යාපනය තෙවැනි වරටත් එල්පීඑල් ශූරයෝ වෙති

133

අවසන් පන්දු වාරය දක්වා තියුණු මුහුණුවරක් ගත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව කඩුලු 2 ක ජයක් වාර්තා කරමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තෙවැනි වරටත් එල්පීඑල් ශූරයෝ ලෙස කිරුළු පැළඳූහ.

පන්දු 4 ක් ඉතිරිව තිබියදී ජැෆ්නා කණ්ඩායම ශූරතා කුසලාන දිනා ගත් අතර ඒ වෙනුවෙන් එම කුසලාන සමඟ ඩොලර් ලක්ෂයක හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් තුන්කෝටි හත්තෑ ලක්ෂයකට ආසන්න මුදලකටද හිමිකම් කීවේය. අනුශූරතාවයට පත් ඇන්ජලෝ මැතිව්ස්ගේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට ශූරතා කුසලානට හිමි මුදලින් භාගයක් හෙවත් ඇමෙරිකන් ඩොලර් 50,000 ක මුදලක් හිමිවිය.

ජැෆ්නා කණ්ඩායමට තරගය වාසි සහගත ලෙස පත් කළ ප්‍රධානම නියමුවා වූයේ අවිශ්ක ප්‍රනාන්දුය. ඉනිම ආරැඹි අවිශ්ක 19 පන්දු වාර වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලකුණු 50 ක් රැස් කරගත්තේය. පන්දු 43 ක් ඒ සඳහා වැය කළ දකුණත් පිතිකරුවා ඊට හයේ පහරක් සහ හතරේ පහර 4 ක්ද එල්ල කළේය. මෙම ලකුණු සංඛ්‍යාවත් සමග අවිශ්කගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව තරග 10 කදී ලකුණු 339 ක් වශයෙන් ඉහළ ගිය අතර එය මෙවර තරග වාරයේ පිතිකරුවකු රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද සටහන් විය. මෙම දක්ෂතාව ප්‍රධාන කොට ඔහුට තරගාවලියේ දක්ෂතම පිතිකරු සම්මානය ද හිමිවිය.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් සදීර සමරවික්‍රමට එක් වුණු අවිශ්ක ප්‍රනාන්දු, පන්දු 49 කින් ලකුණු 72 ක් එක් කරමින් ජැෆ්නා කිංග්ස් පිල ආරක්ෂාකාරී ඉසව්වකට රැගෙන ගියහ. සධීර පිටියෙන් ඉවත් වන විට පන්දු 27 කට මුහුණ දෙමින් ලකුණු 44 ක් ලබා ගෙන සිටියේය.

තරග 9 කට ක්‍රීඩා කළ සදීර මුළු ලකුණු 294 ක් රැස් කරන ලද්දේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 58.80 ක් රඳවා ගනිමිනි. මෙය මෙවර තරගාවලියේ පිතිකරුවකු වාර්තා කරන ලද හොඳම සාමාන්‍ය විය. මෙම දක්ෂතාව ප්‍රධාන කොට තරගාවලියේ වීරයා සම්මානය සදීර ට හිමිවිය.

සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ ඇන්ජලෝ මැතිව්ස් උඩ පන්දුවක් රැක ගැනීම නිසා සදීර පිටියෙන් ඉවත් වූ අතර එහිදී නැවතත් ලකුණු 16 ක් ඇතුළත කඩුලු 4 ක් දවා ගත් ස්ටාර්ස් පන්දු යවන්නෝ යළිත් තරගයට අවතීර්ණ වූහ. මලික් (10, වෙල්ලාලගේ (02), තිසර පෙරේරා (06) සහ මහීෂ් තීක්ෂණ (01) දැවී ගිය පිතිකරුවන් වූහ.

අවසන් පන්දු වාර 5 දී රැස් කරන ලද ලකුණු 61 ත් සමග නියමිත පන්දු වාර 20 අවසන් වන විට කඩුලු 5 කට ලකුණු 163 ක් රැස් කර ගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය දිනූ ජැෆ්නා නායක තිසර පෙරේරාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කලම්බු ස්ටාර්ස් පිලේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේදීම දවා ගැනීමට තිසර සමත් වුවත්, දෙවැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංකව සහ දිනේෂ් චන්දිමාල් පවර්ප්ලේ පන්දු වාර 6 දී ලකුණු 55 ක් එක් කිරීමට සමත්වූහ.

එතැනින් නොනැවතුණු ඔවුන් දෙපළ එම කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 75 දක්වා ඉහළ දැමුවේ ඒ සඳහා පන්දු 53 ක් පමණක් ක්‍රීඩා කරමිනි.

විශිෂ්ඨ ලෙස පන්දුවට පහර දුන් චන්දිමාල් අර්ධ ශතකයට ලකුණක් තිබියදී දුවද්දී දැවී ගිය අතර මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ පහරක් එල්ල කිරීමට යෑමෙන් නායක මැතිව්ස් ලකුණු 12කට දැවී ගියේය. මෙම සිද්ධීන් නිසා සමඟ ස්ටාර්ස් ඉනිම ආපස්සට ඇදීමක් සිදුවිය. කෙසේ වෙතත්, නබීගේ සහාය ලබා ගත් බොපාරා පන්දු 19 කදී වේගවත් ලකුණු 45 ක් රැස් කරමින් කලම්බු කිංග්ස් පිලට ශක්තිමත් නිමාවක් කළේය. සමන් ඛාන්ගේ 6 වැනි පන්දු වාරයට ග්ලාන්ස් කිරීම්වලින් හතරේ පහර 4 ක් එල්ල කළ චන්දිමාල් ස්ටාර්ස් ඉනිමේ කැපී පෙනෙන පිතිකරණයට හිමිකම් කීවේය. පන්දු 40 ක් වැය වුණු ඒ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. අසලංක දැවි යන විට පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් පන්දු ලකුණු 31 ක් ලබා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment