යුද්ධයෙන් පසු යටිතල පහසුකම් බැලුවත් ආර්ථිකය නොබැලූ නිසා බංකොලොත් වුණා – ජනාධිපති කියයි

154

රටේ පැවැති යුද්ධය අවසන් වීමෙන් පසු යටිතල පහසුකම් ගැන බැලුවත් අපේ ආර්ථිකය ගැන නොබැලූ නිසා රට බංකොලොත් තත්ත්වයට පත්වුණා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ජපන් සබඳතාවට වසර 70 ක් පිරීමට සමගාමීව අතිනවීන අංගසම්පූර්ණ පහසුකම් සහිත ටොයොටා ලංකා අමතර කොටස් ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් කඩවත ප්‍රදේශයේ විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සව අවස්ථාවට එක්වෙමිනි. ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීය.

අද වනවිට වියට්නාමයට ලැබී ඇති විදේශ ආයෝජනය ඩොලර් බිලියන 25 යි. ඒ සඳහා වියට්නාමයට මඟපෙන්වූ ලංකාවට ලැබිලා තියෙන්නේ ඩොලර් බිලියන 01 යි. 2018 සංචාරක ව්‍යාපාරය තුළින් වියට්නාමය ඩොලර් බිලියන 26 ක් උපයාගෙන තිබෙනවා. අපිට 2018 ලැබුණේ ඩොලර් බිලියන හතරයි දශම හයයි. අපි වියට්නාමය වගේ දියුණු වුණානම් අපි වියට්නාමයට වඩා දියුණු වෙලා ඉන්න ඕන. එහෙම වුණානම් අපේ ජීවන තත්ත්වය ඉහළ ගොස් තියෙනවා.

යුද්ධයෙන් පස්සේ අපි ආර්ථිකය වෙනස් කළේ නැහැ,යටිතල පහසුකම් ගැන හිතුවා. එහෙත් අපේ ආර්ථිකය ගැන බැලුවේ නැහැ. ඒ නිසයි අද අපි බංකොලොත් රටක් විදියට ඇවිල්ල තියෙන්නේ. මේකෙන් ගොඩඑන්න තියෙනවා. ඒ සඳහා මම පියවර ගන්නවා. ඒකට සියලුදෙනා සහාය දෙන්න ඕන. අද වියට්නාමයේ ආර්ථිකය ෆෝර්මියුලා වායුසමනය කළ කාරයක් වගේ. අපේ ආර්ථිකය තාම ත්‍රිරෝද රථයක් වගේ. ඒ නිසා තමයි අපි ආයෝජකයන්ට සහන සලසමින් ආර්ථිකය ඉදිරියට ගේන්න කටයුතු කරන්නේ යැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment