යොහානිගේ මැණිකේ යූටියුබ් පරිශීලකයෝ කෝටි 10 ඉක්මවයි

269

යොහානි ද සිල්වා ගායනා කරන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ පරිශීලකයන් කෝටි 10 සීමාව පෙරේදා (11දා) පස්වරුවේ පසු කළේය.

යොහානිගේ මෙම ගීතය පසුගිය අගෝස්තු මස 23 වැනිදා පරිශීලකයන් කෝටි 5 සම්පූර්ණ කර තිබිණි.

සිංහල ගීතයකට යූටියුබ්හි මෙවැනි දැවැන්ත ප‍්‍රතිචාරයක් ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර ඇයගේ ගීත ඉන්දියාව තුළ දැඩි ජනප‍්‍රියතාවක් ලැබීම මෙවැනි යූ ටියුබ් පරිශීලකයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වීමට හේතු වී තිබේ.

ඊයේ වන විට මෙම ගීතයට ඉන්දියාවේ ඇපල් සංගීත දර්ශකයේ හොඳම ගීත සියය අතර 5 වැනි වන ස්ථානය හිමිව තිබේ. ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත පවසන්නේ ‘මැණිකේ මගේ හිතේ’ යනු ඉන්දියානු හදවත් මවිත කළ ශ‍්‍රී ලාංකික ගීතය බවයි.

බොලිවුඩයේ සුපිරි තරුවක් වන මධුරි ඩික්සිත් ‘මැණිකේ’ මෙම ගීතය සමග ආදරයෙන් බැඳී සිටින අතර, ඇය සිය ඉන්ස්ටග‍්‍රෑම් සහ වෙනත් සමාජ මාධ්‍ය වීඩියෝ පටයක් ඇතුළත් කරමින් සඳහන් කර තිබුණේ ‘මම මේ ගීතයට කැමතියි’ යනුවෙනි. මීට පෙර අමිතාබ් බච්චන් මේ ගීතයට සමග සිය පැරණි චිත‍්‍රපටයක කොටසක් ඇතුළත් කර තිබුණු අතර ඒ නිසා මේ ගීතය ඉන්දියාවේ බලවත් සේ ජනප‍්‍රියත්වයට පත් විය.

යොහානි ද සිල්වා මව්බිම කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේදී ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 57 වැනි සේනාංකයේ ප‍්‍රධානී ලෙස අනගි සේවයක් කළ මේජර් ජෙනරාල් ප‍්‍රසන්න ද සිල්වා මහතාගේ දියණිය වන්නීය. එංගලන්තයේ මෙන්ම කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ උසස් අධ්‍යාපනය ලබා සිටින ඇය ජනප‍්‍රිය ගායක දෙපළක් වන භාතිය සහ සන්තුෂ් සමඟ 2020 වසරේ ‘සිරි සඟබෝධි මාලිගාවේ’ගීතය ගායනය කිරීමත් සමගින් ජනප‍්‍රිය වූවාය.

මෙම ගීතය මිලියන සියය ඉක්මවා යෑමට සහාය දුන් සැමට සිය ස්තුතිය පුදකරන බව පවසන යොහානි ද සිල්වා, චමත් සංගීත් මෙන්ම මුල්ගායනය කළ සතීෂන් මෙන්ම පද රචනය සිදු කළ දුලාන් ඒආර් එක්ස් යන සියලූ දෙනා විශේෂයෙන් මතක් කරන බව පවසා සිටියාය.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment