යුක්‍රේනයට ගිනි තබන තර්මෝ බැරික් ගිනි අවිය

1479

හින්දු දේව කතාවල එන පරිදි ලෝකයේ තිබෙන භයානකම ආයුධය වජ‍්‍රායුධය වේ. Thunder Bolt හෙවත් හෙණ සැරය ලෙස හැඳින්වෙන මේ ආයුධය සුර අසුර යුද්ධයේදී පාවිච්චි කරන ලද බවත් එම පහර කෑ අසුරයන් කුඩු පට්ටම් වූ බවත් හින්දු දේව කතාවල කියැවේ. වජ‍්‍රායුධය සාදන ලද්දේ Dadhichi (දධිචි) නමැති ඍෂිවරයකුගේ අස්ථි වලිනි. ආයුධය සෑදීම පිණිස ස්වකීය ශරීරයේ ඇටකටු ලබා දීම සඳහා දධිචි ඍෂිවරයා ස්වකීය ජීවිතය පරිත්‍යාග කළේය. ඉන්පසු මෙම ආයුධය ඉන්ද්‍ර දෙවියන් විසින් භාරගන්නා ලදී. මේ ආයුධය තුළ භයානක ආයුධ හතරක සංයුතියක් තිබේ. අද වන විට මේ කියන වජ‍්‍රායුධයේ කුඩා අනු රූ රත්තරනින් තනා මැණික් ඔබ්බවා අතේ ගුලි කරගෙන සිටීම ඇතැම් දේශපාලනඥයන් විසින් පුරුද්දක් කරගෙන ඇත. මේ සංඛේතාත්මක ආයුධය අත තිබෙන විට ප‍්‍රතිවාදී දේශපාලනඥයන් සියලූ දෙනා පරාජය කළ හැකි බව ඒවා අතේ ගුලිකරගෙන සිටින නූතන දේශපාලනඥයන්ගේ මතය වේ. අඟල් දෙකක් පමණ දිගට කැරට් 22 රත්තරනින් තනා දියමන්ති සහ එමරල්ඞ් මැණික් අල්ලන ලද නූතන වජ‍්‍රායුධයක් රුපියල් ලක්ෂ 40 ක් පමණ මිල ය. වජ‍්‍රායුධය යනු කල්පිතයකි. ශිෂ්ටාචාරය දිගේ ගිනි හුලක් අතින් අරගෙන පැමිණි මනුෂ්‍යයා පසු කාලයේදී ප‍්‍රධාන ආයුධය වශයෙන් යොදාගන්නා ලද්දේ ද ගින්දරය. ශිෂ්ටාචාරය විසින් ඔහු අතට කඩුවක් දෙන ලදී. ඊළඟට ඔහු කඩුවෙන් බෙලි කපමින් ගෙවල් ගිනි තැබුවේය. ගින්දර සහ කඩුව පිළිබඳ සංකල්පය මධ්‍යකාලීන යුගයේදී ඉහළින්ම තිබුණි. එම යුගය පසුකරන විට මිනිසා අතට තුවක්කුව ලැබෙයි. තුවක්කුව යනු ගින්දරවලම තවත් ස්වරූපයකි. ඊළඟට එන්නේ පරමාණු බෝම්බයයි. මෙහි අවසාන ඵලයද මහා ගිනි ජාලාවක් සහ න්‍යෂ්ටික විකිරණයක් නිකුත් කිරීමය. එහෙත් ලෝකයේ තිබෙන භයානකම අවිය පරමාණු බෝම්බය නොවේ.

එම භයානක අවිය Thermo Baric Weapon හෙවත් රික්තක බෝම්බයයි. තනිකරම ගිනි දලූ නිකුත් කරන මේ බෝම්බය පරිහරණය කිරීම ජාත්‍යන්තර නීති රීති වලට පටහැනිය. නිෂ්පාදනයේදී පරමාණු බෝම්බ තරම් වියදම් නොයන, ජීව විද්‍යාත්මක අවි හෙවත් පැපොල, වසූරිය, ඇන්ත‍්‍රැක්ස් බෝ කරන Biological Weapon හෙවත් ජීව විද්‍යාත්මක අවි තරම් සූක්ෂම නොවන තර්මෝ බැරික් බෝම්බය හඳුන්වනු ලබන්නේ සියලූ බෝම්බවල පීතෘවරයා ලෙසය. යුක්රේන් යුද්ධයේදී රුසියන් හමුදාව විසින් තර්මෝබැරික් බෝම්බ පාවිච්චි කරන බව දැනගන්නට තිබේ. එයට ඇති ප‍්‍රබලම සාක්ෂිය වන්නේ රුසියාව විසින් එල්ල කරන ඇතැම් බෝම්බ ප‍්‍රහාරවලදී අසාමාන්‍ය ගිනි ජාලා හටගැනීමය. තර්මෝ බැරික් බෝම්බයක් පිපිරුණු විට පිපිරුම් ලක්ෂ්‍යයේ සිට මීටර් 150 ක වෘත්තාකාර වපසරියක් තුළ තිබෙන සියලූම දේවල් අළු බවට පත්වේ. ඊළඟ මීටර් 150 ක වපසරිය තුළ තිබෙන දේවල් අළු නොවී අඟුරු වෙයි. ඊළඟ මීටර් 150 තුළ තිබෙන සියල්ල අලූත් නොවී අඟුරුත් නොවී පිළිස්සෙයි. මේ ආකාරයට පිපිරුම් ලක්ෂයේ සිට මීටර් 1000 ක් පමණ ඈතට මේ බෝම්බයේ බලපෑම ඉතා ප‍්‍රබලය. දෙවැනි කිලෝමීටරයේදි එම බලපෑම ටිකක් අඩුය. සාමාන්‍යයෙන් මෙයින් හටගන්නා තාපය මගින් නිපදවන තාප තරංග කිලෝමීටර් තුනක් ඈතට වැඩ කරයි. තාක්ෂණික ක‍්‍රියාකාරිත්වයේ වෙනස්කම් තිබුණත් තර්මෝබැරික් බෝම්බවල මූලික ක‍්‍රියාකාරිත්වය CONVENTIONAL EXPLOSIVES ලෙස හැඳින්වෙන සාම්ප‍්‍රදායික බෝම්බ තාක්ෂණයේ ක‍්‍රියාකාරිත්වයට සමානය. වෙනත් බෝම්බ පරිදිම තර්මෝබැරික් පිපිරුමකදී ද ආලෝකය, තාපය, ශබ්දය සහ පීඩනය හටගනී. එහෙත් දරාගන්නට බැරි වන්නේ එයින් සිදුවන විකිරණශීලී නොවන හානියයි.

යුක්‍රේනයට ගිනි තබන තර්මෝ බැරික් ගිනි අවිය

වජ‍්‍රායුධය යනු සංස්කෘත වචනයකි. තර්මෝබැරික් යනු ග‍්‍රීක වචන දෙකක එකතුවකි. තාපය සහ පීඩනය යන වචන දෙක එහි අඩංගුය. තර්මෝබැරික් පවුලේ ආයුධ වර්ග කිහිපයක් තිබේ. ඒ පිළිබඳ දීර්ඝ විස්තරය මෙහි සඳහන් නොකරමු. තර්මෝබැරික් බෝම්බයක් පුපුරන්නේ සාම්ප‍්‍රදායික පිපිරුම් ක‍්‍රමයට වන නමුදු එම පිපිරීම ව්‍යාප්ත කිරීම සඳහා එයටම ආවේණික විශේෂ ක‍්‍රමවේදයක් එම බෝම්බය සතුය. එනම් මෙම බෝම්බය ස්ඵෝටනය වීමත් සමගම පිපිරුම් ලක්ෂ්‍යය අවට තිබෙන ඔක්සිජන් අංශු සියල්ලම ගිනි ජාලාවක් බවට පත්වෙයි. මෙය වෙනස් තාක්ෂණයකි. එහිදී සිදුවන්නේ ඔක්සිජන් අංශු වලට ගිනි ඇවිලී ඒවා බෝම්බයේ කොටසක් බවට පත්වීමය. විදුලි කෙටීමක හෙවත් හෙණ පහරක ක‍්‍රියාකාරීත්වය ද මෙයට සමානය. අහසේ වලාකුළුවල තිබෙන අංශු ගැටීම හේතුවෙන් හටගන්නා ලක්ෂ සංඛ්‍යාත වෝල්ටීයතාවකින් සමන්විත හෙණ පහර පොළොවට එන්නේ, නොඑසේ නම් පොළොවට අර්ත් වන්නේ අහසේ සිට පොලොව දක්වා හයිකර ඇති වයර් දිගේ නොවේ. ගුවනේ හටගන්නා විදුලිය පොලොව දක්වා තිබෙන වායුගෝලයේ ඇති අනු අයනීකරණය කරගෙන පොළොවට සම්ප‍්‍රාප්ත වේ. තර්මෝබැරික් බෝම්බයක ක‍්‍රියාකාරිත්වයද මේ හා සමානය.

තර්මෝබැරික් බෝම්බ රොකට් ලෝන්චරයක් මගින් අදාළ ඉලක්කයට මුදාහැරිය හැක. බෝම්බය සෑදීම සඳහා විවිධාකාර ඉන්ධන පාවිච්චි කරනු ලැබේ. මේ ඉන්ධනවල විශේෂත්වය වන්නේ වාතයේ තිබෙන ඔක්සිජන් අනු සමග ගැටුණු වහාම ඉතා ඉහළ උෂ්ණත්වයක් ජනිත කරමින් ගිනි ගැනීමය. එම පිපිරීමත් සමගම අධි බල කම්පන තරංග සමූහයක්ද නිකුත් වෙයි. මෙවැනි බෝම්බයක් පුපුරන තැනක භූගත බංකරයක් තිබෙන්නේ නම් එම බංකරය තුළ තිබෙන සාමාන්‍ය වාතයටද ගිනි ඇවිලෙයි. මෙම ගින්න බංකරයේ සෑම කාමරයකටම ගමන් කරන අතර එමගින් සියල්ල අළුවී යයි. තර්මෝබැරික් බෝම්බය මුල් වරට නිෂ්පාදනය කරන ලද්දේ ජර්මනියයි. දෙවන ලෝක යුද සමයේදී මූලික තර්මෝබැරික් බෝම්බ වර්ගයක් නිෂ්පාදනය කර සංග‍්‍රාම සඳහා යොදාගන්නා ලදී. 1960 වන විට තර්මෝබැරික් තාක්ෂණය සෝවියට් සංගමය අතට පත්වෙයි. 1969 දී චීනය සහ සෝවියට් දේශය අතර පැවති යුද්ධයේදී සෝවියට් හමුදා තර්මෝබැරික් බෝම්බ මගින් චීනුන්ට පහරදෙන ලදී. 1979 දී ඇෆ්ගනිස්තානය තුළ සෝවියට් රූකඩ පාලනයක් පිහිටුවීම සඳහා පැවති යුද්ධයේදී තර්මෝබැරික් ආයුධය පාවිච්චි විය. ඊළඟට රුසියාව සහ චෙච්නියාව අතර පැවති යුද්ධයේදී ද තර්මෝබැරික් ආයුධය පාවිච්චි විය. මේ වන විට යුකේ‍්‍රනය තුළ ඇති රුසියාවට පක්ෂපාතී කුඩා බෙදුම්වාදී රාජ්‍ය දෙකක් තුළ සිටින ත‍්‍රස්තවාදීන් අතද මේ ආයුධ ඇත.

යුක්‍රේනයට ගිනි තබන තර්මෝ බැරික් ගිනි අවිය

තර්මෝබැරික් ආයුධය වැඩියෙන්ම පාවිච්චි කර ඇත්තේ ඇමරිකාව විසිනි. 1955 දී ආරම්භ වුණු ඇමරිකන් වියට්නාම් යුද්ධයේ මූලික අවධියේ සිට දිගටම තර්මෝබැරික් ආයුධ වලින් වියට්නාම් ගරිල්ලන්ට පහරදීමට ඇමරිකාව කටයුතු කර ඇත. ඒ අතර ඔසාමා බින් ලාදින් ගේ ප‍්‍රහාරයෙන් පසු ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ ඇමරිකන් හමුදාව ඇෆ්ගන් කඳුකරයේ සැඟව සිටින ඉස්ලාමීය ගරිල්ලන්ට පහරදීම සඳහා ද තර්මෝබැරික් BLU – 118 S වර්ගයේ බෝම්බය පාවිච්චි කර ඇත. මුල් වටයේදී මේ වර්ගයේ බෝම්බ 80 ක් පමණ ඇමරිකන් යුද ගුවන් යානා මගින් ඇෆ්ගන් කඳුකරයට හෙළන ලදී. ඉහත සඳහන් ඛේතය දරන බෝම්බ වර්ගය Bunker Buster හෙවත් භූගත බංකර් කුඩු පට්ටම් කරන වර්ගයේ බෝම්බ වෙති. මේ බෝම්බ ඇෆ්ගන් කඳුකරයට හෙළීමත් සමගම ඇතැම් කඳු කඩා වැටෙන්නට පටන් ගත්තේය. මේ වන විට ලේසර් කිරන මගින් පාලනය කොට නිවැරදි ඉලක්කයට යැවිය හැකි තර්මෝබැරික් බෝම්බ නිෂ්පාදනය කර තිබේ.

ජිනීවා සම්මුතියට සමගාමීව ඇති මානුෂීයවාදී නීති රීති වලට අනුව තර්මෝබැරික් බෝම්බ පාවිච්චි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් ය. එහෙත් එම නීතිය මතභේදයට ලක්වූවකි. පොදු පිළිගැනීමට අනුව පරමාණු බෝම්බයකින් සිදුවන පසු හානිය තර්මෝ බැරික් බෝම්බයකින් හටගන්නා පසු හානියට වඩා බෙහෙවින් වැඩිය. පරමාණු බෝම්බයක් පිපිරුණු විට නිකුත්වන විකිරණ නිසා අඩුම ගණනේ අවුරුදු සියයක පමණ ඉදිරි අනාගතය තර්ජනයට ලක්වෙයි. උදාහරණයක් ලෙස දෙවැනි ලෝක යුද්ධයේදී ඇමරිකන් හමුදාව මගින් ජපානයට හෙළන ලද පරමාණු බෝම්බ දෙකේ විකිරණය අදටත් පවතී. මේ නිසා එම ප‍්‍රදේශවල කාන්තාවෝ අදටත් විකෘති දරුවෝ ප‍්‍රසූත කරති. බෝම්බ දෙක වැටුණු හිරෝෂිමා සහ නාගසාකි ප‍්‍රදේශ දෙකේ තිබෙන පශු සම්පත් සහ ගහ කොළවල අදටත් විකිරණශීලී ද්‍රව්‍ය අඩංගුය. මේ නිසා පරමාණු බෝම්බය හා සසඳන විට තර්මෝබැරික් බෝම්බයේ හානිය අඩු බැවින් තර්මෝ බැරික් අවි පාවිච්චිය වැරදි බව පිළිගැනීමට සමහර බලවත් රටවල් කැමති නැත. මෙය සරල සිද්ධාන්තයකි. කඩුව අයිතිකාරයා කඩුවට පක්ෂය. එහෙත් කඩුවක් නැති මිනිහා ඊට පක්ෂ නැත.

අනුර සොලමන්ස්

advertistmentadvertistment
advertistmentadvertistment