යූරියා මිලදී ගැනීමෙන් ඩොලර් මිලියන 22 ක පාඩුවක්!

329

ඉන්දියානු ණය ආධාර යටතේ හදිසි මිලදී ගැනීමක් ලෙස මෙරටට ආනයනය කරනු ලබන යූරියා මෙට්‍රික් ටොන් හැටපන්දහසක ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 22කට වැඩි පාඩුවක් රටට සිදුවන බව වාර්තා වෙයි.

ලෝකයේ ඉහළම ප්‍රමිතිය ඇති යූරියා මෙට්‍රික් ටොන් එකක් විවෘත වෙළෙඳ පොළෙන් ඩොලර් 500කටත් වඩා අඩු මුදලකට ලබා ගැනීමට හැකියාව තිබිය දී මෙසේ ශ්‍රී ලංකාවට ගෙන්වීම සිදුකරන්නේ බයියුරේට් ප්‍රතිශතය 1.5 ක් සහිත අඩු ප්‍රමිතියකින් යුත් යූරියා මෙටි්‍රක් ටොන් එකක් ඩොලර් 846 ක් වැනි මිලකට ය.

ඒ අනුව ටොන් එකකින් ඩොලර් 346ක පමණ මුදලක් අවභාවිත වන බවත්, කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ තවත් සමාගම් දෙකක් මෙම ගනුදෙනුව පිටුපස සිටින බවත්, මෙම ඩොලර් මිලියන 22 ක මුදලට සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලිව රටට කිව යුතු බවත් ගොවි සංගම් නියෝජිතයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

කෝප් කමිටුව විසින් මෙම ගනුදෙනුව පිළිබඳව වහා සොයා බැලිය යුතු බව ද සඳහන් කරන එම නියෝජිතයා වැඩිදුරටත් කියා සිටියේ මෙම ගනුදෙනුවට අදාළ තීන්දුව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කණ්ඩායමක් විසින් පසුගිය ජුනි මස පසළොස්වක පොහෝ නිවාඩු දින පෙරවරු 8.30 ට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිල කාර්යාලයේදී ඉතා රහසිගතව කරන ලද සාකච්ඡාවක් පරිදි ගෙන ඇති බවයි.

මේ අතර ඉකුත් 8 වැනිදා දහවල් හදිසියේ රැස්වූ කොමර්ෂල් පොහොර සමාගමේ පාලනාධිකාරිය සහ අදාළ රාජ්‍ය නිලධාරීන් ඉන්දියාවෙන් මෙසේ ආනයනය කරන යූරිය පොහොර ටොන් එකකට ගෙවන ලබන මුදල ඇමෙරිකානු ඩොලර් 608 ක් දක්වා අඩුකිරීමට තීරණය කර ඇති බවට දැනගන්නට ලැබිණි.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment