යාපනයේ අපරාධ කළ තිදෙනෙක් සරණාගතයන් ලෙස ඉන්දියාවට පැනලා

108

තමිල්නාඩු පොලිස් අත්අඩංගුවේ

යාපනයේ අපරාධ රැසකට සම්බන්ධ තරුණයින් තුන්දෙනකු සරණාගතයින් වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට බෝට්ටුවකින් ගොස් ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී එම තරුණයින් තුන් දෙනා අපරාධකරුවන් බවට අනාවරණය වීමෙන් පසුව තමිල්නාඩු පොලිසිය ඔවුන් 5 දා අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ සිට ධීවර බෝට්ටුවකට මුදල් ගෙවා ඔවුන් ඉන්දියාවට ගොස් ඇත. සරණාගතභාවය ලබා ගැනීමේ පරීක්ෂණයට පෙනී සිටි අවස්ථාවේදී ඉන්දීය නිලධාරීන් නගන ලද ප්‍රශ්නවලට සෘජු පිළිතුරු ඔවුන්ගෙන් නොලැබුණු නිසා ඔවුන් ගැන යාපනයෙන් තොරතුරු විමසා තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ තරුණයින් තුන්දෙනාගෙන් දෙදෙනකුට මත්ද්‍රව්‍ය චෝදනා සහ නිවාස 8ක් කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා ඇති බවයි.

අනෙක් තරුණයා යාපනයේ ඉලවාලී ප්‍රදේශයේදී සිය පෙම්වතිය බලහත්කාරයෙන් දූෂණය කොට පොලිසියට හොරෙන් කට්ටි පනිමින් සිටි තරුණයෙකි.

තවදුරටත් ඔවුන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් තමිල්නාඩූ පොලිසිය තරුණයින් තුන්දෙනා පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කරගෙන යයි.

ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන් තමිල්නාඩු අධිකරණයක් වෙත ඉදිරිපත් කොට ඒ හරහා ඔවුන් ශ්‍රී ලංකාවට ආපසු එවීමට පියවර ගන්නා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment