යාල කැලේ අයාලේ ජීප්වලින් පිස්සු නටපු ඇමැති පුතයි යාළුවෝ රොත්තයි!

1547

අවසරය ගත්ත ලොක්කයි – ඇමැති පුතයි එළියේ
වනජීවියේ 9 කට යාල තහනම්….

රට නන්නත්තාර වී පවතින වටපිටාවක තවත් කැත හිරිකිත පුවතක් මීට දින කිහිපයකට පෙර වාර්තා විය. එය කරලියට පැමිණෙන්නේ යාල ජාතික වනෝද්‍යානයේ අතිශය සංවේදී කලාපයක් වන කලාප අංක එකට ඇතුළුවන බලපුළුවන්කාර තාත්තලගේ “හැඩකාර දඟකාර” පුතුන් පිරිසක් “රථ ගායෙන්” කුල්මත්ව පිස්සු කෙලින ආකාරය රූපරාමු සහිතව සමාජ මාධ්‍ය ජාල වෙත යොමු කිරීමත් සමගය. යාල වනෝද්‍යානයට ඇතුළු වී පැය ගණනක් තිස්සේ පිස්සු කෙළින අපතයන් විසින්ම රූගත කරන ලද එම දර්ශන එළියට පැමිණීමත් සමග ඒ පිළිබඳව රටේම අවධානය යොමුවිය. එම සිදුවීමට සම්බන්ධව ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනකුගේ පුත්‍රයන් ද සිටින බවත් තම පියවරුන්ගේ දේශපාලන හයිය අවියක් කරගන්නා ඔවුන් එලෙස පිස්සු කෙළමින් හැසිර ඇති බවත් බොහෝ දෙනකු විසින් නගන ලද චෝදනාවක් බවට පත්ව ඇත.

ඒ අනුව රටේ ජනතාව මේ සම්බන්ධව දරණ මතය බවට පත්ව ඇත්තේ ලොකු පවුල්වල සෙල්ලක්කාර දූ පුතුන්ට එක නීතියක් සහ රටේ සාමාන්‍ය ජනතාවට තවත් නීතියක් පවතින බවත්ය. ඒ කෙසේ වෙතත් යාල ජාතික වනෝද්‍යානයට ඇතුල්ව “රථගාය” සුවපත් කර ගැනීම පිණිස නීති විරෝධී ආකාරයෙන් රිය ධාවනය කරමින් එලෙස හැසිරුණු ඇමැති පුතුන් සිටීද? ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳව මේ වනතුරුද හෙළිදරව් වී නැත. ඉදිරියට හෙළිදරව් වන බවක් පෙනෙන්නට ද නැත. ඒ පිළිබඳව පුදුම විය යුතු නැත්තේ “යට ගැසීමේ කලාව” ඉහළින්ම ප්‍රගුණ කළ දේශපාලඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද මෙරට තුළ බහුලව දැකගත හැකි බැවින්ය.

යාල කැලේ අයාලේ ජීප්වලින් පිස්සු නටපු ඇමැති පුතයි යාළුවෝ රොත්තයි!

ජාතික වනෝද්‍යානයක් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ එම ප්‍රදේශයේ පවතින සංවේදීතාව හා සත්ත්ව හා ශාක කොටස් තවදුරටත් ආරක්ෂා කර ගැනීම පිණිසය. මෙවැනි ස්ථානයක් වෙත පිවිසීමේ දී මොළයක් සහිත පිරිසක් නම් අනුගමනය කළ යුතු නීති මාලාවක් පවතින අතර එහිදී නියමිත මාර්ගයේ පමණක් වාහන ධාවනය කිරීම, වේග සීමා පාලනයක් සහිතව රිය පැදවීම ඇතුළු තවත් නීති රීති මාලාවක් අනුගමනය කළ යුතු අතර එලෙස නීති රීති පැනවීම තුළින් අපේක්ෂා කරනු ලබන්නේ එවැනි සංවේදී පරිසර පද්ධතියක පැවතිය යුතු යහපත් තත්ත්වය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කර ගැනීම පිණිසය.

යාල කලාප අංක එක යනු එවැනි ස්ථානයක්ය. එම ප්‍රදේශ නැරඹීම පිණිස යන මොළේ ඇති මිනිසුන් ඉහත නීති රීති අනුව කටයුතු කළ ද ඉකුත් 22 දා ජීප් රථ 35 කින් එහි ඇතුළුවන “අපතයන්” කටයුතු කර ඇත්තේ එම නීති රීති සතපහකට මායිම් නොකරමින්ය. සජීවී වීඩියෝ දර්ශන සහිතව ඔවුන්ගේ ගොංපාට් රටම දැකබලාගන්නේ එබැවින්ය. මොළේ කළඳක් නැති හිස් මිනිසුන් ලෙස එම ස්ථානයට ළඟා වන සුරතල් පුතුන් එතැන් සිට පැය කීපයක් පුරා වැලිආර ප්‍රදේශය තම පෞද්ගලික බූදලයක් බවට පත්කර ගත් කොලු රැලක් ලෙස හැසිරෙන අතර තාවකාලික පදනම මත වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත මග පෙන්වන්නන් “පඹයන්” බවට පත් කරමින්ය.

යාල කැලේ අයාලේ ජීප්වලින් පිස්සු නටපු ඇමැති පුතයි යාළුවෝ රොත්තයි!

යාල ප්‍රධාන පිවිසුමෙන් කිලෝමීටර් දෙක හමාරකට ආසන්න දුරකින් පිහිටි වැලිආර නම් අතිශය සංවේදී පරිසර පද්ධතිය ඔවුන්ගේ කෙළිබිමක් බවට පත්කරගන්නා අපතයන් එතැන් සිට කා බී විනෝද වෙමින් රථගාය සුවපත් කර ගැනීමට වැඩ පෙන්නුවද යාල සම්බන්ධව නිවැරදි වැටහීමක් සහිත පරිසරවේදීන් පෙන්වා දෙන්නේ එම ප්‍රදේශය යනු යාල වනෝද්‍යානයේ දී දැකගැනීමට ලැබෙන කොටියන් ඇතුළු සත්ව විශේෂ ගණනාවක් ගැවසෙන ප්‍රදේශයක් බවත් ප්‍රදේශයේ පවතින ගල්තලා ආශ්‍රිතව සහ වැලි බිම මත මෙරටට ආවේණික කටුස්සන් සහ උරග විශේෂ රාශියක් දැකගත හැකි බවත්ය. අපතයන් පිස්සු කෙළිනු ලබන්නේ එවැනි ස්ථානයකය. වඩාත් හොඳින් ආරක්ෂා විය යුතු එවැනි ස්ථානයක් මුල්කරගනිමින් පැය ගණනක් පුරා ජීප් රථ ධාවනය කරන මෙම සෙල්ලක්කාර අපතයන් එම ස්ථානයෙන් ඉවත් කිරීම පිණිස මග පෙන්වන්නන් කීප අවස්ථාවක කටයුතු කර ඇතත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථව යන්නේ “පිස්සු කෙළින දඟකාරයන්” සතු දේශපාලන බලපුළුවන්කාරකම් මතය.

මතුපිටින් දර්ශනය වන මෙම නාටකය පිටුපස පවතින මෙතෙක් හෙළිදරව් නොවූ කතාව පාදා මතු කර ගැනීම පිණිස වනජීවී දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගැනීමට අප විසින් කිහිප වරක් උත්සාහ කළ ද එම උත්සාහයන් සියල්ලක්ම අසාර්ථක විය. ඔවුන් සඳහන් කර සිටින්නේ එදින සිදුවීම පිළිබඳව මාර්ගෝපදේශකයන් විසින් ඉහළ නිලධාරීන් දැනුවත් නොකිරීම බරපතළ වරදක් බැවින් මේ වන විටද ඔවුන්ව වැඩ තහනමකට ලක්කොට ඇති බවත් සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ කටයුතු ඉදිරියට සිදු කරන බවත්ය. මේ අතර යාල වනෝද්‍යාන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් මින් පෙරද යාල වනෝද්‍යානය තුළ මෙවන් ආකාරයේ සිදුවීම් රැසක් සිදු වූ බවත් එම සෑම සිදුවීමක් පිටුපසම දේශපාලඥයන්ගේ නම් ගම් සඳහන්ව ඇති බවත්ය. විශේෂයෙන් යාල කලාප අංක 1 සහ 2 යන ප්‍රදේශ නැරඹීම පිණිස පැමිණෙන සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණය කලාප අංක එක වෙත යොමුවීම හේතුවෙන් දිනපතා විශාල පිරිසක් එම ප්‍රදේශය තුළ සංචාරය කරන බවත් ඒ අතරට දේශපාලන පවුල් පසුබිම් සහිතව පැමිණෙන පිරිස් ද ඇතුළත් වන බවය. ඔවුන්ට මඟ පෙන්වීමේදී රාජකාරිමය අපහසුතාවන්වලට මුහුණ දීමට සිදුවන බව දන්වා සිටින එම අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ යාල යනු තමන්ගේ බූදලයක් බව සිතා ගත් පිරිස් හේතුවෙන් වන සතුන්ගෙන් සාමාන්‍ය දිවි පෙවෙතට මෙන්ම ගහ කොළ ආදියට හානි සිදු වූ අවස්ථා බොහොමයක් මින් පෙරද පැවති බවය.

යාල කැලේ අයාලේ ජීප්වලින් පිස්සු නටපු ඇමැති පුතයි යාළුවෝ රොත්තයි!

දේශපාලනය විසින් ජනජීවිතයට මේ වන විට සිදුකර ඇති හානිය පිළිබඳව අමුතුවෙන් පැවසිය යුතු නැත. රටෙහි ජනතාව හුස්ම ගනිමින් හදන්නේ ජීවත්වීම සඳහා අවම පහසුකම්වත් නැති වටපිටාවකය. එවැනි පසුබිමක් තුළ ඉකුත් 22 දා යාල සිදුවීම පිටුපස ද දේශපාලනඥයන්ගේ නොපැහැදිලි සෙවනැලි වැටී ඇත. මෙම සටහන තබන අවස්ථාව වන විට යාල ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපය තුළ නීති විරෝධී ලෙස රිය ධාවනය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් නවදෙනකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා මහතා විසින් ඉකුත් 26 දා නියෝග නිකුත් කර ඇත. එම සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් වන ජීවී නිලධාරීන් දැඩි විරෝධය දක්වා ඇතත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජනක මොහොට්ටි මහතා දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කර ඇත. එම සැකකරුවන් නවදෙනා ජීප් රථ හතක් සමග 25දා යාල ජාතික වනෝද්‍යාන නිලධාරීන්ට බාර වීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇත.

යාල කැලේ අයාලේ ජීප්වලින් පිස්සු නටපු ඇමැති පුතයි යාළුවෝ රොත්තයි!

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment