යුක්රේන ජනපති යටත්වීම ප‍්‍රතික්‍ෂේප කරයි – කළු මුහුදු කලාපය භාර රුසියානු නාවික හමුදාපති මරුට

1544

* විනාශ වූ ඇන්ටනෝව් යානාවේ නියමුවාට මරණ තර්ජන
 
 * රුසියානු ජනපති පුටින්ට වස දීමේ උත්සාහයක්
 
 * රුසියානු එෆ්.එස්.බී. බුද්ධි ප‍්‍රධානියෙක් අත්අඩංගුවට
 
 * කිව් සාප්පු සංකීර්ණයට ෂෙල් ප‍්‍රහාර

යුක්රේන ජනපති යටත්වීම ප‍්‍රතික්‍ෂේප කරයි - කළු මුහුදු කලාපය භාර රුසියානු නාවික හමුදාපති මරුට

රුසියානු බුද්ධි සේවාවේ ප‍්‍රධානියකු වූ ජනරාල් සර්ජෙයි බෙසීඩා අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියේ තබා ඇත. ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන් සමග ඇති කරගත් අර්බුදයකින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. යුක්රේන ආක‍්‍රමණය පසුබිමේ ජනරාල් බෙසීඩා ක‍්‍රියාත්මක විය.

 යුක්රේන අගනුවර වූ කිව් දින දෙකක් තුළ අල්ලාගැනීමට හැකිවන බවට බුද්ධි සේවාව වාර්තා කළත් මේ දක්වාම කිව් අගනුවර අල්ලා ගැනීමට හැකි වී නැත. මේ අතර අසෝව් මුහුද අසල පිහිටි මරියුපොල් නගරයේ සටන් කරන යුක්රේන හමුදාවට යටත්වන ලෙස රුසියානු ජනපති පුටින් නියෝග කර ඇතත් යුක්රේන ජනපති සෙලෙන්ස්කි එම නියෝගය ප‍්‍රතික්ෂේප කර තිබේ. මෙවන් පසුබිමක් මැද රුසියානු නාවික හමුදාවේ කළු මුහුදු කලාපය බාර නාවික හමුදාපති ඇන්ඩි‍්‍ර පාලියි යුක්රේන ප‍්‍රහාරයකින් මරුමුවට පත් වී ඇත. මේ වනවිට රුසියානු හමුදාවේ ජනරාල්වරු පස්දෙනෙක් මරුමුවට පත් වී ඇත. රුසියානු නාවික හමුදාවේ කළු මුහුදු බළකායේ ප‍්‍රධානියාගේ මරණය ජනපති පුටින්ට එල්ල වූ බරපතළ පහරකි. ඇන්ඞ්රීට අමතරව රුසියානු 331 වැනි පැරෂුට් ප‍්‍රහාරක බළකායේ කර්නල් සර්ජි සුක්හාරෙව්ද මරුමුවට පත්වී තිබේ. මේ අතර රුසියානු සුපිරි පංතිය ජනපති පුටින්ට වසදී මරා දැමීමේ උත්සාහයක නිරත වී ඇතැයි යුක්රේන බුද්ධි අංශ හෙළිකර ඇත.

 පුටින් වෙනුවට එෆ්. එස්. බී. බුද්ධිසේවා ප‍්‍රධානි ඔලෙක්සැන්ඩර් බොර්ඞ්නිකෝව් පත්කර ගැනීමට රුසියානු සුපිරි පංතිය තීරණය කර තිබේ. රුසියානු අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසූවේ යුක්රේන ආක‍්‍රමණයෙන් භටයන් 15,000ක් මරුමුවට පත්වී ඇති බවයි. එහෙත් මෙම වසදීමට තැත් කිරීමේ උත්සාහය බටහිර බුද්ධි අංශ විසින් සනාථ කර නැත. යුක්රේන ජනපති සෙලෙන්ස්කි එරට දේශපාලන පක්‍ෂ 11ක් තහනම් කර ඇත. තහනමට ලක් වූ දේශපාලන පක්‍ෂ අතර රුසියානු ජනපති පුටින්ගේ මිනිබිරියගේ පක්‍ෂයද වේ. මෙම දේශපාලන පක්‍ෂ 11ම රුසියාව සමග සම්බන්ධකම් පවත්වන බව ජනපති සෙලෙන්ස්කි චෝදනා කර ඇත. යුක්රේනයේ විශාලතම විරුද්ධ පක්‍ෂය මෙහෙය වන වික්ටර් වෙද්චුක්ද තහනමට ලක්වී තිබේ.

 2021 දී රාජද්‍රෝහිත්වය යන චෝදනාවක් මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. මෙයට සමගාමීව යුක්රේනයේ පුද්ගලික මාධ්‍යයන් ද තහනම් කර ඇත. යුක්රේන පාර්ලිමේන්තුවේ ආසන 450න් විරුද්ධ පක්‍ෂවලට හිමිවී ඇත්තේ ආසන 44කි. මේ අතර යුක්රේනයේ සියලූම ජාතික රූපවාහිනි සේවා ඒකාබද්ධ කිරීමේ නියෝගයක් ජනපති සෙලෙන්ස්කි ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. යුක්රේනයේදී අත්අඩංගුවට ගනු ලැබූ රුසියානු සෙබලූන් පැවසුවේ මියයන සෙබලූන් සමූහ මිනීවලකට දමන බවයි. අත්අඩංගුවට ගත් ඇතැම් රුසියානු සෙබලූන් හඬන අයුරු විදේශ රූපවාහිනි සේවාවන් විසින් විකාශනය කර ඇත.

 යුක්රේනයේ ඇන්ටනොව් කම්හලේ අංගනයක නතරකර තිබූ ලොව විශාලතම ගුවන් යානාව වූ ඇන්ටනෝව් 225 යානාව විනාශ වූයේ බලධාරීන්ගේ වරදින් බව පැවසූ මේජර් දිමිත‍්‍රි ඇන්ටනෝව් කළ ප‍්‍රකාශය නිසා ඔහුට මරණ තර්ජන එල්ල වී ඇත.

 මෙම යානාවට ප‍්‍රහාර එල්ලවනු ඇති බවට නේටෝ සංවිධානය කළ අනතුරු ඇගවීම බලධාරීන් නොසලකා තිබේ.

 මෙකී යානාව ජර්මනියේ ලිප්සිග් වෙත ගෙනයෑමට ක‍්‍රියාකළ හොත් එය විනාශ නොවන බව දිමිත‍්‍රි ඇන්ටනෝව් තවදුරටත් පවසා තිබේ. මේ අතර රුසියානු ජනපති සහ යුක්රේන ජනපති අතර සෘජු සාකච්ඡා පැවැත්වීමට එක`ග වී ඇතත් ඒ කවර දිනයකදැයි හෙළිවී නැත.

 රුසියානු ආරංචි මාර්ග පැවසූවේ බටහිර සම්බාධක නිසා රුසියාවේ ජනතාවද දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවයි. මෙම යුක්රේන ආක‍්‍රමණය නතර කරන ලෙස රුසියාවේ විරුද්ධ පක්‍ෂ රුසියානු රජයෙන් ඉල්ලා ඇතත් ජනපති පුටින් ඊට ප‍්‍රතිචාර දක්වා නැත.

 පසුගිය පෙබරවාරි 25 ආරම්භ වූ යුක්රේන ආක‍්‍රමණය තවදුරටත් ක‍්‍රියාත්මක වන අතර ඉන් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව කොපමණදැයි තහවුරු වී නොමැත. රුසියානු හමුදාව යුක්රේනයට එරෙහිව හයිපර් සොනික් නමැති බලගතු මිසයිල භාවිතා කරන බව රුසියානු ආර්. ටී. ප‍්‍රවෘත්ති සේවාව මුල්වරට අනාවරණය කර තිබේ.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment