යුපුන් සහ පාලිත පොදුරද මඬුලු ක්‍රීඩා පිටිය වර්ණවත් කරති

262

යුපුන් ආසියාවටම ආඩම්බරයක් වෙමින් මීටර් 100 ලෝකඩ පදක්කම දිනයි

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලියකදී පිරිමි මීටර් 100 තරග ඉසව්වකින් පදක්කමක් දිනූ පළමු ආසියාතික ක්‍රීඩකයා වීමේ ගෞරවය ශ්‍රී ලංකාවට ඊයේ (04 වෙනිදා) අලුයම උදා කර දුන් යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයට ස්වර්ණමය පිටුවක් එක් කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා තරගාවලියකදී මලල ක්‍රීඩා ඉසව්වකින් වසර 24කට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයකු පදක්කමක් දිනූ පළමු අවස්ථාව එය බවට පත් කළ යුපුන් අබේකෝන් පිරිමි මීටර් 100 තරගයෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කළේය.

බර්මින්හැම් මලල ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අලුයම 2ට එම තරගය පැවැත්විණි.

එම අවසන් මහා තරගයේ දී මං තීරු අංක දෙකෙන් ධාවනයේ යෙදුණු යුපුන් අබේකෝන් තප්පර 10.14 කින් තරගය නිම කරමින් තරගයේ තෙවැනි ස්ථානය ජයග්‍රහණය කළේය.

එසේම ශ්‍රී ලංකා ක්‍රීඩකයකු පැරා තරග ඉසව්වකින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළකදී පදක්කමක් දිනූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට පාලිත බණ්ඩාර ඊයේ (04 වැනිදා) සමත් වූයේය.

විශේෂ අවශ්‍යතා සහිත එෆ් 42-44/61-64 තරග ඉසව්වෙන් එම ජයග්‍රහණය වාර්තා කළ පාලිත බණ්ඩාර මීටර් 44.20ක් දුර වාර්තා කරමින් එම පදක්කම දිනාගත් අතර එය පාලිතගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය ද වේ.

යුපුන් අබේකෝන්ට පෙර මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමි කර දුන් අවසන් අවස්ථාව වන්නේ 1998 වසරේදී ක්වාලාලම්පූර් හි දී මීටර් 400 ඉසව්වෙන් සුගත් තිලකරත්න සහ මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් ශ්‍රියානි කුලවංශ ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කිරීම වේ. ඔවුන්ට පෙර ඩන්කන් වයිට් ද කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් ගෙන දුන්නේය.

ඒ අනුව යුපුන් අබේකෝන් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලියකදී මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට පදක්කමක් ගෙනදුන් හතරවෙනි ක්‍රීඩකයා බවට ඊයේ පත්වූයේය.

මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම පිණිස පැවති අවසාන පූර්ව තරගයේදී තත්පර 10.20කින් එම තරගය නිම කර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට යුපුන් සමත් වූයේය.

එහිදී තෙවැනි අවසන් පූර්ව තරගය යටතේ තරග වැදුණු යුපුන් අබේකෝන් 04 වෙනි ස්ථානයට පත්වෙමින් තරගය නිම කළ ද අවසන් පූර්ව තරගවලදී හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩකයින් 08 දෙනා අතර ස්ථානයක් හිමි කර ගැනීමට යුපුන් සමත් වූයේය.

ඒ වනවිටත් යුපුන් මෙම තරගාවලියේ පිරිමි මීටර 100 මූලික තරග ඉසව්වට එක් වූ ක්‍රීඩකයන් 70 දෙනා අතරින් හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩකයා ලෙස දක්ෂතා පෙන්වා තිබුණි.

මූලික වටයේ ඔහුගේ තරග නිමි කාලය සටහන් වූයේ තත්පර 10.06කි.

අවසන් මහා තරගයේදී තත්පර 10.02ක කාලයක් වාර්තා කළ කෙන්යානු ක්‍රීඩක ෆර්ඩින්ඩ් ඔමාන් යාලා මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 රන් පදක්කමත්, තත්පර 10.14ක කාලයක් වාර්තා කළ දකුණු අප්‍රිකා ක්‍රීඩක අකනි සිම්බින් එහි රිදී පදක්කමත් ජයග්‍රහණය කළේය.

ඒ අනුව යුපුන් අබේකෝන්ට මෙම තරග ඉසව්වේ රිදී පදක්කම ගිලිහී ගියේ තත්පර බින්දුවයි දශම බින්දුවයි එකකිනි.

එසේම යුපුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියක පිරිමි මීටර් 100 අවසන් මහ තරගයකට සහභාගි වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද වේ.

එසේම මෙවර පිරිමි මීටර් 100 අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබූ එකම ආසියානු ක්‍රීඩකයා බවටද යුපුන් පත් වූයේය.

යුපුන් සහ පාලිත ඊයේ ලබා ගත් රිදී සහ ලෝකඩ පදක්කම් දෙකත් සමග ශ්‍රී ලංකාව මේ වනවිට මෙම තරගාවලිය තුළදී පදක්කම් තුනක් හිමි කරගෙන ඇත. ඔවුන් දෙදෙනාට පෙර ඩිලංක ඉසුරු බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි කර දුන්නේ ය.

ඊයෙ රිදී පදක්කමක් හිමි කරගත් පාලිත බණ්ඩාර ශ්‍රී ලංකා යුද හමුදාවට අනුයුක්තව ජාතික ආරක්ෂක බලමුළුව නියෝජනය කරන ක්‍රීඩකයෙකි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment