යුගදනව් – LNG ඇමෙරිකාවට දෙන්න එපා – ඒකාබද්ධ වර්ජනයකට තීන්දුව හෙට – හෙට කොළඹදී දැවැන්ත විරෝධතාවක්

530

යුගදනවි බලාගාරයේ සියයට හතළිහක කොටස් සහ එල්. එන්. ජී. ඒකාධිකාරය ඇමරිකානු සමාගමකට ලබාදීමට ඇතිකරගත් ගිවිසුම වහා අහෝසි කරන ලෙස බලකරමින් විදුලිය, වරාය,තෙල් ඇතුළු ඒකාබද්ධ වෘත්තීය සමිති විසින් දැවැන්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම වැඩ වර්ජනය ක‍්‍රියාත්මක කරන දිනය තීරණය කිරීම හෙට (03 දා) කොළඹදී පැවැත්වෙන දැවැන්ත විරෝධතාවයෙන් පසුව සිදුකරන බව ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධන ලේකම් රංන්ජන් ජයලාල් මහතා ‘‘දිවයින’’ට පැවසීය.

විදුලිය, වරාය, තෙල් ඇතුළු ඒකාබද්ධ වෘත්තීය සමිති විසින් හෙට කොළඹදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සියලූ කටයුතු සුදානම් කර ඇති අතර ජාතික සම්පත් විකිණීමට එරෙහිව රටපුරා දැවැන්ත වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට මේ වන විටත් තීරණය කර ඇති බවද රන්ජන් ජයලාල් මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් ජයලාල් මහතා කියා සිටියේ මෙම ගිවිසුම අහෝසි කිරීමට කටයුතු නොකළ හොත් වැඩවර්ජනයකට එහා ගිය ක‍්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවයි.

රටේ ජාතික සම්පත් ආරක්‍ෂා කර ගැනීම වෘත්තීය සමිතිවල වගකීම බවත් ඒ සඳහා සියලූ වෘත්තීය සමිති ඒකාබද්ධ කරගෙන ජාතික සම්පත් ආරක්‍ෂා කර ගැනීමට දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යාමට හෝ සුදානම් බවත් ඒ මහතා පැවසීය.

හෙට රටපුරා විදුලි සේවකයන් කොළඹ විදුලිබල මණ්ඩල ප‍්‍රධාන කාර්යාලයට පැමිණෙන බවත් එම ප‍්‍රදේශවල ගස් කඩා වැටීම් හෝ වෙනත් හේතු මත විදුලි බිඳ වැටීමක් සිදු වුවහොත් යථා තත්ත්වයට පත්කිරීමට ඇතැම් විට ප‍්‍රමාද වීම් සිදුවිය හැකි බවත් ඒ මහතා කීය. එසේ නොමැතිව හෙට සහ අනිද්දා (03 සහ 04) රටම අඳුරේ තබන විදුලි වර්ජනයක් ක‍්‍රියාත්මක නොවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment