යාලේ සෙල්ලම් දැමූ සෙල්ලක්කාරයෝ අවුරුදු 3ක් බ්ලැක් ලිස්ට්

537

පසුගියදා යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වනසතුන්ට හිංසා වන පරිදි හා අනිසි ලෙස වාහන ධාවනය කළ පුද්ගලයින්ට හා එම වාහනවලට වසර තුනක් යන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීමට නොහැකි වන පරිදි අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසීය.

ඊයේ (25දා) පෙරවරුවේ යාල වනෝද්‍යානයේදී සිදුවීම සම්බන්ධව වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවෙන් පසු කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලබා දුන් උපදෙස් පරිදි මෙම තීරණය ගෙන තිබේ.

එසේම මෙම පිරිසට වනෝද්‍යානයට ඇතුළුවීමට සහාය වීම සඳහා කටයුතු කළ නිලධාරි පිරිස එම කටයුතු වළක්වා ගැනීමට උත්සාහ නොකිරීම, ඉහළ නිලධාරීන් දැනුම්වත් නොකිරීම නිසා විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඔවුන් වැඩ තහනමට ලක් කිරීමට ද තීරණය කර ඇත.

ඊට අමතරව මෙම සිදුවීමට සම්බන්ධ වාහන හා පුද්ගලයින් කඩිනමින් හඳුනාගැනීම හා ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට ද තීරණය විය. ඒ සඳහා දැනට එම වාහන හා පුද්ගලයින් සම්බන්ධ තොරතුරුවලට අමතරව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තොරතුරු, ඡායාරූප හා වීඩියෝ දර්ශනවල ඇතුළත් තොරතුරු ද සැලකිල්ලට ගැනීමට පියවර ගනු ඇත.

අදාළ විමර්ශන කටයුතුවලට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා මගින් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කිරීමට ද තීරණය කර තිබේ.

වනෝද්‍යානය තුළ වනසතුන්ට හිංසා නොවන පරිදි හැසිරීම සම්බන්ධව දෙස් විදෙස් සංචාරක කණ්ඩායම් දැනුම්වත් කිරීම සඳහා අත්පත්‍රිකාවක් නිකුත් කිරීමට ද මෙහිදී තීරණය කර ඇත..

උපාලි ද සේරම් සහ අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment