යුද සහ නාවික හමුදා වැඩිම බර ඔසවයි

166

ජාතික ජ්‍යෙෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියේ දක්ෂතම බර උසුලන්නා ලෙස යුද හමුදාවේ ඩිලංක ඉසුරු කුමාර සහ දක්ෂතම බර උසුලන්නිය ලෙස නාවික හමුදාවේ චමරී වර්ණකුලසූරිය සම්මානයට පාත්‍ර වූහ.

කිලෝ ග්‍රෑම් 55 බර පන්තියේ රන් පදක්කම දිනා ගනිමින් ප්‍රදර්ශනය කළ කි.ග්‍රෑ. 257 ක දක්ෂතාව මත ඩිලංක ඉසුරු කුමාර ද කිලෝ ග්‍රෑම් 55 බර පන්තියේ රන් පදක්කම දිනා ගනිමින් ප්‍රදර්ශනය කළ කි.ග්‍රෑ. 168 ක දක්ෂතාව මත චමරී වර්ණකුලසූරිය ද එසේ ඇගයීමට ලක් විය.

සිව් දිනක් පුරා ක්‍රියාත්මක කෙරුණු මෙවර තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූ අතර කාන්තා ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විය.

නාවික හමුදාවට පිරිමි අනු ශූරතාව ද යුද හමුදාවට කාන්තා අනු ශූරතාව ද මෙවර හිමි විය.

ජාතික මට්ටමේ නමගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාම තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත්වීම මෙවර තරගාවලිය තුළ දී කැපී පෙනුණි.

කිලෝ ග්‍රෑම් 89 බර පන්තියේ රන් පදක්කම චින්තන ගීතාල් විදානගේ දිනා ගත් අතර ඔහු ග්‍රෑම් 280 ක බර එකතුවක් එසවීමට සමත් වූයේය.

ඩිලංක ඉසුරු කුමාර, චතුරංග ලක්මාල්, එම්. එම්. විජේසිංහ, ඉන්දික චතුරංග දිසානායක, යූ.ආර්.ආර්. ජයසේන, චින්තන ගීතාල් විදානගේ, එස්.එම් දිසානායක, ශානක පීටර්ස්, සමන් අබේවික්‍රම සහ උෂාන් චාරුක මෙන්ම එම්.ඩී.එම්. ප්‍රේමරත්න, ශ්‍රීමාලී සමරකෝන්, චමරී වර්ණකුලසූරිය, එම්. උමෙයිරා, ඩී.ඩී.ඩී. අබේසේකර, ඩී.ටී.ගුරුගම, පී.ඩී.එන්. සංජනා, චතුරිකා ප්‍රියන්ති, ඒ.එස්. වික්‍රමසිංහ සහ තිමාලී හපුතැන්න මෙවර තරගාවලියේ රන් පදක්කම් ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

මෙම තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක කෙරුණු අවුරුදු 20 න් පහළ ජාතික කනිෂ්ඨ තරගාවලියේ දක්ෂතම බර උසුලන්නා ලෙස එස්. ඩබ්ලිව්. කේ. ආර්. එස්. ඩී. සෝමතිලක (යුද හමුදාව) සම්මාන ලැබූ අතර දක්ෂතම බර උසුලන්නිය ලෙස එම්.ඩී.එම්. ප්‍රේමරත්න (කුරුණෑගල) ද සම්මාන ලැබූහ.

අවුරුදු 17 න් පහළ යොවුන් අංශයේ දක්ෂතම බර උසුලන්නා ලෙස ඩබ්ලිව්. ඩී. කේ. කුමාර (ගාල්ල දිස්ත්‍රික් සංගමය) ද දක්ෂතම බර උසුලන්නිය ලෙස ආර්. එල්. එස්.ආර්. ලක්සරණී (ගාල්ල දිස්ත්‍රික් සංගමය) ද නම් කෙරුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment