක් රහිත ලංකාවේ උසම බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙය වේ. බුදුන් වහන්සේ අහසින් වඩින ආකාරයට ඉදිවූ මෙම සුවිසල් බුද්ධ ප්‍රතිමා වහන්සේ, 2600 සම්බුද්ධ ජයන්තියට සමගාමීව 2012 දුරුතු පොහෝ දින වැඩ ආරම්භ කරන ලදි. එහි ගර්භ නිධානෝත්සවය 2020 දුරුතු පොහෝ දින සිදු විය. 2023 මැයි මස 28 වන ඉරු දින පස්වරුවේ මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ජනතා පූජෝපහාරය සඳහා නිරාවරණය කිරීම සිදුවේ.

මෙම උත්සව අවස්ථාවට අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන්, මහියංගණය විහාරාධිපති හිමියන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, විජයදාස රාජපක්‍ෂ මැතිතුමා ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය පිරිසක් සහභාගි වෙති.

විශේෂිත තාක්‍ෂණික ක්‍රමවේද ඔස්සේ ඉදිකරන ලද මෙම පිළිම වහන්සේගේ සිරසේ පලිඟු සවිකර ඇති අතර මෙහි සියලුම ඉදිකිරීම් සඳහා විශේෂිත ඉංජිනේරු ඥානය යොදාගෙන ඇත. මෙම ඉදිකිරීමේ ඉංජිනේරු තාක්‍ෂණය ලංකාවේ පරිණත ඉංජිනේරු කණ්ඩායමක් විසින් ලබා දෙන ලද අතර ඒ සඳහා ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ හසල දැනුමක් ඇති පිරිස්වල සහාය ලබා ගන්නා ලදී.

කෝටි 21 කට අධික මුදලක් වැය කරමින් සිදු කරන ලද මෙම සද්කාර්යය මෙත් සවිය නිර්මාතෘ මහාචාර්ය චන්දන ජයරත්න මැතිතුමන් ඇතුළු මෙත් සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදය මගින් ලාංකීය බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ඉදිකෙරුණු මහා කටයුත්තක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment