යුද සමයේ අතීත නටබුන් කියන පේදුරුතුඩුවේ කතාව

801

උතුරුකරේ පියසටහන් හත්වන කොටස

යාපනය අර්ධද්වීපයේ තොණ්ඩමනාරු කොටස පේදුරුතුඩුවේ සිට දකුණට චුන්ඩිකුලම් වනෝද්‍යානය කෙළවර චුන්ඩිකුලම් කලපුව දක්වා තිබෙන විශාල භූමි ප‍්‍රදේශයකි.

ශ‍්‍රී ලංකාවේ උතුරු මුහුදු තීරයේ කෙළවර ලෙස සැලකෙන පේදුරුතුඩුව යුද සමයේ දරුණු සටන් පැවැති අතර, කොටි නායක ප‍්‍රභාකරන්ගේ උපන් ගම වන වැල්වැටිතුරෙයි පිහිටා ඇත්තේ ද පේදුරුතුඩුවට සමීපව පේදුරුතුඩුව කන්කසන්තුරය මාර්ගයේය.

මෙවර මගේ යාපනය අර්ධද්වීපයේ සංචාරයේදී මම තෙවරක් පේදුරුතුඩුව ප‍්‍රදේශයට ගියෙමි.

කර්නල් ප‍්‍රියන්ත ලියනගේ සමග වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේ කළ සංචාරයෙන් පසුව පේදුරුතුඩුව 551 වන බලසේනාධිපති බි‍්‍රගේඩියර් චින්තක වික‍්‍රමසිංහ සමග තවත් දිනක පේදුරුතුඩුව ප‍්‍රදේශය පුරා සැරිසැරුවෙමි. ඉතා දියුණු සංවර්ධිත නගරයක් ලෙස දැන් පවතින පේදුරුතුඩුව නගරයේ යුද අතීතය සිහිපත් කරවන නටබුන්වූ ගොඩනැගිලි අදත් දැකිය හැක.

යුද සමයේ අතීත නටබුන් කියන පේදුරුතුඩුවේ කතාව

යුද සමයේ උතුරට අත්‍යවශ්‍ය භාණ්ඩ මුහුදින් ගෙනගොස් ගොඩබෑ පේදුරුතුඩුව ජැටිය හා ධීවර ජැටිය කිසිදු සංවර්ධනයකින් තොරව අදත් පවතී. එය සංවර්ධනය කිරීමට යහපාලන රජය සමයේ 2019 දී එවක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තැබූ මුල්ගල තවමත් එලෙසම පවතී. යාපනයේ සිට කි.මීටර් 50ක් පමණ දුරින් පිහිටි පේදුරුතුඩුව නගරය මෙන්ම අවට නගර කීපයක් දියුණු වී ඇත.

පේදුරුතුඩුව සිට චුන්ඩිකුලම් දක්වා වන යාපනය අර්ධද්වීපයේ වඩමාරච්චි කොටසේ ආරක්ෂක හා සුබසාධන කටයුතු භාරව ඇත්තේ යුද හමුදා 55වන සේනාංකයටයි. එම සේනාංක මූලස්ථානය අලිමංකඩට සමීප කඩෙයිකාඩු ප‍්‍රදේශයේ පිහිටා ඇත. එම සේනාංක බලප‍්‍රදේශයේ මා සංචාරය කරනවිට මේජර් ජෙනරල් මහින්ද කුමාර ජයවර්ධන සේනාංකාධිපති ලෙස කටයුතු කළේය. ඔහු ඉංජිනේරු සේනාංකාධිපති ලෙස පත්වී ගිය පසු බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න ගුණරත්න දැන් 55වන සේනාංකාධිපති ලෙස කටයුතු කරයි. යාපනය මහනුවර A 09 මාර්ගයේ එලූතුමට්ටුවාල් සිට අලිමංකඩ දක්වා අයත් වනුයේද 55වන සේනාංකයටයි. ඒ යටතේ බළසේනා මූලස්ථාන 04ක් ඇත.

පේදුරුතුඩුව 551 වන බළසේනාධිපති ලෙස බි‍්‍රගේඩියර් චින්තක වික‍්‍රමසිංහ ද, අයියකච්චි 552 වන බළසේනාධිපති ලෙස බි‍්‍රගේඩියර් රුවන් මුණිපුරද, මුල්ලියාන් 553 වන බළසේනාධිපති ලෙස බි‍්‍රගේඩියර් රොහාන් ජයකොඩි ද කටයුතු කරති. පේදුරුතුඩුව 551 වන බළසේනා ප‍්‍රදේශයේ මා සංචාරය කරද්දී බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ විසින් ඉතා වැදගත් ස්ථානයක් පෙන්වීමට රැගෙන යන ලදී. ඒ නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලයටයි. පේදුරුතුඩුව ප‍්‍රදේශයේ තිබෙන ප‍්‍රධාන ජාතික පාසලක් වන එහි සිසු සිසුවියන් 1400ක් පමණ උගනිති. ගුරු මණ්ඩලය 104 දෙනෙකි. අක්කර 08ක පමණ ඉඩමක පිහිටි එම විදුහල ඉතා ඉහළ අධ්‍යාපන මට්ටමක පවතින බව විදුහල්පති ජී.ක‍්‍රිෂ්ණකුමාර් මහතා පැවැසීය.

1921 දී ඇරඹි මෙම පාසල හිටපු අධ්‍යාපන ඇමැති කන්නන්ගර මහතා විසින් ඇරඹි මධ්‍ය මහා විද්‍යාල අතරට එක්වූ විදුහලකි. ඉංජිනේරු පීඨයට සිසුන් 04 දෙනෙක් හා වෛද්‍ය පීඨයට සිසුන් 02 දෙනෙකු මෙවර සුදුසුකම් ලබා ඇත. නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලය යුද සමයේ විශේෂ තැනක් බවට පත්විය. කොටි ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රබල යුද මර්මස්ථානයක් වූ නෙල්ලිඅඩි ප‍්‍රදේශයේ හමුදා ආරක්ෂාවට සිටි 05 වන ගැමුණු හේවා බළඇණියේ කඳවුර ලෙස 1987 වසරේ පවත්වාගෙන ගියේ මෙම විදුහලයි.

1987 ජුලි 05 වන දින කොටි ත‍්‍රස්තවාදියෙක් විසින් පදවාගෙන ආ බෝම්බ ලොරියක් පුපුරුවා හැරියේ මෙහිදීයි. එය කොටි සංවිධානය විසින් යුද හමුදාවට එල්ල කළ ප‍්‍රථම මරාගෙන මැරෙන ප‍්‍රහාරය ලෙස යුද ඉතිහාසයට එක්වී තිබේ. එම ප‍්‍රහාරයෙන් හමුදා සෙබළුන් 40 දෙනෙක් පමණ මරුමුවට පත්වූහ. එවන් දරුණු යුද මර්මස්ථානයක් ලෙස පැවැති නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලය පමණක් නොව පේදුරුතුඩුව ප‍්‍රදේශයේ පාසල් කීපයක් අද දූ දරුවන්ට සිප්සතර ලබාදෙමින් සාර්ථකව පවත්වාගෙන යති.

යුද සමයට පෙර සිංහල විද්‍යාලයක් ලෙස පවත්වාගෙන ගිය කරවෙඞ්ඩි ශ‍්‍රී නාරද මහා විද්‍යාලය එවන් සිප්හලකි. කරවෙඞ්ඩි රාජග‍්‍රාමම් අතීතයේදී රාජගම ලෙස හඳුන්වා ඇත. එකල එහි සිංහල බෞද්ධ හා දෙමළ බෞද්ධ පවුල් පදිංචි වී සිට ඇත. එහි කුඩා පන්සලක් ද තිබී ඇති අතර එහි වැඩවිසූ ශ‍්‍රී නාරද හිමි විසින් සිංහල පාසලක් පිහිටුවා ඇත. උන්වහන්සේගෙන් පසුව 1964 සිට වසර 10ක් යනතුරු උල්ලලපොල මහානාම හිමි විදුහල්පති ස්වාමීන් වහන්සේ ලෙස විදුහල දියුණු තත්ත්වයකට පත් කර ඇත. මුත්තන් තවරාසා නමැති දෙමළ පුද්ගලයෙක් මේ පාසල ආරම්භ කිරීමට විශාල සහයෝගයක් දී තිබේ. ඒ ඔහු දෙමළ බෞද්ධයෙක්වූ නිසයි. සිංහල බෞද්ධ දූ දරුවන් සහ දෙමළ බෞද්ධ දූ දරුවන් මෙහි එකමුතුව ඉගෙන ගෙන ඇත.

අද මෙම පාසල දෙමළ පාසලකි. නමුත් එහි නම තවමත් ශ‍්‍රී නාරද විද්‍යාලය ලෙස තිබේ. එය වෙනස් කර දෙමළ නමක් දැමීමට ඇතැම් දෙමළ දේශපාලනඥයින් උත්සාහයක නිරතව සිටිති. එල්.ටී.ටී.ඊ සංවිධානය 1995 වසර දක්වා යාපනය නගරය ඇතුළු යාපනය අර්ධද්වීපයේ බොහෝ ප‍්‍රදේශ රැසක පාලන බලය අත්කරගෙන සිටියේය. ‘රිවිරැස 1,2,3 ක‍්‍රියාන්විත මගින් වලිකාමම්, තෙන්නමරච්චි කොටස්වල සියලූම ප‍්‍රදේශ සහ වඩමාරච්චි කොටසේ ප‍්‍රදේශ කීපයක් යුද හමුදා පාලනයට ගෙන තිබුණි. අලිමංකඩ බලයත් හමුදාව යටතේ පැවැති අතර, ගොඩබිම සැපයුම් මාර්ග කිසිවක් නොමැතිව අලිමංකඩ කඳවුර හුදකලාව තිබුණි. 1991 දි කොටි ත‍්‍රස්තවාදීන් ඊට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කළේය.

මේජර් සනත් කරුණාරත්න අණදුන් 06 වන සිංහ බළඇණිය ඉලක්ක කොට එල්ල කළ එම ප‍්‍රහාරය ඉතා දරුණු සටනක් විය. මේජර් සනත් කරුණාරත්න මෙහෙයවූ එම සිංහ බළඇණිය කඳවුර රැකගනිමින් සාර්ථක ලෙස සටන් කරද්දී බි‍්‍රගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා කර්නල් විජය විමලරත්න විසින් මෙහෙයවූ ‘බලවේගය’ ක‍්‍රියාන්විතය ආරම්භ විය.

යුද සමයේ අතීත නටබුන් කියන පේදුරුතුඩුවේ කතාව

එම ක‍්‍රියාන්විතය ඇරඹුණේ වෙත්තලයිකර්නි වෙරළබඩ සිටය. එවක වෙත්තලයිකර්නි ප‍්‍රදේශය පාලනය කළේ ද එල්.ටී.ටී.ඊ ය විසිනි. නාවික හමුදාව විසින් රැගෙන යන හමුදා බළඇණි සහ යුද උපකරණ ගොඩ බෑමට තෝරාගනු ලැබුවේ වෙත්තලයිකර්නි වෙරළයි. එවක උතුරු නාවික ආඥාපතිව සිටි කපිතාන් එච්.ආර්. අමරවීර විසින් එම වෙරළබඩ ස්ථානය තෝරාගෙන තිබුණි. කොටි ත‍්‍රස්තවාදීන්ගේ දරුණු ප‍්‍රහාරවලට සාර්ථක ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරමින් හමුදා බළඇණි එහි ගොඩබැස්සවීමට නාවික හමුදාව සමත් විය. එහි සිට මුල්ලියාන් කෝවිල හරහා දරුණු සටන් මැද ඉදිරියට ගිය හමුදා බළඇණි අලිමංකඩ කඳවුර කොටි ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයට ලක්නොවී බේරාගත්තේය. වෙත්තලයිකර්නි වෙරළ යුද සිතියමට එක් කළ එවක කපිතාන්වරයෙක් වූ එච්.ආර්. අමරවීර රියර් අද්මිරාල්වරයෙක් ලෙස විශ‍්‍රාම ගිය නාවික රණවිරුවෙකි.

වෙත්තලයිකර්නි වෙරළබඩ ප‍්‍රදේශය අද දෙමළ ජනතාව වෙසෙන ජනාකීර්ණ ප‍්‍රදේශයකි. එහි වැසියන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය ධීවර කර්මාන්තයයි. කඩෙයිකාඩු 55 වන සේනාංක මූලස්ථානය පිහිටුවා ඇත්තේද ඒ සමීපවය. මම එම ප‍්‍රදේශය ඇතුළු යුද සමයේ දරුණු සටන් නිතර පැවැති අලිමංකඩ, අයියකච්චි, කිලාලි, පලෙයි, මුහමලෙයි, චෙම්පියන්පත්තු, නාගර්කෝවිල් යන ප‍්‍රදේශවල ගොස් ඇත්තෙමි. මෙවර සංචාරයේදී වසර ගණනාවකට පසුව නැවත ගියවිට එම ප‍්‍රදේශ අද බොහෝ ජනාකීර්ණව නිදහස් සාමකාමී දියුණු තත්ත්වයකට පත්වී තිබෙනු දුටුවෙමි.

(මතු සම්බන්ධයි)
සටහන හා ඡායාරූප
සිරිමෙවන් කස්තුරිආරච්චි
යාපනය අර්ධද්වීපයේ සංචාරයකින් පසු

advertistmentadvertistment
advertistmentadvertistment