යුනිසෙෆ් නිවේදනය

987

මෙරට විරෝධතා අතරතුර ළමයින්ට එරෙහි හිංසනය හෙළා දකින බව යුනිසෙෆ් සංවිධානය නිවේදනයක් කර තිබේ. “විරෝධතාවලදී සිදුවන ළමුන් සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ ලැබෙන වාර්තා සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානයේ අවධානය යොමුව තිබේ. සියලු පාර්ශ්ව සාමකාමීව රැස්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහතික කළ යුතු අතර ළමුන්ටද අදහස් ප්‍රකාශ කිරීමට නිදහසක් මෙන්ම සාමකාමී රැස්වීම්වලට සහභාගි වීමට අයිතියක් ඇති බවත් යුනිසෙෆ් සංවිධානය අවධාරණය කර ඇත. එහි මෙසේද සඳහන් වේ.

“ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අනුව, ළමයින්ට සහ නව යොවුන් වියේ පසුවන්නන්ට ඔවුන්ට බලපාන ගැටලු සඳහා සහභාගි වීමට සහ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත. ළමයින් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රජය, ප්‍රජාවන්ට සහ පවුල්වලට හවුල් වගකීමක් ඇත.”

සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂාවීම වැදගත්ය. ළමුන් උද්ඝෝෂණවලට ගෙනියන්නේ කවරෙක්ද? යන්නත් සොයා බැලිය යුතුය. කඳුළු ගෑස් කන්නට ළමයින් ගෙන යා යුතු නැත. එය දෙමාපියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ වගකීමකි. දරුවන් කිසිවකුගේ අතකොලු බවට පත්කිරීම බලවත් වැරැද්දකි. එයින්ද දරුවන්ගේ අයිතීන් උල්ලංඝනය වේ. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ තුන්වන වගන්තිය මඟින් දක්වා ඇති ආකාරයට දරුවාගේ උපරිම යහපත සැලසීමට දරුවාගේ මවුපිය භාරකරුවන් ඇතුළු රටේ රජය දක්වා සියලුම පාර්ශ්ව බැඳී සිටින බැවින් උද්ඝෝෂණ අවස්ථා සඳහා දරුවන් සහභාගි කරවා ගැනීම වළක්වා ගැනීමට කාරුණික වන්නේ නම් එය වැදගත් ය. පසුගිය දා ජාතික ළමාරක්ෂණ අධිකාරිය පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ දරුවන්ගේ යහපත සියලු දෙනාගේම වගකීම හෙයින් දරුවන් උද්ඝෝෂණවලට එක්කර ගැනීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවයි. කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ දිනවල පැවැත්වෙන මහජන උද්ඝෝෂණ හා විරෝධතා පෙළපාලි සඳහා දරුවන් සහභාගි කරවීමෙන් වළකින ලෙසට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා මවුපියන් හා බාරකරුවන්ගෙන් ඉල්ලා තිබිණි. ළමයින්ගේ ආරක්ෂාව සහ උපරිම යහපත සැලසීම සමාජයේම වගකීමකි. එය නිවැරදිව ක්‍රියාත්මක කළ යුත්තේ වැඩිහිටියන් මිස වෙනත් පාර්ශ්වයක් නොවේ. වැඩිහිටි පාර්ශ්වය ලබා දෙන ආදර්ශය ළමා පරපුර ග්‍රහණය කර ගනී. වැරදි ආදර්ශයන් නිසා සිදුවන්නේ ඉදිරි පරම්පරාව අයාලේ යෑමය. හොඳ නරක දරුවන්ට කියා දිය යුතු නමුත් ඔවුන් සාහසිකත්වයට පෙළඹිය යුතු නැත. වර්තමානයේ ළමා අපයෝජනය සම්බන්ධව බොහෝ විට කතා කරයි. බොහෝ දෙනකු සිතන්නේ ළමා අපයෝජනයක් යනු කායිකව හිරිහැර කිරීමක්, ලිංගිකව අපයෝජනය කිරීමක් පමණක් බවය. එහෙත් වැඩිහිටියන්ගේ යම් යම් අපේක්ෂා ඉටු කර ගැනීම වෙනුවෙන් දරුවන් වෙනත් අරමුණකට යොමු කිරීමද අපයෝජනයකි. කවරක් නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 – 1 වගන්තියට අනුව සාමකාමීව රැස්වීමට, අදහස් ප්‍රකාශ කිරීමට, උද්ඝෝෂණය කිරීමට හැකියාව ඇත. ඒවා මර්දනය කිරීම ශිෂ්ට සමාජය අගයන්නේ නැත. මේ අයිතිය වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ට ද ඇත. වර්තමානයේදී කුඩා ළමයින්ට දකින්න, අසන්න ලැබෙන්නේ ඉතාමත් කලබලකාරී වාතාවරණයක සිදු වන අරගල, කෝලාහල වැනි නොසන්සුන්කාරී සිදුවීම්ය. මේවා දරුවන්ගේ මනසට දැඩි බලපෑමක් එල්ල කරයි. ඔවුන් ඒවා අභ්‍යන්තරීකරණය කර ගනී. මේ ගැන සමාජය අවධානය යොමුකළ යුතුය. වඩා යහපත් හෙටක් දරුවන්ට උදා කරලීම වෙනුවෙන් සියලු දෙනා එක්විය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment