යූ ටියුබ් සාකච්ඡාවකදී උසාවියට අපහාස කළ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න වසර 4 ක් හිරේ

437

යූ ටියුබ් නාලිකාවක් සමඟ සිදු කළ සාකච්ඡාවකදී අධිකරණය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ මගින් අධිකරණයට අපහාස කළ විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24 දා) නියෝග කළේය. එම සිර දඬුවමට අමතරව එම වගඋත්තරකරුට රුපියක් ලක්ෂ 3 ක දඩයක් ද නියම කළ විනිසුරු මඬුල්ල එම දඩය නොගෙවන්නේ නම් මාස හයක අමතර සිර දඬුවම් ලබාදීමට ද නියෝග කළේය.

නීතිඥවරයකු වන වගඋත්තරකරුට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එකී විනය පියවරට අදාළ චෝදනා පත්‍රය සකස් කර තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේය.

2020 ජනවාරි 19 වැනිදා මාධ්‍ය හමුවේදී සිදු කළ ප්‍රකාශය සුළුකොට තැකිය නොහැකි බවත් වගඋත්තරකරු එමගින් මින් පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන නඩුව සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ලබාදී තිබූ තීන්දුවක් ආපසු හැරවීමට යම් බලපෑමක් සිදුකර ඇති බවක් පෙනී යන්නේ යැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේය.

එම නඩුවේ තීන්දුව ඊයේ (24 දා) පෙරවරු 10.30 ට පමණ විවෘත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරු විවෘත අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට විනිසුරු මඬුල්ල විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට දන්වා සිටියේය. ඉන් විනාඩි කිහිපයකට පසුව නීතිඥ අජිත් ප්‍රසන්න මහතා විවෘත අධිකරණය හමුවේ පෙනී සිටි අතර විනිසුරු මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රීිති පද්මන් සූරසේන මහතා, අධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය. එකී තින්දුවට සාමාජික විනිසුරු එස්. තුරෙයිරාජා මහතා ද එකඟත්වය පළ කළේය. අනෙක් සාමාජික විනිසුරුවරයා ලෙස කටයුතු කළ ගාමිණී අමරසේකර මහතා වෙන්ව කෙටි තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

සභාපති විනිසුරුවරයා ඇතුළු සහෝදර විනිසුරුවරුන් නිකුත් කළ එකී තීන්දුවේ සඳහන්, වසර 4 ක් වන සිර දඬුවම් කාලය වසර දෙකහමාරක් ලෙසින් වෙනස් විය යුතු බව සිය මතය බව විනිසුරු ගාමිණී අමරසේකර මහතා විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. නීතිඥවරයකු වන වගඋත්තරකරුගේ නීතිඥභාවය සලකා වසර හතරක සිරදඬුවම් කාලය ලිහිල් කළ යුතු යැයි යන මතයේ තමා සිටියත් මුල් තීන්දුවේ සඳහන් අනෙකුත් සියලු කරුණුවලට තමන් ද එකඟ වන බව, විනිසුරු ගාමිණී අමරසේකර මහතා පෙන්වා දුන්නේය.

පෙරකී මාධ්‍ය සාකච්ඡාවේදී වගඋත්තරකාර නීතිඥවරයා කර ඇති ප්‍රකාශය මගින් රටේ මූලික පදනම වන නීතියට හා එකී නීතිය ක්‍රියාත්මක කරන විනිසුරුවරුන් සමාජයේ දැඩි විවේචනයට බඳුන් කිරීමට උත්සාහ දරා ඇති බවත් නීතිය පිළිබඳ අවබෝධයක් ඇති නීතිඥවරයකු එලෙස කිරීම ඉතාම නුසුදුසු ක්‍රියාවක් මෙන්ම ඉතා බරපතළ වරදක් බවත් සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන මහතා තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පෙන්වා දුන්නේය.

සිය සේවාදායකයා වන උගඋත්තරකරු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති එකී ප්‍රකාශය සමාජය පිළිනොගන්නා කරුණක් වන බැවින් ඒ පිළිබඳ සලකා ඔහු මුදාහැරීමට නියෝගයක් කරනා ලෙස වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි උගත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබූ නමුත් එය වගඋත්තරකරු හිටි හැටියේ සිදු කළ ප්‍රකාශයක් නොව සැලසුම් සහගතව සිදුකළ ප්‍රකාශයක් බව පෙනී යන්නේ යැයි ද සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ විත්තිකරුවකු වන ආර්. දුමින්ද සිල්වා එක් දිනක් හිරේ සිටින්නේ නම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය, විනිසුරුවරුන් හා නීතිපතිවරයා දින දෙකක් හිර ගෙදර සිටිය යුතු බවට කර ඇති ප්‍රකාශය අධිකරණයට කළ දැඩි අපහාසයක් වන බැවින් නීතිය අනුව ඔහුට ලබාදිය හැකි උපරිම දඬුවම් ලබා දෙන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එකී ප්‍රකාශයට එරෙහිව අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමය විසින්, අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබූ අතර එම පැමිණිල්ල පදනම් කරගෙන අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක, ඡායාරූපය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment