යුරෝ පාපන්දු කුසලාන අවසන් අටේ සටන අද ඇරැඹේ

165

යුරෝ 2020 පාපන්දු කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග ස්විට්සර්ලන්තය සහ ස්පාඤ්ඤය අතර අද (02 වැනිදා) පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ.
 
 රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් හි ක්‍රෙස්ටොව්ස්කි ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකා වේලාවෙන් අද රාත‍්‍රි 9.30 ස්විට්සර්ලන්ත සහ ස්පාඤ්ඤය අතර තරගය ආරම්භ වේ.
 
 අර්ධ අවසන් පූර්ව වටයේ තරග සඳහා සුදුසුකම් ලැබූ අනෙක් කණ්ඩායම් 6 වන්නේ බෙල්ජියම, ඉතාලිය, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, යුක්රේනය සහ එංගලන්තය යි.
 
 කණ්ඩායම් 32 ක් සමගින් ආරම්භ වූ යුරෝ 2020 පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටය පසුගිය 29 වැනිදා නිමාවූ අතර ඒ අතරින් අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගැනිණි.
 
 ස්විට්සර්ලන්තය සහ ස්පාඤ්ඤය යුරෝ කුසලාන තරගාවලියක ප‍්‍රතිවාදීන් ලෙස තරග වදින පළමු අවස්ථාව මෙයවන අතර මීට පෙර ඔවුන් ප‍්‍රධාන තරගාවලිවලදී හමුවූ අවස්ථාවන් 22කදී ස්පාඤ්ඤය තරග 16ක් ජයගෙන ඇති අතර තරග 5ක් ජය පරාජයෙන් තොරව අවසන්වී ඇත. එහෙත් දෙරට ප‍්‍රධාන තරගාවලියක අවසන් වශයෙන් මුණගැසුණු 2010 ලෝක කුසලාන තරගාවලියේ තරගයේදී ස්විට්සර්ලන්තය ජය ගෙන ඇත.
 
 අර්ධ අවසන් පූර්ව තරගවල දෙවැනි තරගය ලෙස බෙල්ජියම සහ ඉතාලිය ජර්මනියේ ඒලියන්ස් එරිනා ක‍්‍රීඩාංගණයේදී හෙට (03 වැනිදා) අලූයම 00.30 ට තරග වදී.
 
 ඉතාලිය සහ බෙල්ජියම ප‍්‍රධාන පෙළේ පාපන්දු තරගාවලියන්හි මුණගැසුණු අවස්ථා හතරෙන් කිසිදු අවස්ථාවක ඉතාලිය පරාජයට පත්වී නැති අතර තරග 3ක් ඔවුන් ජයගෙන එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන්වී ඇත.
 
 චෙක් ජනරජය සහ ඩෙන්මාර්කය අතර අර්ධ අවසන් පූර්ව තරගය හෙට (03 වැනිදා) ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 9.30 ට පැවැත්වේ.
 
 මීට පෙර 2004 වසරේ පැවැති යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේදී ද අර්ධ අවසන් පූර්ව තරගයකදී චෙක් ජනරජය සහ ඩෙන්මාර්කය මුණ ගැසී ඇති අතර චෙක් ජනරජය එහිදී ජයග‍්‍රහණය කර ඇත. එමෙන්ම ඔවුන් 2000 වසරේදී ද යුරෝ තරගාවලියේ මුණ ගැසී ඇති අතර එහිදී ද චෙක් ජනරජය ජයග‍්‍රහණය වාර්තාකර ඇත. අසර්බයිජානයේ බකු ඔලිම්පික් ක‍්‍රීඩාංගණයේදී තරගය පැවැත්වේ.
 
 අර්ධ අවසන් පූර්ව තරග සඳහා අවසන් වශයෙන් සුදුසුකම් ලැබූ යුක්රේනය සහ එංගලන්තය අතර තරගය අනිද්දා (04 වැනිදා) ශ‍්‍රී ලංකා වේලාවෙන් අලූයම 00.30 ට පැවැත්වේ. යුක්රේනයත් එංගලන්තයත් මීට පෙර මුණගැසුණු අවස්ථා 7 න් එංගලන්තය පරාජය වී ඇත්තේ 2009 වසරේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී පමණි. අනෙක් අවස්ථා 04ම එංගලන්තය ජයග‍්‍රහණය වාර්තාකර ඇති අතර තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. මෙම තරගය ඉතාලියේ රෝමයේ ස්ටේඩියෝ ඔලිම්පිකෝහිදී පැවැත්වේ.
 
 තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන 07 වැනිදා සහ 08 වැනිදා පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment