යුද පිටියේ වුවත් දේශපාලනයේ වුවත් සරත් ෆොන්සේකා සටන අතහරින්නේ නැහැ

136

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙලේදී කියයි
රණවිරුවන්ගේ ලේ, දහඩිය සහ අපරිමිත කැපවීම මත අපි යුද්ධය ජයගත්තා
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 28දා පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

යුද පිටියේ වුවත් දේශපාලනයේ වුවත් සරත් ෆොන්සේකා සටන අතහරින්නේ නැහැ

ග්‍රන්ථයේ පළමු පිටපත ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සමරු තිළිණයක්ද පිළිගැන්විණි. හිටපු යුද හමුදාපතිවරයෙකු ලෙස සරත් ෆොන්සේකා මහතාගේ සේවාව මෙහිදී අගය කළ ජනාධිපතිවරයා යුද අභියෝගය ජයග්‍රහණය කළ සහ දේශපාලනයේ අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකා මහතාට ඉදිරියටද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් සිදු කිරීමට හැකියාව තිබෙන බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

මෙරට යුද හමුදාවේ එකම ෆීල්ඩ් මාර්ෂල් තනතුර දරන්නේ සරත්ෆොන්සේකා මහතායි. එතුමා යුද අභියෝගය ජයග්‍රහණය කළා පමණක් නොවෙයි, යුද පිටියෙන් පිටත දේශපාලනය තුළත් අභියෝගවලට මුහුණ දුන් කෙනෙක්. මම එතුමාව හඳුනාගත්තේ පසුගිය යුද කාලයේ ජෙනරල් සිසිල් වෛද්‍යරත්න මහතා මාර්ගයෙන්. යුද්ධයට සහභාගීවූ නිලධාරින් සියලු‍දෙනා අතරින් සරත් ෆොන්සේකා මහතාට විශේෂ ස්ථානයක් හිමි වෙනවා.

යුද පිටියේ වුවත් දේශපාලනයේ වුවත් සරත් ෆොන්සේකා සටන අතහරින්නේ නැහැ

යාපනය ජය සිකුරු මෙහෙයුම අසාර්ථක වූ අවස්ථාවේ හමුදාව අත්පත් කරගත් සියලු‍ දේ අහිමි වුණා. ඔහු වැටුණු තැනින් පටන් ගෙන යුද්ධය ජයග්‍රහණය කරා ගෙන ගියා. එහිදී අසීරු තීරණ ගැනීමට ඔහුට සිදු වුණා. යුද්ධයක් කියන්නේ ක්‍රිකට් තරගයක් නොවෙයි. මිනිස් ජීවිත අහිමි වෙනවා. දේපළ විනාශ වෙනවා. එහිදී යුද හමුදාව මෙහෙයවමින් ඉදිරියට යාමට එතුමාට ශක්තිය තිබුණා. අප මුහුණ දුන්නේ ලෝකයේ තිබූ අසීරුම යුද්ධයකටයි. අනෙක් රටවල තවමත් එම යුද්ධ පැවැත්වෙනවා. සරත් ෆොන්සේකා මහතා තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කළා.

සිවිල් ජීවිතයේ අභියෝග රැසකටද එතුමාට මුහුණ දීමට සිදු වුණා. එහිදී ඔහු තනි වූ අවස්ථාවේ සහ බන්ධනාගාරගත වූ අවස්ථාවේ එතුමා තවත් ශක්තිමත් චරිතයක් වුණා. ඉන් පසුව යහපාලන රජය යටතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර එතුමාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර පිරිනැමීමට අප තීරණය කළා. එතුමා සුදුස්සෙක් ලෙස එය බාර ගනු ලැබුවා. සරත් ෆොන්සේකා මහතාගේ අත්දැකීම් සහ හැකියාවන්ගෙන්ප්‍රයෝජන

ගැනීමට අපට ආණ්ඩුවක් ලෙස අවස්ථාව ලැබුණා. එතුමා සටන්කාමී චරිතයක්. යුද පිටියේ වුවත් දේශපාලනයේ වුවත් එතුමා සටන අතහරින්නේ නැහැ. එතුමාට තවදුරටත් මේ රටට සේවය කිරීමට හැකියාව තිබෙනවා. එතුමාගේ සේවය අපට ලබාගත හැකියි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා

යුද්ධය ජය ගැනීමට හැකි වූයේ අපේ විරෝධාර රණවිරුවන් සිදු කළ විශිෂ්ට කැපවීම නිසයි. එහිදී රණවිරුවන් විශාල පිරිසක් රට වෙනුවෙන් ජීවිතය පූජා කළා. තවත් විශාල පිරිසක් ආබාධිත වුණා. මේ අවස්ථාවේදී සියලු‍ රණවිරු පවුල්වලට මාගේ ගෞරවය හිමිවෙනවා. ඔවුන් ජීවිත කැපකිරීම් සිදු කළේ අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ වගේම රටට සාමය ඇති කිරීම වෙනුවෙන්.

යුද්ධය අවසන් කිරීමට නම් දේශපාලන විසඳුමකට යා යුතු බව එදා බොහෝ දෙනෙක් පැවසුවා. එදා මම යුද හමුදාපති ධූරය භාර ගන්නා විට ආරක්ෂක සාමාජිකයන් සිටියේ කලකිරීමකින් යුතුවයි. නමුත් අපි තිස් වසරක යුද්ධය ජය ගත්තා . අපේ රණවිරුවන්ගේ ලේ, දහඩිය සහ අපරිමිත කැපවීම නොමැති වූවා නම් මේ යුද්ධය ජයගත නොහැකි වෙන්න තිබුණා. යුද්ධයෙන් පසුව රණවිරුවන්ට මෙන්ම මේ රටේ ජනතාව සිදු කළ කැප කිරීමට හිටපු පාලකයන් නිසි වටිනාකමක් ලබා දුන්නාද යන්න පිළිබඳ මට සැකයක් පවතිනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික නායකයන්ද, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු කථානායක කරු ජයසූරිය යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, තානාපතිවරුන්, හිටපු යුද හමුදා ප්‍රධානීන්, අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment