යොවුන් ෂෙවෝන්ගේ නායකත්වයෙන් 15ක කණ්ඩායමක් අද අබුඩාබි වෙත

336

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ අද (15 වැනිදා) පිටත්ව යෑමට නියමිතය.

මාර්තු 20 වැනිදා ආරම්භ වන මෙම තුන්කොන් තරගාවලිය ලබන 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනු ඇත. ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තුන්කොන් තරගාවලියේ තරග කීපයක් දිවා/රාත්‍රී ලෙසින් පැවැත්වෙන අතර අවසන් මහා තරගය මාර්තු 30 වැනිදා ටොලරන්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමග තරග 2 කටත් ඇෆ්ගනිස්තානය සමග තරග 2 කටත් වශයෙන් සමස්ත තරග 4 කට සහභාගිවනු ඇත. එහිදී පළමු තරගය මාර්තු 20 වැනිදා බංග්ලාදේශ පිලට එරෙහිව සයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහභාගි වේ. මාර්තු 22, 26 සහ 28 පැවත්වෙන තරග 3 ම ටොලරන්ස් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඇෆ්ගනිස්තාන යොවුන් කණ්ඩායම සමඟ එක්දින තරග දෙකකට ද සහභාගිවීමට නියමිත අතර එම තරග දෙක අප්‍රේල් මස 01 වැනිදා සහ දෙවැනිදා ටොලරන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එම තරග දෙක ද දිවා/රාත්‍රී තරග ලෙසින් පැවැත්වේ.

අබුඩාබි බලා යන 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ නායකයා ලෙස ශාන්ත ජෝෂප් විදුහලේ ෂෙවෝන් ඩැනියෙල් නම් කර තිබේ.

ෂෙවෝන් ඩැනියෙල්, මීට පෙර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර දේශීය තරග මාලාව යටතේ කොළඹ එස්. එස්. සී. කණ්ඩායම මෙන්ම නිමාවට පත් වුණු එල්.පී.එල්. තරගාවලියේදී දඹුල්ල අවුරා කණ්ඩායම ද නියෝජනය කිරීමට වරම් ලැබූ ක්‍රීඩකයෙකි.

ඒ හැරුණු කොට අවසන් වතාවට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම එංගලන්තයේ කරන ලද සංචාරයට ඇතුළත්ව සිටි වමත් දඟපන්දු යවන මල්ෂ තරුපති, දකුණත් පිට දඟපන්දු යවන ට්‍රවේන් මැතිව් සහ වේගපන්දු යවන දුවිඳු රණතුංග ද නම් කරන ලද කණ්ඩායමට ඇතුළත්ව සිටිති. මේ අතරින් දුවිඳු රණතුංග හැරුණු කොට සෙසු ක්‍රීඩකයින් තිදෙනාම බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීමට වරම් ලැබූ ක්‍රීඩකයෝ වෙති.

කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් 15 දෙනාගෙන් නායක ෂෙවෝන් ඩැනියෙල්, ට්‍රවේන් මැතිව් සහ දුවිඳු රණතුංග හැරුණු කොට සෙසු ක්‍රීඩකයින් 12 දෙනාටම 2024 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට හැකි තරම් වයසින් අඩු ක්‍රීඩකයෝ වෙති.

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2024 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතය.

කණ්ඩායමට ඇතුළත්ව සිටින වේග පන්දු යවන්නන් අතර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලයේ වත්තල පාසලේ ඉගෙනුම ලබන ගරුක සංකෙත් ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලය නියෝජනය කරමින් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ක්‍රීඩකයෙක් තේරී පත්වූ පළමු අවස්ථාව ලෙසින් ද මෙය ඉතිහාස ගත වන්නේය.

ගරුක හැරුණු විට ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන වේග පන්දු යවන්නා ලෙස දුවිඳු රණතුංග කටයුතු කරන අතර මනුල කුලරත්න සහ දිනුර කලුපහන වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෝ ලෙස කණ්ඩායමට ශක්තිය ලබා දෙති.

කණ්ඩායමේ ප්‍රධාන කඩුලු රකින්නා ලෙසින් කටයුතු කරනු ලබන්නේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ හිරාන් ජයසුන්දර වන අතර ඔහුගේ සහායකයා ලෙස හිරුන් කපුරුබණ්ඩාර කටයුතු කරයි.

තුන්කොන් තරගාවලියේ කාල සටහන

මාර්තු 20 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දිවා තරගය සයිඩ් ක්‍රීඩාංගණයේදී

මාර්තු 22 – ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දිවා/රාත්‍රී තරගය ටොලරන්ස් ක්‍රීඩාංගණයේදී

මාර්තු 26 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දිවා/රාත්‍රී තරගය ටොලරන්ස් ක්‍රීඩාංගණයේදී

මාර්තු 28 – ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය දිවා/රාත්‍රී තරගය ටොලරන්ස් ක්‍රීඩාංගණයේදී

ද්වීපාර්ශ්වික එක්දින තරගාවලිය

අප්‍රේල් 01 – පළමු එක්දින තරගය (දිවා/රාත්‍රි) ටොලරන්ස් ක්‍රීඩාංගණය

අප්‍රේල් 02 – දෙවැනි එක්දින තරගය (දිවා/රාත්‍රි) ටොලරන්ස් ක්‍රීඩාංගණය

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment