යාලේ දැඟලූ සියල්ලන් උසාවි ගේන්න

423

ඇමැති පුතෙක් ඉන්නවද? වාර්තා වී නැහැ – උද්‍යාන භාරකරු
උදව් කළ නිලධාරීන්ගේ වැඩ තහනම්

ඩිපෙන්ඩර් රථවලින් යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි පිරිසක් විසින් වන සතුන්ට හිංසා වන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් වනෝද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා විසින් තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (25දා) කරුණු වාර්තා කිරීමෙන් පසු ලබන 02 වැනිදා වැඩිදුර කරුණු වාර්තා කරන ලෙස තිස්සමහාරාම මහෙස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා මහතා වනජීවී නිලධාරීන්ට නියෝග කළේය.

පිරිස මුරපොලින් වනෝද්‍යානයට ඇතළු වී වනෝද්‍යාන ස්වෙච්ඡා මාර්ග උපදේශකයන් 08 දෙනෙකු සමග වනෝද්‍යානයේ සංචාරය සඳහා පිටව ගොස් තිබේ.

එලෙස යාල ජාතික වනෝද්‍යානයේ නීති විරෝධී ලෙස හැසිරුණු පුද්ගලයන් සහ ජීප් රථ අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී නිලධාරීන් උසාවියට කරුණු ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ විමර්ශනය කර සැකකරුවන් උසාවියට ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. එම නඩුව දෙසැම්බර් නව වැනිදා යළි කැඳවන බව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

යාලේ දැඟලූ සියල්ලන් උසාවි ගේන්න

පසුගිය විසි දෙවැනිදා සවස දෙකට 80 ක ගෙන් සමන්විත පිරිසක් අවසරපත් රැගෙන සුඛෝපභෝගී ජීප් රථ 35 කින් උද්‍යානයට ඇතුළු වී උද්‍යානය තුළ නීති විරෝධී ලෙස හැසිරුණු බවට තොරතුරු වාර්තා වී ඇතැයි උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා සඳහන් කළේය. මෙම ජීප් රථ 35 න් හතක් සඳහා වනෝද්‍යානයේ නියාමක මග පෙන්වන්නන් හත්දෙනෙකු සහභාගී කරවා ගෙන ඇති අතර උද්‍යානය තුළ වේග සීමා ඉක්මවමින් ධාවනය කර වන සතුන්ට හානි වන පරිදි හැසිරීම හේතුවෙන් මෙම කණ්ඩායම නියාමකවරුන්ට පාලනය කර ගත නොහැකි බැවින් එම කණ්ඩායම වනෝද්‍යානයෙන් නියමිත වේලාවට කලින් සවස පහයි තිහ පමණ වන විට ඉවත් කිරීමට කටයුතු කර ඇති බව උද්‍යාන භාරකරු සඳහන් කළේය. වනෝද්‍යානය පුරා විසිරී සිටි මෙම ජීප් රථ කණ්ඩායම ඉවත් කරන අවස්ථාවේ උද්‍යානය තුළ මහා සීලව ප්‍රදේශයේ වැලි මත වාහන කරකවා සතුන්ට හානි වන ලෙස ක්‍රියා කර ඇති බවත් ඔහු සඳහන් කළේය. සමාජ මාධ්‍ය ජාලාවල පළවන වීඩියෝ දර්ශනවලින් උද්‍යානය තුළ සිදුවීම වන්නේ වැලි මත ජීප් රථ, කරකැවීම හා වේගය නොතකා ගමන් කිරීම පමණක් වන බව ද ඔහු කීය. ගල්තලා මත ජීප් රථ ධාවනය කිරීම උද්‍යානයෙන් පිටත දූව ප්‍රදේශයේ සිදුවී ඇති ක්‍රියාකාරකමක් බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම කණ්ඩායම පැමිණි ජීප් රථ සියල්ල සීසීටීවී දර්ශන ඔස්සේ මේ වන විටත් හඳුනාගෙන ඇති බැවින් ජීප් රථවල පැමිණි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව උද්‍යාන භාරකරු සඳහන් කළේය.

යාලේ දැඟලූ සියල්ලන් උසාවි ගේන්න

මෙම පිරිස වනෝද්‍යානයෙහි පළමුවන කොටසේ සංචාරය කර ඇති අතර පළමු කොටසේ මහා සීලව වැව වැලිආර නමැති හන්දියේ දී සංචාරය සඳහා එක්ව සිටි රථ අතරින් රථ කිහිපයක් වනජීවී ස්වෙච්ඡා මාර්ග උපදේශකවරුන්ගේ උපදෙස් නොතකා සංචාරක මාර්ගයෙන් ඉවතට ගොස් වනෝද්‍යානයේ නීති උල්ලංඝනය කරමින් ජිප් රථ ධාවනය සිදු කර තිබේ.

ඒ පිළිබඳව සංචාරය සඳහා එක්ව සිටි වනජීවී ස්වෙච්ඡා මාර්ග උපදේශකයන් යාල පලටුපාන වනජීවී කාර්යාලයෙහි නිලධාරින් දැනුවත් කර තිබේ. එහිදි ජංගම රථ දෙකකින් පැමිණ ඇති වනජිවී නිලධාරින් එම පිරිස වනෝද්‍යානයෙන් පිටමන් කර යවා තිබේ.

වනෝද්‍යානයේ නීති උල්ලංඝනය කරමින් පැමිණි මෙම පිරිස අතර රජයේ අමාත්‍යවරයකුගේ ඥාති පුතෙක්ද සිටියේද යන්න අප කළ විසීමකදී වනෝද්‍යාන භාරකරු පවසා සිටියේ එවැනි පුද්ගලයකු පැමිණ සිටි බවට තොරුතරු වාර්තා වී නොමැති බවය.

තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී,දෙබරවැව – ඒ. ඒ. ප්‍රේමසිරි, ශිරාන් රණසිංහ, අරුණ බෝගහවත්ත හා ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment