යුක්රේනයට සහාය දී හමුදා ප‍්‍රධානීන්ට දඬුවම් කරනු…

780

බටහිර තානාපතිවරුන් මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙයි

ශ‍්‍රී ලංකාවේ දූත මණ්ඩල ප‍්‍රධානීන් ලෙස යුක්රේනයේ සහ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්ම නඟාසිටුවීම සඳහා ප‍්‍රසිද්ධ සහාය දැක්වීමට අප හා එක්වන ලෙස අපි ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නෙමු. මේ ඇරයුම සිය එදිරිවාදිකම් වහා අවසන් කරන ලෙස රුසියාවෙන් ඉල්ලා සිටීමට අප හා එක්වීම සඳහායි. මේ ඉල්ලීම කර ඇත්තේ තානාපතිවරුන් සඳහා වූ වියනා සම්මුතිය කඩකල බටහිර රටවල තානාපතිවරුන්ය.

මේ තානාපතිවරු කවුරුන් ද?

ඬේවිඩ් හේලි – ඔස්ටේ‍්‍රලියානු තානාපති

ඬේවිඩ් මැකිනොන් – කැනඩා මහකොමසාරිස්

ඩෙනිස් ඩයිබ් – යුරෝපා සංගමයේ තානාපති

එරික් ලාවර්ටු – ප‍්‍රංශ තානාපති

හෝල්ගර් ෂුබට් – ජර්මානු තානාපති

රිටා ගුලියානා මානෙල්ලා -ඉතාලි තානාපතිනි

තන්ජා ගොන්ග‍්‍රිජස්- නෙදර්ලන්ත තානාපතිනි

මිචෙල් ඇෆ්ලිටන් -නවසීලන්ත තානාපති

ටි‍්‍රකේ එස්කෙබල් – නෝර්වේ තානාපති

ටිසුකොෂි ගිබෙකින් – ජපන් තානාපති

වික්ටර් ඩියුඩියා- රුමෙනියා තානාපති

ඩොමිනික් පර්ග්ලර් – ස්විස් තානාපති

සාරා හල්ටන් -බි‍්‍රතාන්‍ය මහකොමාසාරිස්

ජුලි චැන් -ඇමරිකානු තානාපතිනි

බටහිර තානාපති කල්ලියේ මෙම ඉල්ලීම් තුළින් පෙන්නුම් කිරීමට උත්සාහ කළේ රුසියාවට මුළු ලෝකයට එරෙහිවී ඇති බවයි. එහෙත් ආසියාවේ බලගතු රටවල් 2ක් වූ ඉන්දියාව සහ චීනය බටහිර රටවලට සම්බන්ධයක් නැත.

කොළඹ සිටන බටහිර තානාපතිවරුන් ශ‍්‍රී ලංකා රජයෙන් මෙම ඉල්ලීම කිරීමට පෙර ඊට සමාන ඉල්ලීමක් පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් වෙත යොමුකෙරුණි.

ඊට ප‍්‍රතිචාර දැක්වූ පාකිස්තාන් අගමැතිවරයා මෙලෙස පවසා ඇත.

‘‘අපි කවුරුයි කියා නුඹලා සිතනවා ද? අපි නුඹලාගේ වහලූන් යැයි සිතා නුඹලා කියන ඕනෑම දෙයකට අපිත් එය කරනවා යැයි කියනු ඇතැයි සිතුවා ද?

ඇයි නුඹලා අපෙන් කළ ඉල්ලීමට සමාන ඉල්ලීමක් ඉන්දීය තානාපතිට යොමුනොකරන්නේ මන්ද?

ඉම්රාන් ඛාන්ගේ එම ප‍්‍රකාශය නිසා බටහිර තානාපති කල්ලියට කටඋත්තර නැති විය. පාකිස්තානයේ කයිබර්හි පැවැති රැලියක් ඇමතූ ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් නුවර සිටින දූත මණ්ඩල ප‍්‍රධානීන් සන්ධාන නීතිරීති උල්ලංඝනය කර ඇතැයි කීවේය.

එසේම ඇමරිකානු සම්බාධක නොතකා ඉන්දියාව විසින් රුසියාවෙන් තෙල් මිලයට ගැනීම ඉම්රාන් ඛාන් ඇගයීමට ද ලක් කළේය.

මේ පසුබිම මැද රුසියාව ආක‍්‍රමනිකයකු ලෙස දක්වමින් ශ‍්‍රී ලංකාව ද එලෙස ප‍්‍රකාශයට පත්කළ යුතු යැයි පවසන විදේශ දූත මණ්ඩලවල පැටිකිරිය විමර්ශනයට ලක්කළ යුතුය.

ඇමරිකානු තානාපතිනි – ජුලි චැන්් – උග‍්‍ර චීන විරෝධී තානාපති නිලධාරිනියකි. සාරා හල්ටන් බි‍්‍රතාන්‍ය මහකොමසාරිස්වරිය – ශ‍්‍රී ලංකා හමුදා නිලධාරීන්ට එරෙහිව වගවීමේ කි‍්‍රයාවලියට සම්බන්ධ වී ඇත.

කැනඩා මහකොමසාරිස් ෙඩිවිඩ් මැකිහොන් – ශ‍්‍රී ලංකාවට එරෙහි ද්‍රවිඩ ජන සංහාර පනත ඉවත්කරන ලෙස රජය කළ ඉල්ලීම තුට්ටුවකටත් ගණන් නොගත් අයෙකි. ඬේවිඩ් හෝලි – ආරක්‍ෂක ලේකම් ඔස්ටේ‍්‍රලියාවට ගියොත් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇතැයි පැවැසුවේය.

හෝල්ජර් ෂුබට්, ජර්මානු තානාපති, හමුදා නිලධාරින්ට එරෙහි වගවීමේ යාන්ත‍්‍රණය සම්බන්ධ වූවෙකි.

බටහිර තානාපතිවරු ශ‍්‍රී ලංකාව යුක්රේනයට පක්‍ෂව කටයුතු කළ යුතු බව ඉල්ලා ඇත්තේ මෙරටද කොන්දක් නැති පාලකයකු ඇති බව සිතමිනි.

ශ‍්‍රී ලංකාවේ රජය කොටි ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කරද්දී කිසිම රටකින් තානාපතිවරයෙක් රජයට හමුදාවට සහාය දැක්වූයේ නැත.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඉහත සමහර රටවල් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය පාවිච්චි කර ඇත. යුක්රේනයද ඡුන්දය දුන්නේ ශ‍්‍රී ලංකාවට එරෙහිවය. එහෙත් මේ බව අප රටේ ජනතාව දන්නේද?

එසේම ජර්මනිය 2009 දී ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාවක් ගෙන ආවේය. අනතුරුව කැනඩාව ද ශ‍්‍රී ලංකාවට විරුද්ධව යෝජනාවක් ගෙන ඒමට උත්සාහ කළේය. ඉන්පසු ඇමරිකාව යෝජනාවක් ඉදිරිපත් කළේය.

ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීම නිසා ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවට මැදිහත්වූයේ බි‍්‍රතාන්‍යයයි.

මේ පසුබිම මැද කොළඹ බටහිර රටවල තානාපතිවරුන්ගේ අරමුණ වූයේ ශ‍්‍රී ලංකාව බටහිර ආධිපත්‍යයට නතු කිරීමය.

ඒ සඳහා ප්‍රොටෝකොල් හෙවත් විදේශ තානාපතිවරුන්ට අදාළ සන්ධාන පිළිවෙත ද ඔවුන් උල්ලංඝනය කර තිබේ.

මේ පිළිබදව පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් ද ප‍්‍රශ්න කර ඇත.

එහෙත් ශ‍්‍රී ලංකාව ඒ ගැන බටහිර තානාපතිවරුන්ගෙන් ප‍්‍රශ්න කර තිබේද?

එසේම බටහිර තානාපතිවරුන් ජිනීවා මානව හිමිකම් කවුන්සලය තුළ අනුගමනය කරන්නේ ශ‍්‍රී ලංකාවට හිතකර පිළිවෙතක් ද?

ශ‍්‍රී ලංකාව උග‍්‍ර ඩොලර් හිඟයකට හා ආර්ථික දුෂ්කරතාවයකට පත්ව තිබියදී යුක්රේනයට සහාය දක්වන ලෙස ඉල්ලන බටහිර රටවල් කිසිවෙක් ශ‍්‍රී ලංකාවට සහාය දැක්වීමට ඉදිරිපත්වී නැත.

මෙරටට සහය දැක්වීමට ඉදිරිපත්වූයේ රුසියාව – චීනය සහ ඉන්දියාවයි. මෙවන් පසුබිමක් මැද ජර්මනිය යළිත් වරක් ශ‍්‍රී ලංකාව උගුලකට අසුකිරීමට දැරූ උත්සාහයක් අනාවරණය වී ඇත.

ඒ අලූත්ම ජිනීවා යෝජවාකට සම අනුග‍්‍රහය දක්වන ලෙස ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීමයි.

2015 වසරේ දී ඇමරිකානු රජය ශ‍්‍රී ලංකාව 30/1 නැමැති ජිනීවා උගුලට අසුකළේය. දැන් නැවතත් ජර්මනිය අලූත් ජිනීවා යෝජනාවක් කෙටුම්පත් කිරීමට සහාය ඇත. එම නව පනත මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන්නේ බි‍්‍රතාන්‍යයයි.

මේ අලූත් යෝජනාවේ අරමුණ යුද අපරාධ චෝදනා එල්ල වූ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීමයි.

ලබන සැප්තැම්බර් මස 46/1 ජිනීවා යෝජනාවේ කාලය නිමාවන නිසා ඊට සමගාමීව නව යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ත‍්‍රස්තවාදය නිමාකළ හමුදා නිලධාරීන්ට එරෙහිවය.

එක් පැත්තකින් යුක්රේනයට සහාය දක්වන ලෙස කොළඹ තානාපති ෂුබර් ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියදී ස්විට්සර්ලන්තයේ ජර්මානු තානාපතිවරයා මෙරට හමුදාවට දඬුවම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙය ලැජ්ජා සහගත කි‍්‍රයාවක් නොවේ ද?

2009 දී ජර්මනිය විසින් ශ‍්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාව පරාජය විය.

මෙවන් පසුබිමක් මැද යුක්රේනයට සහාය දක්වන ලෙස ඉන්දියාවේ සිටින බටහිර රටවල තානාපතිවරු අගමැති මෝදිට ලිපියක් භාරදීමට ඉදිරිපත්වී නැත්තේ ඉන්දීය රජයෙන් ඊට දැඩි ප‍්‍රතිචාරයක් එල්ලවීම නිසාය.

මෙයට වසර ගණනකට පෙර ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් ඬේවිඩ් ග්ලැඩ්ස්ටෝන් මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම නිසා රටින් පිටුවහල් කෙරුණි.

එසේම හිටපු බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් යුක්රේනයට සහාය නොදැක්වීම ගැන ශ‍්‍රී ලංකාව ආඩම්බර වන්නේදැයි ට‍්‍රවිටර් පණිවුඩයකින් ප‍්‍රශ්න කර තිබේ.

එහෙත් බි‍්‍රතාන්‍ය හමුදා භටයන් ඉරාකයේදී යුද අපරාධ සිදුකිරීම ගැන බි‍්‍රතාන්‍ය ආඩම්බර වන්නේද යන්න ගැන ජේමිස් ඩවුරිස් ප‍්‍රකාශ කර නැත.

මෙහිදී තහවුරු වන්නේ බි‍්‍රතාන්‍යයේ දෙබිඩි පිළිවෙතයි. යුක්රේන ආක‍්‍රමණයේ වැරදිකරු නේටෝ සංවිධානය බව දකුණු අපි‍්‍රකානු ජනපති සිරිල් රම්පෝසා ප‍්‍රකාශ කර ඇත.

නේටෝ සංවිධානය තම සීමා ව්‍යාප්ත කළ බව හෙතෙම තවදුරටත් චෝදනා කර තිබේ.

මෙවන් තොරතුරු හෙළිවන අවස්ථාවේ කොළඹ බටහිර තානාපතිවරු ශ‍්‍රී ලංකාවේ නීතිරීති මුළුමනින්ම උල්ලංඝනය කරමින් මෙරට දේශපාලනය සහ ජාතික ආරක්‍ෂාවටද සෘජුව මැදිහත්වී සිටිති.

පසුගිය ආණ්ඩු එකී මැදිහත්වීම්වලට ඉඩදුන්නේය.

මේ බටහිර තානාපතිවරු උතුරට ගොස් ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රීවරු හමුවිය. ස්විස් තානාපතිවරයා ද්‍රවිඩ දේශපාලකයන් කණ්ඩායමක් තම නිවසට ගෙන්වා රහස් සාකච්ඡුාවක් පවත්වා ඇත.

මෙවන් දේ සිදුවන අවස්ථාවේ රජය එම තානාපතිවරු විදේශ අමාත්‍යාංශය කැඳවා ඔවුන්ගේ කි‍්‍රයාදාමය ගැන ප‍්‍රශ්න කළේ නැත.

විශේෂයෙන් මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන්නේ ඇමරිකාව බි‍්‍රතාන්‍ය ස්විට්සර්ලන්තය, කැනඩාව, ජර්මනිය සහ ප‍්‍රංශය යන රටවල තානාපතිවරුන්ය.

මේ පසුබිම මැද තානාපතිවරුන් සඳහා වූ නීතිරීති දැක්වෙන වියනා සම්මුතිය මොවුන් අමුඅමුවේ උල්ලංඝනය කරති.

එහෙත් රජය ඒ පිළිබඳ අභියෝග කරන්නේ නැත. මේ අයුරින් ශ‍්‍රී ලංකාවේ තානාපතිවරුන් විදේ්ශ රටවල ගොස් එරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් විය හැකිද?

ජර්මනියේ සිටි ඇමරිකානු තානාපතිවරයා ජර්මනිය රජය විවේචනය කිරීම නිසා ඔහුව එරටින් යැවිය යුතු බව ජර්මන් දේශපාලකයන් කීපදෙනෙක් ඉල්ලා සිටීමේ සිද්ධියක් අනාවරණය විය.

මෑතක දී ශ‍්‍රී ලංකාවේ ෆෙඩරල් ක‍්‍රමයක් දියත් කිරීම සඳහා කොළඹ ස්විස් තානාපතිවරයා මැදිහත්වී පි‍්‍රබ‍්‍රග් ෆෙඩරල් ආයතනයේ විශේෂඥයන් දෙදෙනෙක් යාපනයට යවනු ලැබීය.

රහස් පොලිසියේ හිටපු පරීක්‍ෂක නිශාන්ත සිල්වාට ස්විට්සර්ලන්තයට පැන යෑමට සියලූ පහසුකම් සැපයුවේ ස්විට්සර්ලන්තයයි.

එම නිලධාරියාව ශ‍්‍රී ලංකාවට භාරදෙන ලෙස කළ ඉල්ලීමට ස්විස් රජය හෝ ස්විස් තානාපති මේ දක්වාම ප‍්‍රතිචාර දක්වා නැත. මෙලෙස ශ‍්‍රී ලංකාවේ ඉල්ලීම් කෙරේ තැකීමක් නොකරන විදේශ රටවල් ශ‍්‍රී ලංකාවෙන් කරන ඉල්ලීම් ඉටුකළ යුතුද?

ශ‍්‍රී ලංකාව සම්බන්ධ විදේශ රටවල් අනුගමනය කරන දෙබිඩි පිළිවෙත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනා ගෙන ඒමයි. මේ යෝජනාවලට සහාය දක්වන බටහිර රටවල් පෙනීසිටින්නේ ආරක්‍ෂක හමුදාව වෙනුවෙන් නොව කොටිඩයස්පෝරාව වෙනුවෙනි.

එසේම විමර්ශනයකින් තොරව හමුදා ප‍්‍රධානීන් 28 ක් මානව හිමිකම් කවුන්සිලය වරදකරු කර ඇත.

මේ අතර ශ‍්‍රී ලංකාවට එරෙහිව බි‍්‍රතාන්‍යය දීන ලෙස කි‍්‍රයාකිරීම කනගාටුදායක තත්ත්වයකි.

බි‍්‍රතාන්‍ය විසින් ආජන්ටිනාවට අයත් පෝක්ලන්ඩ් දූපත ආක‍්‍රමණය කරද්දී ශ‍්‍රී ලංකාව පෙනී සිටියේ බි‍්‍රතාන්‍යය වෙනුවෙන් මිස ආජන්ටිනාව වෙනුවෙන් නොවේ.

එහෙත් බි‍්‍රතාන්‍යයට මේ බව අමතක වී තිබේ. මෙවන් තත්ත්වයක් මත අද නොබැදි රටවල් අකර්මණ්‍ය වී තිබේ. ඇතැම් නොබැදි රටවල් මේ වනවිට බටහිර රටවල්වලට සම්බන්ධ වී සිටී.

මේ අතර ඇමරිකවේ දේශපාලන කටයුතු භාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් හදිසියේම මෙරටට පැමිණියේ කුමකට ද?

ඇය ශ‍්‍රී ලංකාවට පැමිණියේ ඉන්දු ශාන්තිකර කලාප ආරක්‍ෂක ගිවිසුමට සහ කොටිඩයස්පෝරාව සමග සාකච්ඡුාවලට ශ‍්‍රී ලංකාව බිලිබාගැනීම සඳහායි.

එය චීන විරෝධී මෙහෙයුමයි.

චීනය ශ‍්‍රී ලංකාවට විශාල ලෙස උදව් කළ රටකි. එවැනි විටක ඇමරිකානු උගුල්වලට අප ගොදුරුවිය යුතුද? බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස් ලියවිලි වසන් කිරීමට බි‍්‍රතාන්‍ය රජය කි‍්‍රයාකළවිට යුක්රේනයට සහාය දැක්විය යුතු යැයි බි‍්‍රතාන්‍ය මහ කොමාසාරිස්වරිය ශ‍්‍රී ලංකා රජයෙන් කරන ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ යුතුව තිබේ.

එසේම බටහිර රටවල තානාපතිවරුන්ට වියනා සම්මුතියේ නීතිරීති මතක් කර දිය යුතුව ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment