යුනිසෙෆ් තියරිය අනුව හැකි ඉක්මනින් පාසල් විවෘත කළ යුතුයි

134

කොවිඞ් වසංගතයේදී අවසානයට වැසිය යුතු සහ මුලින්ම ආරම්භ කළ යුතු ආයතන ලෙස යුනිසෙෆ් ආයතනය හඳුන්වාදී ඇත්තේ පාසල බවත් ඒ අනුව පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසා සිටියේය.

ජාත්‍යන්තර ගණනය කිරීම් අනුව පහළ පන්තිහි දරුවන් අතින් රෝගය බෝවීම අවම මට්ටමක පවතින බවත් පාසල් මගින් රෝගය බෝවීම ආපන ශාලා සහ අනෙකුත් ආයතන සමග සැසඳීමේදී අවම තත්ත්වයක පවතින බවත් මෙහිදී විශේෂඥ වෛද්‍යවරයා පැවසීය. දරුවන් වෙත එන්නත් ලබාදීමේ ක‍්‍රියාදාමය සම්බන්ධයෙන් කිසිදු බියක් නොවීය යුතු බවත් මේ වන විට ලෝකයේ රටවල් රාශියක් දරුවන් වෙත එන්නත් ලබාදී ඇති හෙයින් එම නිරීක්ෂණ අනුව එන්නත්කරණයේ කිසිදු අහිතකරභාවයක් නොමැති බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය. ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (23 දා) පැවැති මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. දරුවා වඩාම ආරක්ෂිත නිවසට වඩා පාසලේ දී බවත් ඔවුනගේ මානසික සහ කායික සුරක්ෂිතභාවය සඳහා පාසල් දරන වැදගත්කම ජාත්‍යන්තර ආයතන සිය සමීක්ෂණ මගින් පෙන්නුම් කර ඇති හෙයින් ඒ පිළිබඳව සලකා පාසල් විවෘත කිරීම අත්‍යවශ්‍ය හෙයින් දරුවන් එන්නත්කරණය සඳහා යොමු කිරීම වැදගත් බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. එන්නත්කරණයෙන් පසු ක‍්‍රියාවලිය සම්බන්ධයෙන්, විශේෂයෙන් දිය නෑම ආදිය පිළිබඳ උපදෙස් එන්නත්කරණය සමග දරුවන් සහ වැඩිහිටියන් වෙත ලබාදෙන බවත් ඒ පිළිබඳව තොරතුරු ඇතුළත් අත් පත‍්‍රිකාවක් ජනතාව වෙත අද සිට ලබාදීමට කටයුතු කරන බවත් මාධ්‍යවේදියකු ආසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් විශේෂඥ වෛද්‍ය අනුරද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment