යාලේ අයාලේ ගිය ගවර රැළ පිස්සු කෙළීම

917

ගවරා යනුවෙන් කුළු හරක් විශේෂයක් ඉන්දියාවේ වෙසෙති. වල් හරකුන් අතරින් දරුණුම හරකා ලෙස ගවරා හඳුන්වනු ලැබේ. කවර හෝ ආකාරයෙන් මෙරටට ගෙන්වන ලද ගවර පැටවුන් කිහිපදෙනකු ශ්‍රී ලංකාවේ වනාන්තරවලට මුදාහැර ඇති බවත් මේ වනවිට විශාල ප්‍රමාණයේ සතුන් බවට පත්ව සිටින මේ කියන ගවරුන් එකී වනාන්තරවල භයානක ලෙස කලබැගෑනීම් සිදුකරන බවත් පසුගිය දිනෙක පුවත්පතක පළ විය. මීට දින කිහිපයකට පෙර යාල වනාන්තරයට කඩා වැදුණු පිරිසක් එම ප්‍රදේශය කලඹමින් ෆෝ වීල් වාහන යොදාගෙන නාඩගමක් නැටූ බව මේ වනවිට මුළු ලංකාවම දන්නේය. එයින් හැඟීයන්නේ අපේ කැලෑවල ලොකුවී සිටින ගවරුන් රැළට වාහන එළවීමට පුළුවන් බවයි. යාල වනාන්තරයේ සිද්ධිය මේ වනවිට ඉතා නරක පූර්වාදර්ශයක් බවට පත්ව තිබේ. ෆෝ වීල් වාහන පහළොවකින් පමණ යාල වනයට කඩා වැදුණු ඉහත සඳහන් පිරිස වනාන්තර භූමියෙහි රථ ධාවනය පැවැත්වූ බව සාක්‍ෂි තිබේ. යාල වනය යනු දකුණු ඇමරිකාවේ ඇමේසන් වනාන්තරය වැනි ඝන වන ගහණයක් නොවේ. යාල වනයේ සමහර තැන්වල ගහකොළ ඇති අතර තවත් තැන්වල වර්ග කිලෝමීටර ගණන් විශාල මුඩු බිම් තිබේ. පෙරකී ගවරුන් රැළ කාර් රේස් ගොස් ඇත්තේ මෙවැනි හිස් භූමිවල ය. ඉහත සඳහන් කලබැගෑනියට සම්බන්ධ වූ වාහන කිසිවකට ඉදිරි අවුරුදු තුන ඇතුළත යාල වනාන්තරයට ඇතුළුවීමට ඉඩනොදීමට ආණ්ඩුව තීරණය කර තිබේ. එහෙත් මේ සිද්ධියට වගකිවයුත්තේ වනාන්තරයට ඇතුළු වූ වාහන නොව එම වාහන පදවාගෙන ගිය හරක් රැළය. එබැවින් මෙම සිද්ධියට වගකිවයුතු හරක් රියැදුරු කණ්ඩායමට ද අවුරුදු තුනක් නොව අඩුම වශයෙන් දස අවුරුද්දක්වත් යාල වනයට ඇතුළුවීමට ඉඩදීමෙන් වැළකීම රජයේ වගකීම විය යුතු වේ.

ශ්‍රී ලංකාවේ වන ගහනය ඉතා වේගයෙන් විනාශයට පත්ව තිබේ. පසුගිය දිනවල මේ රටේ පරිසර ලොක්කකු සහ ඔහුගේ පුතා එක්ව සංරක්‍ෂිත වනාන්තරයක් තුළ හෝටලයක් හදන බව අපට දැනගැනීමට ලැබිණ. මෙහිදී වහාම ක්‍රියාත්මක වූ රජය එම ලොක්කා පරිසර අධිකාරියෙන් පලවා හැර වෙනත් ලොක්කකු පත් කළේය. රට තුළ තිබෙන හැම වනාන්තරයක්ම පාහේ මූසල දේශපාලනඥයන් විසින් ද මූසල ලී මුදලාලිලා විසින් ද විනාශ කරනු ලබමින් පවතී. දේශපාලනඥයා වනය වනසන්නේ ජනාවාස ඉදිකරනු ව්‍යාජයෙනි. කැලේ ගෙවල් සෑදිය නොහැක. ඒ සඳහා ගස් කැපිය යුතුය. එසේ කපන ගස් ටික දේශපාලනඥයාගේ මිතුරු ලී මුදලාලිලා විසින් මෝල්වලට ඇදගෙන යනු ලැබේ. ඊළඟට සංචාරකයෝ ද දඩයක්කාරයෝ ද වනය වනසති. සංචාරකයා ෆෝ වීල් වාහනවලින් වනාන්තරයට ඇතුළු වී එහි කූඩාරම් අටවාගෙන සතුන් මරාගෙන කා අරක්කු බී විශාල පිස්සුවක් කෙළියි. ඒ අතර වනයට ඇතුළුවන දඩයක්කාරයෝ මස් පිණිස සත්තු මරති. මේ සියලු දෙයින්ම සිදුවන්නේ වනගහනය සහ වන සත්ව ගහනය විනාශ වීමය. කැබිලිත්ත නමැති වනාන්තරගත ප්‍රදේශය තුළ පවත්නා එක්තරා පූජනීය ස්ථානයක් වැඳපුදා ගැනීම සඳහා මේ රටේ බැතිමත්හු මීට අවුරුදු 25 කට පමණ පෙර සිට එම වනයට රිංගන්නට පටන් ගත්හ. අන්තිමේදී එම වනය වෙළෙන්දන්ගෙන් සහ බැතිමතුන් යැයි කියාගන්නා සංචාරකයන්ගෙන් පිරුණු ජනාවාසයක් බවට පත්විය. කැබිලිත්ත කෙතරම් අපහරණය වී ඇද්ද යත් එය මේ වනවිට දෙවියන්ගෙන් තොරවූ නිකම්ම නිකන් කැලයක් වීමට ඉඩ තිබේ. කැබිලිත්තට වැඩිහරියක් ගියේ දේශපාලනඥයෝ ය. ඔවුන් පසුපසින් ඔවුන්ගේ බේබදු මිතුරු කැළ වාහන පෝළිම්වලින් කැබිලිත්තට ඇතුළු වූහ. දේශපාලනඥයන්ට රජයේ ආරක්‍ෂක නිලධාරීහු සිටිති. මේ නිසා දේශපාලනඥයන් වනය තුළ සිදුකරන කුපාඩි වැඩවලට ද ආරක්‍ෂාව ලැබේ. බ්‍රසීලයේ දේශපාලනඥයන් විසින් ඇමේසන් වනාන්තරය කපා ජනාවාස පිහිටුවීමේ ව්‍යාපාරයක් මේ දිනවල අරඹා ඇත. දේශපාලනඥයා යනු කොහේ ගියත් එක හා සමාන බව මෙයින් පෙනේ. යාල, විල්පත්තුව වැනි වනගහන තුළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල වශයෙන් ඇත. වනසත්තු කුසගින්න නිසා මේ අපද්‍රව්‍ය අනුභව කර දිරවාගත නොහැකිව මැරෙති. ශ්‍රී ලංකාවේ වනගහනය තුළ ඇති සංචාරකයන්ගේ අපද්‍රව්‍ය අනුභව කිරීම නිසා වල් අලි මියයන බව දැනගැනීමට තිබේ. මෙය වෙනත් දේවල් මෙන් නොසලකා නොහරින ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලමු. 1977 න් පසු බලයට පැමිණි හැම ආණ්ඩුවක්ම මේ තත්ත්වය නොසලකා හැරියේය. එසේ නොකරන ලෙස පවතින ආණ්ඩුවෙන් ඉල්ලමු.

මේ රටේ ජනයා ඉන්ධන හිඟය නිසා විශාල අර්බුදයකට ලක්ව සිටින මොහොතකි මේ. හැමෝම එදිනෙදා වැඩකරගන්නේ ආණ්ඩුව සලාක ක්‍රමයට දෙන තෙල්වලිනි. එවැනි තත්ත්වයක් තුළ යාල වනය තුළ පිස්සු කෙළින ගවර කණ්ඩායමට තෙල් ලැබුණේ කොහෙන්දැයි විමසා බැලිය යුතුය. කිසියම් බලගතු ඇමැතිවරයකුගේ ඥාති පුත්‍රයා ද පෙරකී කණ්ඩායම තුළ සිටින බවද දැනගැනීමට තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන ගුටි දෙකක් ඇනීමෙන් ඔවුන්ට තෙල් ලැබුණු මාර්ගය හෙළි කර ගැනීමට පොලිසියට හැකියාව තිබේ. හැබැයි මෙවැනි එකෙකුට පහර දුන්නොත් පොලිසියේ රස්සාව නැතිවේ. ඒ නිසා එකී ක්‍රමවේදය අමතක කරමු. මේ රටේ ජීවත් වූ සුප්‍රකට සංචාරකයකු වන දොස්තර ආර්. එල්. ස්පිට්ල් යාල වනයේ වැදි ජනතාව සමඟ සමීප සම්බන්ධයක් පැවැත්වීය. මෙයට අවුරුදු සියයකට පමණ පෙර යාල වනාන්තරයේ හැම තැනම ඇවිද ගිය හෙතෙම ඒ වනය පසුබිම් කරගෙන ‘වනසරණ’ නමැති නවකථාවක් ලිව්වේය. අද එම වනය අසරණය.

advertistmentadvertistment
advertistmentadvertistment