යුක්රේනයේ ළමා හා මාතෘ රෝහලකට රුසියානු ගුවන් ප‍්‍රහාර

209

පනවා ඇති සටන් විරාමය උල්ලංඝනය කරමින් රුසියානු ගුවන් යානා විසින් යුක්රේනයේ ‘මරියුපෝල්’ නගරයේ පිහිටි ළමා හා මාතෘ රෝහලකට පෙරේදා (09දා) සවස බෝම්බ හෙළීම හේතුවෙන් ළමුන් ඇතුළු 17 දෙනකු තුවාල ලබා තිබේ. තවත් ළමුන්, ගැබිනි මවුවරුන් ඇතුළු පිරිසක් බෝම්බ ප‍්‍රහාරයෙන් කඩා වැටුණු රෝහල් ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යට වී සිටින බව යුක්රේන බලධාරීන් විසින් නිවේදනය කර තිබේ.

මෙම ප‍්‍රහාරය යුක්තිසහගත නොවන යුද අපරාධයක් ලෙස හඳුන්වා ඇති යුක්රේන බලධාරීහු මරියුපෝල් නගරයේ හා රුසියානු හමුදාවන් විසින් වට කර ඇති සෙසු නගරවල ජනතාවට එම නගරවලින් පලා යෑම සඳහා එල්ල කරන ප‍්‍රහාරයන් නවත්වන බවට රුසියාව විසින් මුලදී ප‍්‍රකාශ කර තිබූ බවත් එම ප‍්‍රකාශය උල්ලංඝනය කරමින් රුසියානු ගුවන් යානා විසින් කිහිපවරක්ම අදාළ ළමා රෝහල වෙත බෝම්බ ප‍්‍රහාර එල්ල කර ඇති බව අවධාරණය කර සිටිති. මෙම ප‍්‍රහාරයෙන් සිදු වූ විනාශය අතිමහත් බව මරියුපෝල් නගර කවුන්සලය සඳහන් කර තිබේ. රුසියානු ගුවන් ප‍්‍රහාර හේතුවෙන් සැතැප්මක් දුරට පොළව චලනය වී ඇති අතර එම ප‍්‍රහාර කෙතරම් ප‍්‍රබලද යත් මරියුපෝල් සංකීර්ණයේ එක් ගොඩනැගිල්ලක ජනේල බිමට කඩා වැටී ඇති අතර තවත් ගොඩනැගිල්ලක ඉදිරිපස කොටස පොළවට සමතලා වී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම ප‍්‍රහාරයෙන් ගැබිනි මවුවරුන් ඇතුළු කාන්තාවන් පිරිසක්ද තුවාල ලබා ඇති අතර අධික ලෙස ලේ වහනය වෙමින් සිටි එම කාන්තාවන් වහා රෝහල් වෙත ගෙන යෑමට එම ස්ථානයට පැමිණි පොලිස් හා හමුදා නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ. ප‍්‍රහාරය හේතුවෙන් ගස් කඩා වැටී ඇති අතර ගිනි ගනිමින් තිබූ වාහනවලට හිම පතිත වනු දක්නට ලැබී ඇත. යුක්රේනයේ කලාපීය පොලිස් නිලධාරිවරයෙකු වන වොලොදිමීර් නිකුලින් මාධ්‍යයට පවසා ඇත්තේ මෙම ප‍්‍රහාරය හරහා රුසියාව දැවැන්ත අපරාධයක් සිදු කර ඇති බවයි. යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මෙම ප‍්‍රහාරය යුද අපරාධයක් ලෙස හඳුන්වා දී ඇති අතර ලෝකයා තව කොපමණ කාලයක් භීෂණය මගහරිමින් සිටීද යන්න ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප‍්‍රශ්න කර තිබේ.

මේ අතර සිවිල් වැසියන් නිසි වේලාවට සටන් පවතින ප‍්‍රදේශවලින් ඉවත් කර නොගැනීම සම්බන්ධයෙන් රුසියාව විසින් යුක්රේනයට චෝදනා එල්ල කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment