යෝකර් විශේෂඥයා ටී-20 පිටියෙනුත් සමුගනී – ෆේස්බුක් ගිණුමේ සටහනක් තබයි

219

ශී‍්‍ර ලංකා සුපිරි වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර විස්සයි විස්ස කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මාලිංග ඊයේ (14 වැනිදා) මේ බව නිවේදනය කර සිටියේය.

මීට පෙර ටෙස්ට් සහ එක්දින පිටියෙන් විශ‍්‍රාම ගෙන සිටි මාලිංග විස්සයි විස්ස තරගබිමේ පමණක් කී‍්‍රඩා කරමින් සිටියේය. කෙසේ වෙතත් 2020 මාර්තු මාසයේදී පැවැති බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් පසු ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ස්ථානය අහිමි වූ මාලිංග එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියටද නම් නොකිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබිණි. එ් අනුව එම සංචිතය ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව තමාගේ සමුගැනීම ප‍්‍රකාශ කිරීමට මාලිංග පියවර ගෙන තිබිණි.

2014 වසරේදී විස්සයි විස්ස ලෝක කුසලානය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළ ලසිත් මාලිංග ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේදී පිට පිටම පන්දු හතරකදී කඩුලූ 4ක් දවා ගැනීමේ අවස්ථා දෙකක් සටහන් කළ ලොව එකම කී‍්‍රඩකයාද වේ. ලෝක කි‍්‍රකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම යෝකර් පන්දු යවන්නා වන මාලිංග ලෝක කුසලාන තරගාවලියකදී කඩුලූ ති‍්‍රත්වයන් දෙකක් දවා ගත් ලොව එකම පන්දු යවන්නා ලෙසද ඉතිහාස ගතවී සිටී. මීට අමතරව එක්දින ජාත්‍යන්තර පිටියේදී කඩුලූ ති‍්‍රත්වයන් 3ක් සටහන් කර ඇති මාලිංග ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේදී කඩුලූ ති‍්‍රත්වයන් 5ක් සටහන් කිරීමට සමත්වී ඇති ලොව එකම පන්දු යවන්නා ලෙසද මාලිංග වාර්තා පොතට එක්වී සිටී.

38 හැවිරිදි වියේ පසුවන මාලිංග ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් තරග 84කදී කඩුලූ 107ක් දවා ගැනීමට සමත්වී තිබේ. මීට අමතරව ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී කඩුලූ 170ක් දවා ගෙන ඇති මාලිංග එම තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලූ ලාභියාද වේ.

සිය සමුගැනීමේ ප‍්‍රකාශ සටහන් කරමින් ‘වසර 17ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට කි‍්‍රකට් පිටිය තුළ අවශ්‍ය වෙන එක්ක නැහැ. මගේ කි‍්‍රකට් දිවිය තුළ ඉතිරිවුණ අවසන් පුරුක ටී20 කි‍්‍රකට්වලටත් සමුදීමට මම අද තීරණය කළා’ යනුවෙන් මාලිංග පවසා තිබිණි.

කසුන් රණවීර


 

advertistmentadvertistment
advertistmentadvertistment