යාචකත්වය මානුෂීය සමාජ උවදුර

661

හන්දි ගානේ සිඟමන් යදින යාචකයන්ට මුදල් දෙන රියැදුරන් හෝ එම රියවල ගමන් කරන්නන්ට දඩ ගැසීමට පොලිසිය තීරණය කර තිබේ. රියැදුරා රථ වාහන පොලිසියේ බලසීමාව තුළ සිටින නමුදු රියෙහි ගමන් කරන අය එසේ නොවන බැවින් ඒ අයට දඩ ගැසීමට පොලිසියට ඇති බලය කුමක් දැයි අපට නොතේරේ.

එසේ ම හිඟන්නන්ට මුදල් දීම සම්බන්ධයෙන් දඬුවම් කෙරෙන හෝ ප්‍රශංසා කෙරෙන නීතියක් ආණ්ඩුව විසින් සම්මත කරගනු ලැබ ඇත්දැයි අප තවමත් දන්නේ නැත. කෙසේ වුවද හිඟන්නන්ට මුදල් දෙන අයට දඩ ගැසීම සමාන වන්නේ බඩගින්නේ සිටින මිනිසුන්ට දානයක් දෙන ත්‍යාගශීලියා එල්ලුම් ගස් යැවීමටය. නොඑසේ නම් මහපාරේ රස්තියාදු වෙමින් විවිධ ලිංගික අපහරණයන්ට ගොදුරු වන වීථි දරුවන් නිවාසයක් තනන මහතකු අල්ලා විදුලි පුටුවක තබා මැරීමට ය.

සමාජයේම ඵලයක් වුවද යාචකයා යනු බරපතළ සමාජ උවදුරකි. මේ උවදුර පාලනය කිරීම සඳහා ආණ්ඩුව වෙනම පියවර ගතයුතුය. එනම්, සිඟන්නන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කර ඔවුන් කිසියම් රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවීම ආණ්ඩුව කළ යුතුය. ඉන්පසු එම රැඳවුම් මධ්‍යස්ථානවල සිටින රෝගී නොවන අත පය වාරු ඇති යාචකයන් රටේ ආර්ථිකයට ප්‍රයෝජනවත් වන වැඩක යෙදවීම ද ආණ්ඩුවේ වගකීමයි. යාචකයන් රැඳවීම සඳහා තනන ලද විශේෂ රැඳවුම් මධ්‍යස්ථානයක් රිදියගම තිබේ.

ලංකාවේ සිටින යාචක ගහනය 85000ත් 100,000ත් අතර වුවද රිදියගම රැඳවිය හැකි යාචකයන්ගේ සංඛ්‍යාව 600කි. මෙහි සිටින යාචකයන්ට වගා කටයුතු සහ හස්ත කර්මාන්ත ගැන කියාදෙන නමුදු ඔවුන්ගෙන් වැඩිදෙනා රැඳවුම් කඳවුරේ ගේට්ටුවෙන් එළියට ගොස් සිඟමන් යැද එකා රුපියල් තුන් හාරදාහකුත් බත් පැකට් දෙක තුන බැගිනුත් උපයා ගෙන රාත්‍රී කාලයේ දී කඳවුරට පැමිණෙති. අන් සෑම රැඳවුම් කඳවුරක් තුළ දී මෙන්ම රිදියගම යාචක කඳවුර තුළදී ද යාචකයෝ ගුටි ඇන ගනිති. රිදියගම යාචක කඳවුර සහ ලංකාවේ හිර ගෙවල් අතර කතාව එක සමානය. ලංකාවේ හිර ගෙවල් හත්අට ගුණයකින් තද බද වී තිබේ. තව ටික කලක් ගතවනවිට මේ රටේ සිරගෙවල්වල සියලුම රැඳවියන්ට බිම දිග ඇදී නිදාගැනීමට ඉඩ කඩ අහිමිවන බැවින් රෑ එළිවන තුරුම සිටගෙන සිටීමට සිදු වෙනවා ඇත. හිරගෙදර තදබදය තිබුණා යැයි කියා සිරකරුවන්ට පැන යෑමට නොහැක. එහෙත් තමන්ට බාධා වන පරිදි තදබදයක් ඇතිවන බව හැඟුනොත් රිදියගම සිරකරුවන්ට ඇත්තේ තාප්පයෙන් පැන ගෙදර යෑමය.

ගණිකා වෘත්තියේ යෙදෙන මෙරට කාන්තාවක් දවසකට රුපියල් 20,000ක් පමණ උපයයි. ඒ අනුව ඔවුහු දළ වශයෙන් මසකට රුපියල් ලක්ෂ 5ක් පමණ උපයති. ඒ නිසා එම වෘත්තීය අතහැර මසකට රුපියල් තිස්හතළිස් දහසක් ලැබෙන වෘත්තියක නිරත වීමට ගණිකා වෘත්තියේ යෙදෙන අය කැමති නොවෙති. මෙය ඉතා සාධාරණ තත්ත්වයකි. ගණිකාවක් යනු මේ රටේ ජනයා ගෙන් වැඩිදෙනා හිතන තරමට තුට්ටු දෙකේ ගැහැනියක් නොවේ. ඇය බොහෝවිට දූදරුවන් තුන්හතරදෙනකුගේ මවකි. ඇයගේ සැමියා එක්කෝ ජීවතුන් අතර නැත. නොඑසේ නම් ඔහු ඇය අත්හැර ගොසිනි. ඒ දෙකමත් නැත්නම් ඔහු එක්කෝ කුඩ්ඩෙකි. නොඑසේ නම් බේබද්දෙකි. එහෙමත් නැත්නම් රෝගියෙකි. ඇතැම් ගණිකාවක් කුටුම්බ එකක් නොව තුනහතරක් ම සංරක්ෂණය කරයි. තම කුටුම්බය තම රෝගී මව් පියන්ගේ කුටුම්බය දීගයක් කැඩුණු තම නැඟණියගේ කුටුම්බය යනාදී වශයෙන් ඇය විශාල පරාසයක් තුළ ක්‍රියාකාරී වෙයි. මේ ක්‍රියාකාරීත්වයට ලක්ෂ කිහිපයක් අවශ්‍ය ය. ඒ ලක්ෂ ගණන සෙවීමට ඇය ඇඟ විකිණිය යුතුමය. මන්දයත් කොම්පැනි ඩිරෙක්ටර් කෙනකු වීමට හෝ ආණ්ඩුවේ උසස් තනතුරක් දැරීමට තරම් අධ්‍යාපනයක් ඇයට නැත. යාචකයාගේ කතාව ද මේ හා සමානය. ඇතැම් යාචකයෙක් කුලියට ගත් රෝගී දරුවකු කරපින්නාගෙන සිඟමන් යැද දිනකට රුපියල් 5000කට එහා පැත්තේ උපයයි. තවත් සමහරෙක් හඳුන්කූරු පැකට් තුනක් හෝ පහන්තිර පැකට් කිහිපයක් අත දරාගෙන ඒවා විකුණන ව්‍යාජයෙන් සිඟමන් යදී. එහෙත් ඒ හඳුන්කූරු පැකට් හෝ පහන්තිර කවදාවත් විකුණන්නේ නැත. ඒවා සිඟමන් යැදීම සඳහා යොදා ගන්නා camouflage එකකි. මෙය ඇතමුනට පමණක් අදාළ වන්නකි. මේ රටේ සිඟන්නන් බහුතරය මුදලාලිලා යටතේ පාලනය වෙති. එම හිඟන්නන්ට ඉඳුම් හිටුම් කෑමබීම සහ ප්‍රවාහන පහසුකම් සපයන්නේ එකී මුදලාලිලා විසිනි. ඒ වෙනුවට ඔවුහු යාචකයන්ගේ දෛනික ආදායමෙන් වැඩි කොටසක් ලබාගනිති. ගණිකාවන් වැඩි දෙනා ද සිටින්නේ මුදලාලිලා යටතේය. ගණිකාවකගේ දෛනික ආදායමෙන් තුනෙන් එකක් මුදලාලිට ලැබෙන අතර ඉතිරිය ගණිකාවට ලැබේ. යාචකත්වය යනු සමාජ උවදුරකි. එහෙත් එය මානුෂික තත්ත්වයකි. මේ සමාජ තත්ත්වයට පිළිතුරු දීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතු බව අපගේ වැටහීම වේ. සිඟමන් දෙන මිනිසුන්ට දඩ ගසා එම ප්‍රශ්නයට පිළිතුරු දිය නොහැක.

advertistmentadvertistment
advertistmentadvertistment