යුරෝපයේ දම් එළිය පතුරුවන ධම්මරතන නායක හාමුදුරුවෝ

203

ස්වීඩන් ස්ටොක්හෝම් බෞද්ධ විහාරාධිපති,
නෝර්වේජියානු හා ස්කැන්ඩිනේවියානු රටවල ප‍්‍රධාන සංඝ නායක
කිරිඳිගල්ලේ ශ‍්‍රී ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.


 (ස්වීඩන් ස්ටොක්හෝම් බෞද්ධ විහාරාධිපති, නෝර්වේජියානු හා ස්කැන්ඩිනේවියානු රටවල ප‍්‍රධාන සංඝ නායක කිරිඳිගල්ලේ ශ‍්‍රී ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 80 වැනි ජන්ම දිනය මෙම මස 17 වැනි දිනට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි).

යම් භික්ෂුවක් ප‍්‍රඥාවෙන් හා ව්‍යක්ත භාවයෙන් යුක්තද, පිරිස් අතරට පැමිණියේ අකම්ප්‍ය ඥානයෙන් යුත්ත ද, බොහෝ දතයුතු දෑ ඉගෙන ගත්තේ ධර්මය කටපාඩමෙන් ධරා සිටින්නේ ද, ඒ උගත් ධර්මයට අනුව පිළිපදින්නේ ද එබඳු භික්ෂුව භික්ෂු සංඝයාගේ ශෝභනත්වය හෙවත් බැබලීම ඇති කරන හෙයින් ‘‘සංඝ ශෝභන” යැයි අප බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලදී.

මෙම බුද්ධ වචනයට අප ගරුකටයුතු ස්වීඩනයේ ස්ටොක්හෝම් බෞද්ධ විහාරාධිපති, මාරතුගොඩ විදුමිණ විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති, කිරිඳිගල්ල මේඝගිරි විහාරය, ලූණු කඩවැල්ල රජමහා විහාරය, තලටුව ප‍්‍රියන්තාරාමය යන පඤ්ච මහා විහාරාධිපති නෝර්වේජියානු හා ස්කැන්ඩිනේවියානු රටවල ප‍්‍රධාන සංඝ නායක අති ගෞරවාර්හ කිරිඳිගල්ලේ ශ‍්‍රී ධම්මරතනාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ යෝග්‍ය වන්නේ නිතතයෙනි.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ කිරිඳිගල්ල නමැති සුන්දර ග‍්‍රාමයේ කොස්වත්තේ වෙදගෙදරදී දහනායක මුදියන්සේලාගේ ටිකිරිබණ්ඩාර නිළමෙතුමන් හා හේරත් මුදියන්සේලාගේ ලොකු මැණිකේ මැතිණිය දෙමාපියන්කොට ගෙන 1942 නොවැම්බර් මස 17 වැනි දින මෙළොව එළිය දුටු මේ කුල කුමරු ද පවුලේ සහෝදරයන් පස් දෙනෙකු හා සහෝදරියක අතරට එක්විය.

දහනායක මුදියන්සේලාගේ තෙන්නකෝන් බණ්ඩා ලෙස 1948 වර්ෂයේදී කිරිඳිගල්ල ග‍්‍රාමීය පාසලට ඇතුළත්ව එවකට එම ප‍්‍රාථමික විද්‍යාලයේ සිය මූලික පාසල් අධ්‍යාපනය ඇරඹූ මේ ශිෂ්‍යයා පාසලේ දීප්තිමත් ශිෂ්‍යකු ලෙස ගුරු මණ්ඩලයේම සිත් දිනා ගත්තේය. එම නිසා බොහෝවිට පාසල ආරම්භයේදී ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පන්සිල්දීම ද සිදු කෙරුණේ මේ පින්වත් කුලකුමරුවන් වෙතිනි.  සිය පියාණන් වූ වෛද්‍යාචාර්ය ටිකිරි බණ්ඩාර නිළමෙතුමන්ට අවශ්‍ය වූයේ මේ කුමරුන්ට හෙළ වෙදකම ඉගැන්වීමටය. එම නිසා පාසල් ඇරී ගෙදර පැමිණීමෙන් පසුව කුඩාකල සිටම සිය පියාණන්ගෙන් වෙදකම හැදෑරීම අනිවාර්ය විය.

1956 උදා වුන 2500 වැනි ශ‍්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිති කරගෙන මහනුවර දිස්ත‍්‍රික්කයේ හාරිස්පත්තුවේ මාරතුගොඩ පුරාණ විහාරාධිපතිව වැඩ විසූ ඕවිස ශ‍්‍රී මේධානන්ද නාහිමිපාණන් වහන්සේ විසින් කිරිඳිගල්ලේ ශ‍්‍රී මේඝගිරි විහාරස්ථානය ආරම්භ කරන ලදුව එම පුණ්‍යාත්සවයේදී මෙම කුලකුමරුවන් 1956 මැයි මස 25 වැනි දිනට යෙදුණු වෙසක් පුන් පොහෝ දින ‘‘කිරිඳිගල්ලේ ධම්මරතන” නමින් ප‍්‍රවෘජා භූමියට ඇතුළත් විය.

ඕවිස මේධානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පා සෙවනේ වැඩෙමින් පන්සල් අධ්‍යාපනයට අවශ්‍ය කෙරෙන ශතක පොත් ආදිය ඉගෙනගනිමින් කුඩා කල සිටම විචිත‍්‍ර ධර්ම දේශකයෙක් ලෙස ධම්මරතන පොඩිහාමුදුරුවෝ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වූහ. මේ අතර ධම්මරතන හාමුදුරුවන් වහන්සේ කුරුණෑගල මලියදේව පිරිවෙනට ඇතුළත්ව පිරිවෙන් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා 1963 වර්ෂයේ කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව බෞද්ධ දර්ශනය පිළිබඳව විශේෂ උපාධිය හදාරා පන්ති සාමාර්ථයක් සහිතව සිය ප‍්‍රථම උපාධිය දිනා ගත්හ.

අනතුරුව අප ධම්මරතන හිමියන් කැලණිය විශ්වවිද්‍යාලයේ තාවකාලික කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමා විභාගය සමත්ව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත‍්‍රපති උපාධිය හා ඉංග‍්‍රීසි විෂය පිළිබඳව ඩිප්ලෝමාවක් ද ලබාගත්තේය.

කිරිඳිගල්ලේ ධම්මරතන හාමුදුරුවන් වහන්සේ 1964 වර්ෂයේදී මහනුවර ශ්‍යාමෝපාලි මහා වංශික මහා නිකායේ මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී අධිසීල සංඛ්‍යාත උපසම්පදාව ලබාගත් අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව කුරුණෑගල පොල්ගොල්ල ශාස්ත‍්‍රරවින්ද්‍ර පරිවෙණස්ථානයේ ගුරුවරයකු ලෙස ද සේවය කළහ.

1969 මාරතුගොඩ විහාරස්ථානය මුල්කොට එවකට විහාරාධිපතිව වැඩ විසූ මාරතුගොඩ ශ‍්‍රී ධම්මානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ‘‘විදුමිණ” නමින් පිරිවෙනක් ආරම්භ කළ අතර අද එය මධ්‍යම පළාතේ විද්‍යායතන පිරිවෙනක් ලෙස ද ලක්දිව සුපතළ විද්‍යාස්ථානයක් බවට ද පත්ව ඇති බව නොරහසකි. පිරිවෙන ආරම්භයේ පටන් මෙම විද්‍යස්ථානයෙන් කලා, වාණිජ හා විද්‍යා විෂයධාරාවන්හී උසස් අධ්‍යාපනය ලබන ගිහි පැවිදි ශිෂ්‍ය පිරිස දහස් ගණනකි. සෑම වසරකම විශ්ව විද්‍යාල සුදුසුකම් ලබා උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාලවලට පිවිසෙන ශිෂ්‍ය ප‍්‍රමාණය සිය ගණනකි.

අප නායක හාමුදුරුවන් වහන්සේ මේ වන විට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 20 නමකට වැඩිය සම්බුද්ධ ශාසනයට දායාද කළහ. ඉන් වැඩිමනක්ම උගත් උපාධිධාරී භික්ෂූන් වහන්සේලා වන අතර කිහිප නමක්ම යුරෝපීය ධර්ම දූත සේවාවට ද යොමුකොට ඇති අතර උන්වහන්සේලා ද සිය කාර්යභාරය මැනවින් ඉටු කරති.

පරණගම සුමනරතන හිමියන් විසින් ස්වීඩනයේ ආරම්භ කරන ලද ස්ටොක්හෝම් බෞද්ධ විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපතිත්වය දරන්නේ ද ගරු කටයුතු අප නායක හාමුදුරුවන් වහන්සේය. නායක හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි නොර්වේ ඔස්ලෝ නුවර හා ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර ශ‍්‍රී ලංකා විහාරය ද ආරම්භකොට යුරෝපයේ ධර්මදූත සේවාව ව්‍යාප්ත කළහ. වර්තමානයේ ගරු නායක හාමුදුරුවන් වහන්සේගේ ශිෂ්‍යයන් ලෙස ඩෙන්මාර්ක්හි කෝපන්හේගන් නුවර ශ‍්‍රී ලංකා විහාරාධිපති ලෙස ශාස්ත‍්‍රපති මාරතුගොඩ උපරතන හිමියන් ද ඔස්ලෝ නුවර ශ‍්‍රී ලංකාරාමාධිපති ශාස්ත‍්‍රවේදී මාරතුගොඩ මණිරතන හිමියන් ද කටයුතු කරති.

අතිගරු අප නායක හාමුදුරුවන් වහන්සේගේ දෙස් විදෙස්හි ජාතික, ආගමික, ශාස්ත‍්‍රීය සේවාවන් ඇගයීමට ලක් කරමින් 2007 වර්ෂයේදී ශ්‍යාමෝපාලි මහා වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිගරු මහා නායක ස්වාමින්ද්‍ර වරප‍්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් ස්කැන්ඩිනේවියානු හා නෝර්වේජියානු රටවල ප‍්‍රධාන සංඝ නායක පදවියෙන් ද පුදනු ලැබූහ. අසූ වියට පා තබන සීලෝවෘධ, ගුණෝවෘධ, තපෝවෘධ අතිගරු අප නායක හාමුදුරුවන් වහන්සේට ආශීර්වාද පතා මෙම මස 17 වැනි දින සවස යුරෝපා භික්ෂු සංගමය මඟින් ‘දදප තාක්ෂණය ඔස්සේ ආශිර්වාද පූජාවක් ද ඇමෙරිකාවේ වෙස්ට් වර්ජිනියා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති අතිගරු ආචාර්ය හේනේපොල ශ‍්‍රී ගුණරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ දේශනයක් ද වේ. මාරතුගොඩ විදුමිණ පිරිවෙන් විහාරස්ථානයේ ද නායක හාමුදුරුවන් වහන්සේට ආශිර්වාද පතා ආශීර්වාදාත්මක පිංකම් මාලාවක් පැවැත්වේ. තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් නායක හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය, චිර ජීවනය සැලසේවායි ප‍්‍රාර්ථනය කරමු.

බර්ලින් සම්බෝධි විහාරාධිපති,
දොරණෑගොඩ සදානන්ද පිරිවෙන්, රජමහා විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ‍්‍රී
භාෂාන්තර විශාරද ආචාර්ය රඹුක්වැල්ලේ ශ‍්‍රී බුද්ධරක්ෂිත දේවානන්ද නායක ස්ථවිර
(බී. ඒ. ගෞ, එම්. ඒ., පී. එච්. ඞී.- ජර්මන්)
ජර්මනියේ සමථ බලසම්පන්න ප‍්‍රධාන සංඝ නායක.

advertistmentadvertistment
advertistmentadvertistment