යාපනයේ සිංහල කෑම…ඇඹිලිපිටියේ කඩයක් යාපනයේ

870

උතුරුකරේ පියසටහන්…

මම 1995 දෙසැම්බර් 05 වන දින ප‍්‍රථම වරට යාපනය නගරයට ගියෙමි. ඒ ‘රිවිරැස 1’ ක‍්‍රියාන්විතය මගින් නගරය කොටි ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් මුදාගත් පසුව ජාතික කොඩිය එහි එසැවූ පසුය. ඊට පෙර සිව් වරක් යාපනය අර්ධද්වීපයට ගොස් ඇතත් ඒ පලාලි අධි ආරක්ෂිත කලාපයට පමණි. 1993 වසරේ දූපත්වලට ගියෙමි.

එවර මණ්ඩතිව් දූපතට ගොස් ඒ සමීපයේ තිබූ යාපනය කොටුව දුර සිට බලා ගතිමි. කයිට්ස් දූපතට ගිය අවස්ථාවේ අරාලි තුඩුවේ තිබූ හමුදා කඳවුරේ රැයක් ගත කළෙමි.

එම කඳවුර තිබුණේ යාපනය කලපුව ආසන්නයේය. එහි සිට යාපනය නගරය දැක බලාගත හැකිවිය. යාපනය නගරබද කලපු තීරයේ ආයුධ සන්නද්ධව සිටින කොටි ත‍්‍රස්තවාදීන් හොඳින් දුටු අතර, ඔවුහු රාත‍්‍රී කාලයේදී එහි සිට හමුදා කඳවුර දෙසට මෝටාර් ප‍්‍රහාර එල්ල කළහ.

මා කඳවුරේ සිටි රැයේද මෝටාර් ප‍්‍රහාර එල්ල වූ අතර කඳවුරේ තිබූ බංකරයකට වී අපි එම ප‍්‍රහාර වලින් බේරී සිටියෙමු.

04 වන සිංහ බළඇණියේ ලූතිනන් අනුර ගුණසේකර එම කඳවුර භාරව සිටියේය. ඔහු ඇතුළු හමුදා සෙබළුන් කොටි ප‍්‍රහාර වලට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරනා අතරේ මගේ ආරක්ෂාව ගැනද සොයා බලන ලදී.

එම කඳවුර තිබූ ස්ථානයේදී ලූතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරාල් විජය විමලරත්න ඇතුළු රණවිරුවන් බෝම්බ පිපුරුමකින් ජීවිතක්ෂයට පත්වූයේ මා එම කඳවුරේ රැයක් ගතකළ දිනට සති 02කට පමණ පසු දිනකය.

මෙවර මම යාපනයේ කළ සංචාරයේදී එම ස්ථානයටද ගියෙමි. ලූතිනන් කර්නල් රුවන් එදිරිසිංහ අණදෙන 17 වන ගැමුණු හේවා බළඇණියේ සෙබළුන් දැන් එම ස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකයට ආරක්ෂාව සලසමින් සිටිති.

මෙවර මම යාපනය අර්ධද්වීපයට ගියේ 47 වන වරටයි. යාපනය නගරය කොටි ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයෙන් මුදාගත් පසු 43 වරක් යාපනය නගරයට ගොස් සිටි මා එම ගමන් ගියේ හමුදා ආරක්ෂාව සහිතව හමුදාව සමගිනි. ඒ නිසා මෙවර සංචාරයේදී හමුදාව සමග නොගොස් මම තනිවම නගරය පුරා දින ගණනාවක් සැරිසැරුවෙමි.

යාපනයේ සිංහල කෑම…ඇඹිලිපිටියේ කඩයක් යාපනයේ

මා නවාතැන් ගෙන සිටියේ යාපනය කච්චේරි නල්ලූර් මාර්ගයේ පිහිටි නිවසකය. දින 26 ක් එම නිවසේ සිටි මම එහි සිට බසයක නැගී නිතරම යාපනය නගරයට යමින් නගරයේ අස්සක් මුල්ලක් නෑර සැරිසැරුවෙමි. එනිසා වෙළෙඳසල් හිමියන් සමග සහ සාමාන්‍ය වැසියන් සමග රිසිසේ කතාබහ කිරීමට හැකිවිය. හමුදාව සමග නොගොස් සාමාන්‍ය වැසියෙකු ලෙස මා තනිවම සිටි හෙයින් බොහෝ දෙනා මා සමග අදහස් ප‍්‍රකාශ කිරීමට ඉදිරිපත් වූහ.

වෙළෙඳසැල් හිමියන් හා සේවකයන් වැඩි දෙනකුට ටික ටික සිංහල කතා කිරීමට හැකි අතර ඉතා හොඳින් සිංහල කතාකළ හැකි ටික දෙනෙක්ද සිටීම අදහස් හුවමාරු කරගැනීමට පහසුවක් විය.

යාපනය බස් නැවතුම්පල අසල තිබෙන පුවත්පත් අලෙවිසලේ නන්ද කුමාර මහතාට හොඳින් සිංහල කතාකළ හැකිය. ඔහු කාලයක් කොළඹ සිටි අයෙකි. දැන් යාපනයේ ඔහුගේ ගමේ ස්ථිර පදිංචි වී පුවත්පත් අලෙවියේ නිරතව සිටී.

‘‘යාපනය ටවුන් එක දැන් බොහොම දියුණුයි. පේනවානෙ ඉන්න සෙනඟ කොච්චරද කියලා. කඩසාප්පු කොළඹ වගේ තමයි. නැති බඩුවක් නෑ. මිනිස්සුන්ට දැන් යුද්ධය ගැන මතකයක් නෑ වගේ තමයි නිදහසේ සතුටින් ජීවත් වෙන්නෙ.

සිංහල කඩ එකයි තියෙන්නෙ. ඒකත් හෝටලයක්. සිංහල කෑම කන්න ආසා මිනිස්සු ඒකට යනවා. වෙළෙන්දො වැඩි දෙනෙක් ටික ටික හරි සිංහල දන්නවා. හමුදාවෙ පොලිසියෙ හා ආණ්ඩුවෙ කන්තෝරුවල ඉන්න සිංහල මහත්තුරු නිසා සිංහලෙනුත් කතාකරනවා.

පත්තරත් හොඳට විකිණෙනවා. හැම සිංහල පත්තරයක්ම තියෙනවා. විශ්වවිද්‍යාලයේ ඉන්න සිංහල ළමයිනුයි, හමුදාවෙ පොලිසියේ මහත්තුරුයි, ආණ්ඩුවේ කන්තෝරුවල සිංහල මහත්තුරුයි නිසා සිංහල පත්තර හොඳට විකිණෙනවා.

සර් මා ගැනත් පත්තරේට දාන්න” යැයි ඉල්ලීමක්ද කරමින් නන්ද කුමාර අදහස් දැක්වීම නිමා කළේය.

යාපනය නගරයේ තිබෙන එකම සිංහල හෝටලයටද මම ගියෙමි. මීට වසර 03කට පමණ පෙර ආරම්භ කර තිබූ එය ඇඹිලිපිටිය බත් කඬේ නමින් හැඳින්වේ.

ඇඹිලිපිටියේ දිනේෂ් තරංග රණතුංග මහතා එහි හිමිකරු වේ. මා එහි යනවිට දිනේෂ් මහතාගේ නැගණිය මධුරි මහේෂිකා මහත්මිය එහි සිටියාය.

‘‘වේල් තුනටම සිංහල කෑම මෙහි තිබෙනවා. දෙමළ අය එළවළු කෑම කන්න මෙහි එනවා වැඩියි. සිකුරාදාට ඔවුන් එළවළු කෑම තමයි කන්නෙ. ඒ නිසා එදාට බොහෝ පිරිසක් එනවා. කැම්පස් එකේ සිංහල ළමයිනුත් අපෙන් කෑම ගන්නවා. දකුණේ සිට යාපනයේ සංචාරයට එන සිංහල අයත් එනවා” යැයි මහේෂිකා මහත්මිය පැවැසුවාය.

යාපනය තැපැල් අධිකාරි ධුරය හොබවනුයේද සිංහල නිලධාරියෙකි. ඔහු අනුරාධ ප‍්‍රනාන්දු මහතායි. යාපනය දිස්ත‍්‍රික්කයේ තැපැල් සේවය හොඳින් ක‍්‍රියාත්මක වන බව ඔහු පවසයි.

යාපනය නගරයේ පිහිටි නාග විහාරය හින්දු බැතිමතුන්ගේද ගෞරවයට පත්වූ පුදබිමකි. මීගහජදුරේ සිරිනිමල හිමියෝ එහි විහාරාධිපති ධුරය හොබවති.

මා එහි යනවිට එහි වැඩසිටියේ නියෝජ්‍ය විහාරාධිපති, යාපනය සර්ව ආගමික කමිටු සභාපති කෝන්ගල සිරිධම්ම හිමිපාණන් වහන්සේයි.

යාපනයේ සිවිල් පරිපාලනය සාර්ථකව ක‍්‍රියාත්මක වුවද යුද හමුදාවේ ආරක්ෂාවද යොදා ඇත. පොලිසිය විසින් සිවිල් නීතිය නිසි පරිදි ඉටු කරයි. විශේෂ කාර්ය බළකායද යාපනයේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටී.

යුද හමුදාව ආරක්ෂක කටයුතු මෙන්ම ජනතාවට සහන සැලසීමේ සුබසාධන ව්‍යාපෘති රැසක් සිදු කරමින් සිවිල් ජන ජීවිතය ඉහළ නැංවීමට විශාල කාර්යක් ඉටුකරයි.

යාපනයේ සිංහල කෑම…ඇඹිලිපිටියේ කඩයක් යාපනයේ

මා යනවිට යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කරමින් සිටියේ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුයි. දැන් ඔහු යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානි ලෙස කටයුතු කරයි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස පත්වූයේ මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපායි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති යටතේ සේනාංක (Division) 03ක් තිබේ. ඒ 51 වන, 52වන හා 55වන සේනාංකයි. යාපනය නගරය අයිති 51වන සේනංකයටයි. ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන මේජර් ජෙනරල් චන්දන වික‍්‍රමසිංහ එහි සේනාංකාධිපති වරයායි. මීට පෙර 52 වන සේනාංකාධිපති ලෙස කටයුතු කළ ඔහු කලක් යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ලෙසද කටයුතු කළේය.

මීට පෙරත් අවස්ථා කීපයකදී යාපනයේ රාජකාරි කළ ඔහු යාපනයේ දෙමළ ජනතාවගේ ජන ජීවිතය හොඳින් හඳුනාගත් නිලධාරියෙක් ලෙස ඔවුන් සමග සමීපව කටයුතු කරයි.

ඔහුගේ සේනාංක බලප‍්‍රදේශයට අයත් සියලූම ප‍්‍රදේශවල සංචාරය කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදුන් මේජර් ජෙනරල් වික‍්‍රමසිංහ මෙම සංචාරයේදී විශාල සහයෝගයක් දැක්වීය.

51 වන සේනාංකාධිපති (51 Division Commander) යටතේ බළසේනාධිපති වරුන් (Brigade Commanders) 04 දෙනෙක් සිටිති.

බි‍්‍රගේඩියර් ජූඞ් ප‍්‍රනාන්දු අච්චුවෙලි 511 වන බළසේනාධිපතිවරයායි. විජයබාහු පාබළ රෙජිමේන්තුවේ නිලධාරියෙකු වන ඔහු කලක් යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි මාධ්‍යවේදීන් සමග ඉතා සුහදව කටයුතු කළ නිලධාරියෙකි.

යාපනය 512 බළසේනාධිපති ලෙස බි‍්‍රගේඩියර් සුරේෂ් කුරේ කටයුතු කරයි. ඔහු කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරියෙකි.

කීරමලේ 513 බළසේනාධිපති ලෙස විජයබාහු පාබළ රෙජිමේන්තුවේ බි‍්‍රගේඩියර් අබ්දූල් මොහොමඞ් ෆාරිස් කටයුතු කරයි.

බි‍්‍රගේඩියර් අරුණ විජේකෝන් කන්කසන්තුරය 515 වන බළසේනාධිපති වරයායි.

යාපනය, මනිපායි, කෝපායි, වඩුක්කොඩෙයි, කොකුවිල්, ඉනුවිල්, මල්ලාකම්, චුන්නාකම්, තෙලිප්පලෙයි, චුල්ලිපුරම්, මාවට්ටිපුරම්, මාදගල්, කන්කසන්තුරය ඇතුළු යාපනය අර්ධද්වීපයේ වලිකාමම් කොටසේ අධික ජනගහනයකින් සමන්විතව නගර හා ගම් රැසක ආරක්ෂාව හා සුබසාධන පොදු ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන ඉහත බළසේනා ප‍්‍රදේශ ගැන තොරතුරු ලබන සතියේ බලාපොරොත්තු වන්න.

(මතු සම්බන්ධයි)
සටහන හා ඡායාරූප

සිරිමෙවන් කස්තුරිආරච්චි
යාපනයේ සංචාරයකින් පසු

advertistmentadvertistment
advertistmentadvertistment