යුපුන් වේගය වැඩි කරයි – මේ ජයග්‍රහණය මා සමග සිටි අයටයි – මීටර් 100 දකුණු ආසියා වාර්තා ලාභී යුපුන් අබේකෝන්

374

තමන් සමග හිටිය අයට තමන් මේ ජයග්‍රහණය පුද කරන බවත් තමන් පිළිබඳව විශ්වාස කරපු අයට වියයුතු යුතුකම් තමන් අතින් ඉටු වුණා යැයි තමන් විශ්වාස කරන බවත් ඒ අයට තමන් ගොඩක් ආදරය කරන බවත් පිරිමි මීටර් 100 ධාවන ඉසව්ව දකුණු ආසියාතික වාර්තාවක් පිහිටුවමින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් එම ජයග්‍රහණයෙන් පසුව ප්‍රකාශ කර සිටියේය.

 ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන රෙස්ප්‍රින්ට් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 9.96ක කාලයක් වාර්තා කරමින් අවසන් කළ යුපුන් තත්පර දහයකට අඩුවෙන් පිරිමි මීටර් 100 ඉසව්ව අවසන් කළ පළමු සහ එකම දකුණු ආසියාතික ක්‍රීඩකයා බවට එදින පත්වූයේය.

 මීට පෙර මීටර් 100 ඉසව්ව සඳහා යුපුන්ගේ හොඳම දක්ෂතාවය වී තිබුණේ ජර්මනියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර් 100 ඉසව්ව තත්පර 10.06 කාලයකින් නිම කිරීම වූ අතර පෙරේදා පැවති තරගයේ මූලික තරගයකදී එම ඉසව්ව තප්පර 10.11ක කාලයකින් නිම කිරීමට යුපුන් සමත් වූයේය.

 යුපුන් අදාළ වාර්තාව පිහිටුවමින් එම තරගය ජය ගැනීමට සමත් වූ අතර ජයග්‍රහණයෙන් අනතුරුව යුපුන් තවදුරටත් මෙසේද පවසා සිටියේය.

 “මං ඒක කළා. මං අවුරුදු ගාණක් මහන්සි වුණා, ඒ මහන්සියේ කැප කිරීමේ ප්‍රතිඵලය මට ලැබුණා.

 බිලියන ගාණක් ඉන්න දකුණු ආසියාවේ මෙවැනි දස්කමක් කළ පළමු ක්‍රීඩකයා මම. මං එක්ක හිටිය අයට මං මේ ජයග්‍රහණය පුද කරනවා. මාව විශ්වාස කරපු අයට මං යුතුකම් ඉටු කළා කියලා මං හිතනවා. ඒ අයට මං ආදරෙයි ගොඩක්.”

 2015 වසරේදී ශිෂ්‍යත්වයක් ලබා ඉතාලියට ගොස් එහි සිට සිය පුහුණුවීම් කටයුතු කරන යුපුන් පන්නල ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය හදාරා වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහලෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇත.

 කෙසේ වෙතත් ජයග්‍රහණයෙන් පසුව යුපුන් පවසා සිටියේ මෙම ජයග්‍රහණයන් සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා බලධාරීන්ගෙන් තමන්ට කිසිදු සහයෝගයක් නොලැබුණු බවයි.

 “ලංකාවේ බලධාරීන්ගෙන් උදව් ඉල්ලල යවපු ලියුම් ඊ මේල් එකේ සෙන්ට් බොක්ස් එක පිරිලා. උදව් කරන්නම් කියලා ආව ඊ මේල් එකක්වත් හොයාගන්නවත් නෑ.

 ඒ හින්දා දැන් මීඩියාවලට කතා කරද්දී මට කරපු උදව් මොනවද කියලා මතක් කරලා කියන්න. මිනිස්සු බලන් ඉන්නවා දැනගන්න.” යැයිද යුපුන් පවසා සිටියේය.

 මේ වසරේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ද යුපුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග බිමට සහභාගිවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment