යාපනය නගරාධිපති නඩුවෙන් නිදහස්

257

කොටි ඇඳුමට සමාන ඇඳුමකින් තරුණයන්
නගරයේ ආරක්‍ෂාවට යෙදවූවේ යැයි කියන චෝදනාව:

කොටි සංවිධානයේ නිල ඇඳුම්වලට සමාන ඇඳුම් පිළියෙළ කොට යාපනය නගරයේ ආරක්ෂාවට තරුණයින් පිරිසක් යෙදවීමේ ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි යාපනය නගරාධිපතිවරයා 20 දා යාපනය මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදි.

2021 වසරේදී නගරාධිපතිවරයා විසින් යාපනය නගරයේ ආරක්ෂාව සඳහා තරුණයන් පිරිසක් පුහුණු කොට ඔවුන්ට සපයා දී තිබූ නිල ඇඳුම කොටි සංවිධානයේ නිල ඇඳුමට සමාන නිසා පොලිසිය හා ත්‍රස්ත මර්දන ඒකකය විසින් යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතාට එරෙහිව නඩු පවරා තිබුණි.

එම නඩුව තවදුරටත් ඉදිරියට ගෙන යෑමට තරම් ප්‍රමාණවත් සාක්කි හෝ බරපතල වරදක් සිදුව නොමැති බවට නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කිරීමෙන් පසුව යාපනය නගරාධිපතිවරයා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.

යාපනය නගරාධිපතිවරයා විසින් යාපනයේ තරුණයන් පිරිසක් බඳවා ගෙන පුහුණුවක් ලබා දී ඔවුන් යාපනය නගරයේ වාහන හැසිරවීමේ ක්‍රියාවට හා තැන් තැන්වල කසළ බැහැර කරන පුද්ගලයන්ට අවවාද කිරීම සඳහා ද නගරයේ ආරක්ෂාව සඳහා ද යොදවා තිබුණි.

දින දෙකක කාලයක් ඔවුන් යාපනය නගරයේ සේවයට යෙදවීමෙන් පසුව ඔවුන්ගේ නිල ඇඳුම නිසා විශාල විරෝධයක් එල්ලවීම නිසා නගරාධිපතිවරයා විසින්ම එම තරුණයන් පිරිස සේවයෙන් ඉවත් කිරීමට කටයුතු යොදන නමුත් ඔහුට එරෙහිව නඩු පැවරීමක් සිදුවුණි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment