යුද්ධය දිනූ මහින්දට යුග පුරුෂයෙක් කියූ දකුණේ ජනතාවම අද ඔහු පන්නලා!

356

දකුණේ දේශපාලනය ඇවිළී ගහමරා ගන්නා විට උතුරේ පක්‍ෂ බොරදියේ මාළු බාන්නේ නෑ
– ආර්. සම්පන්ධන් විදෙස් මාධ්‍යයයට කියයි

රටේ ඉතා පැහැදිලිව සිදු වන දේශපාලන වෙනස්කම්වලින් කිසිදු දෙමළ දේශපාලන පක්ෂයක් වාසි අත් කර ගැනීමට තරම් බංකොලොත් දේශපාලනයක් සිදු නොකරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියි.

විදෙස් මාධ්‍යවේදියකුට අදහස් දක්වමින් සම්පන්ධන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ දකුණේ දේශපාලනය ගිනි ඇවිළී ඔවුනොවුන් මර ගන්නා අවස්ථාවක දෙමළ දේශපාලන පක්ෂවලට බොරදියේ මාළු බාමින් පක්ෂ දේශපාලනයේ නිරත වීමට කිසිම අවශ්‍යතාවයක් නොමැති බවයි.

රටේ සිදුවන සෑම ක්‍රියාවක්ම හා සිදුවීමක් මෙන්ම දේශපාලන තීන්දු ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියට හා සාමයට ගැළපෙන ආකාරයට සිදුවිය යුතු බවත් අරගලවලදී මිනී මැරුම්, ගෙවල් ගිනි තැබීම් හා දේපළ හානි කිසිම අවස්ථාවක සිදු විය යුතු නොමැති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයා සඳහන් කරයි.

2009 වසරේදී යුද්ධය හමාර කළ විට මහා යුග පුරුෂයකු යැයි කියමින් දකුණේ ජනතාව පිළිගත් මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පලවා හැරීමට තරම් දකුණේ ජනතාව සැහැසි වී ඇති නමුත් යුද්ධය මෙහෙයවන ලද සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරවීමට ඡන්දය ප්‍රකාශ කිරීමට බහුතර දෙමළ ජනතාවක් පසුගිය ජනාධිපතිවරණයේදී පෙළඹුණු බව ද සම්පන්ධන් මන්ත්‍රීවරයා කියයි. දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ වෛරීය දේශපාලනයක් නොව දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරැකෙන, ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන දේශපාලන ව්‍යුහයක් පමණක් බව ද හෙතෙම ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් රාජපක්ෂ පාලනයට දෙමළ ජනතා සන්ධානය හා දෙමළ ජනතාව කිසි විටකත් අකැමති බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment