යැදුමේ පා ගමන අද කටුවාපිටියෙන් ඇරැඹේ

116

පාස්කු ප්‍රහාරයේ සත්‍ය යට ගැසීමට ඉඩ නොදී වින්දිතයන්ට යුක්තිය සාධාරණය ඉටු කරන්නැයි ඉල්ලා අනිද්දා (21 වැනිදා) කොළඹදී පැවැත්වීමට නියමිත ජන පවුර සාමකාමී විරෝධතාවයට සමගාමීව සංවිධානය කෙරෙන යැදුමේ පා ගමන සැලසුම් කළ පරිදි අද (20 වැනිදා) සවස 6.00 ට කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයෙන් ආරම්භ කෙරේ.

අද (20 වැනිදා) සවස 6.00 ට කටුවාපිටිය සෙබස්තියන් දේවස්ථානයේ පවත්වන දිව්‍ය පූජාවෙන් පසු රාත්‍රි 7.00 ට පා ගමන ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව පා ගමන රාත්‍රි 9.00 ට කටුනායක, 9.15 අම්බලන්මුල්ල, 11.15 තුඩැල්ල පල්ලිය, මධ්‍යම රාත්‍රි 12.30 කඳානට ළඟා වීමට නියමිතව තිබේ. ඒ අනුව අලුයම 2.15 ට මත්තුමගල පල්ලිය, 3.45 ට වත්තල පල්ලිය, 5.30 ට කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයට ළඟාවීමට නියමිත පා ගමන 21 වැනිදා පෙරවරු 8.00ට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරට පැමිණීමට නියමිතය.

පාස්කු ප්‍රහාරය එල්ල වී හෙටට (21 වැනිදා) ට වසර හතරක් සපිරෙන අතර එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට යුක්තිය සාධාරණත්වය ඉල්ලා මෙම ජන පවුර යැදුමේ පා ගමන සංවිධානය කර ඇත.

සත්‍යය යට ගැසීමට එරෙහිව ජාති, ආගම්, කුල, පක්‍ෂ භේදයකින් තොරව මෙම පා ගමනට එක්වන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිති.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment