යාලේ සෙල්ලම් දැමූ ඇමැති ඥාති පුතාට ඇප

633

යාල වනෝද්‍යානයේ වන සතුන්ට හානි වන පරිදි ජීප් රථ 35කින් නීති විරෝධී ලෙස ගමන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ඥාති පුත්‍රයකු වන දුලිත අමරවීර පසුගිය 29 දා සවස යාල වනජීවි කාර්යාල වෙත භාර වූ බව ඌව සහ දකුණු පළාත් භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතා පවසයි.

එදිනම එම සැකකරු තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කළ අතර යාල උද්‍යානයට ඇතුළු වන ස්ථානයේ සවිකර ඇති සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී මෙම ජීප් රථ 35 සමග පැමිණි පිරිසට සැකකරු විසින් මුදල් ගෙවා ටිකට්පත් ලබා ගන්නා ආකාරය සටහන්ව ඇති බවට වනජීවි නිලධාරීහු උසාවියට කරුණු ඉදිරිපත් කළහ.

එම කරුණු සලකා බලා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට මහෙස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා මහතා නියෝග කළේය.

මේ පිළිබඳව වනජීවී සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ මීට පෙර තමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස ද කටයුතු කළ මෙම සැකකරු තමා සම්බන්ධව කටයුතු කළ සියලු තනතුරුවලින් ඉවත් කර තිබූ බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තරාතිරම නොබලා උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වනජීවී නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවත්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් නවදෙනාගෙන් ප්‍රශ්න කිරීමට උසාවියෙන් අවසර ගත් බවත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවත් යාල උද්‍යාන භාර මනෝජ් විද්‍යාරත්න මහතා සඳහන් කළ අතර මේ සම්බන්ධයෙන් උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන් බව ද ඔහු සඳහන් කළේය.
තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment