යෝගාවචර සිත් සමාධිගතකර  විදසුන් වඩා දුක දුරලන්නට…… – අමා දම් සුව  ලොවට බෙදන  පිංබිම

363

අනේ මහත්තයෝ මේ සිත හරියට කුළුහරකෙක් වගේනේ, තව ටිකක් දරාගෙන භාවනා කරන්න, එවිට හරියයි කියා මා  දිරිගැන්නුවා. මේ විදිහට දරාගෙන විපස්සනා භාවනාව වැඩීමෙන් පුදුම කායික, මානසික සුවයක් මා අත්දැක්කා. මාගේ ජීවිතේ වෙනත් මාවතකට යොමුවන්නේ ලද අධ්‍යාත්මික පරිවර්තනය නිසාමයි.

යෝගාවචර සිත් සමාධිගතකර  විදසුන් වඩා දුක දුරලන්නට...... - අමා දම් සුව  ලොවට බෙදන  පිංබිම

භාවනාව යන වචනය ඇසෙත්ම අපට සිහියට එන්නේ එක්තැනක හුදෙකලාව බද්ධපර්‍යංකයෙ හිඳිනා යෝගාවචරයෙකි. ‘භාවනා’ යන වචනය අටුවාවල විග්‍රහයට ලක්වී ඇත්තේ ‘භාවෙති කුසලධම්මේ වඩ්ඪෙතීති භාවනා’ යනුවෙනි. මෙයින් ‘භාවනා’ යන වචනය ‘වර්ධනය කිරීම’ ‘දියුණු කිරීම’ යන අර්ථයෙන් යෙදී ඇති බව පැහැදිලිය. කුසල ධර්මයන් වර්ධනය කරන්නේ ය යන අර්ථයෙන් ‘භාවනා’ යන වචනය යෙදෙන බව ඉහත පාඨයෙන් කියැවේ. කුශලධර්ම යනු සිත, කය, වචන යන තුන්දොරින් ම සිදුකෙරෙන යහපත් ක්‍රියාවන් ය. මනෝ මූලිකව ගත්කල රාග, ද්වේෂ, මෝහ යන අකුසල මුල් තුනට ප්‍රතිපක්‍ෂ අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල මූලයන් ක්‍රියා පදනම් කොට සිතින්, කයින් හා වචනයෙන් කෙරෙන යහපත් ක්‍රියා කුශල යනුවෙන් හැඳින්විය හැකිය. මේ මෙසේ නමුදු ‘භාවනා’ යන වචනය ආධ්‍යාත්මික ගුණාංග වර්ධනය කිරීම යන විශේෂිත අර්ථයෙන් ද යෙදී ඇත. උදාහරණය වශයෙන් සබ්බාසව සූත්‍රයේදී ‘භාවනා’ යන වචනය යෙදෙන්නේ සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා යන ආධ්‍යාත්මික ගුණාංග (සප්ත බොජ්ඣංග) සංවර්ධනය කිරීම යන අර්ථයෙනි. ප්‍රඥාවද වර්ධනය කළ යුත්තක් වශයෙන් සූත්‍ර දේශනාවල සඳහන් වේ. ‘භාවනා’ යන වචනයටම සම්බන්ධ ‘භාවිත’ යන වචනය ‘පුරුදු පුහුණු කරන ලද’ යන අර්ථයෙන් ද යෙදී තිබේ. මේ අනුව ‘භාවනා’ යන වචනය අර්ථ කිහිපයක යෙදී ඇති බව ප්‍රකාශ කළ හැකිය.

යෝගාවචර සිත් සමාධිගතකර  විදසුන් වඩා දුක දුරලන්නට...... - අමා දම් සුව  ලොවට බෙදන  පිංබිම

දිවයින පුරා විසිරී සිටින ලක්වැසි ජනතාවගේ සිත් සතන් භාවනාව තුළින් අධ්‍යාත්මික ගුණ ධර්ම වර්ධනය කිරීමේ අරමුණ ඇතිව දෙකටන, හැලුම්මහර, අලිකෑහේන පාරේ රමණීය දැකුම් කලු කඳු ගැටයක ස්ථාපනය කළ “බවුන්සෙත් මානසික සුව සෙවන” ආගමික, ශාසනික හා සමාජීය සේවාවන් රැසක් සිදු කරන භාවනා මධ්‍යස්ථානයකි.

යෝගාවචර සිත් සමාධිගතකර  විදසුන් වඩා දුක දුරලන්නට...... - අමා දම් සුව  ලොවට බෙදන  පිංබිම

සියනෑ කෝරළයේ කඩුවෙල-බැලුම්මහර නව නුවර මාර්ගයේ  දෙල්ගොඩ නගරයෙන් හැරී දොම්පේ දෙසට ගමන් කරන විට හමුවන මූකලාන හන්දියෙන් ද හැරී කෑරගල-හේනේගම මාර්ගයේ කිලෝ මීටර් දෙකක් පමණ දුරක් ගෙවා පැමිණෙන විට නිහඬ පරිසරයක පිහිටා තිබෙන බවුන්සෙත් මානසික සුව සෙවන මේ වන විට දෙස් විදෙස් ප්‍රසිද්ධියට පත් භාවනා මධ්‍යස්ථානයක් බවට පත් වී ඇත.

යෝගාවචර සිත් සමාධිගතකර  විදසුන් වඩා දුක දුරලන්නට...... - අමා දම් සුව  ලොවට බෙදන  පිංබිම


මීට වසර කිහිපයකට ඉහත කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිකාරී ත්‍රිපිටකාචාර්ය, ශාස්ත්‍රපති, කම්මට්ඨානාචාර්ය, ධර්මශාස්ත්‍ර විශාරද විචිත්‍රභාණි දියසෙන්පුර විමල නාහිමියන් තමන් ලැබූ භාවනා සුවය තව බොහෝ දෙනෙකුට තම ජීවිතය තුළින් අත් දකින්නට සුදුසු පරිසරයක් තෝරා ගෙන විපස්සනා භාවනා මධ්‍යස්ථානයක් ගොඩනගා සම්බුදු සසුනට පූජා කිරීමට මහත් පරිශ්‍රමයක් දරණු ලැබූහ. මේ උතුම් කාර්ය කිරීම සඳහා විමල නාහිමියන්ට නිසි භූමි කීපයක්ම ලැබුණද ඒවායේ තිබූ විවිධ ගැටළු නිසා උන්වහන්සේ එම ඉඩම් තෝරා ගැනීම සිදු නොකළ අතර සිය වෑයම අත්නොහැරීමට තීරණය කළහ.

යෝගාවචර සිත් සමාධිගතකර  විදසුන් වඩා දුක දුරලන්නට...... - අමා දම් සුව  ලොවට බෙදන  පිංබිම
දියසෙන්පුර විමල නාහිමි

මේ අතරතුර දියසෙන්පුර විමල නාහිමියන් විසින් ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් විශාල පිරිසකට භාවනා පුහුණු පාඨමාලාවන් එක් දින හා දස දින ලෙස කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක කළහ.

 මේ කාලයේදී දියසෙන්පුර විමල නාහිමියන්ට ධර්ම දේශනා සඳහා විවිධ ප්‍රදේශවලට වැඩම කිරීමටද බැතිමතුන්ගෙන් ආරධනා ලැබෙන්නට පටන් ගත්හ. ඒ අවස්ථාවේ සැදෑවත් පින්වතෙකු විසින් උන්වහන්සේට ධර්ම දේශනා සඳහා වැඩම කිරීමට නවීන මෝටර් රථයක් පූජා කළහ. උන්වහන්සේ එම මෝටර් රථය ඉතා කෙටි කාලක් පරිහරණය කොට අලෙවි කර වත්මන් බවුන්සෙත් මානසික සුව සෙවන පිහිටා තිබෙන රමණීය දැකුම් කලු භූමි භාගය මිලදී ගත්හ.

 “සසරට ඉම නිවනයයි-නිවනට මග දහමයි” යන වචනාර්ථය සපත කරමින් බුදු සසුනේ අභිවෘද්ධිය පිණිස සතිපට්ඨානය වඩවා සත් චේතනාවෙන් 2014 ජූලි මස 26 වන දින බවුන්සෙත් මානසික සුව සෙවන සඳහා මුල්ගල් තැබිණි. මහා සඟරුවන ප්‍රධාන සම්භාවනීය පින්වත් පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම්භ කළ බවුන්සෙත් මානසික සුව සෙවන ශාසනයට දායාද කිරීමේ උතුම් ව්‍යායාමය පියවරෙන් පියවර සැදැහැවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් හා රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් යුතුව පියවරෙන් පියවර ගොඩ නැගුණි. මෙහිදී හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා මැදිහත්වී රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වය ලබා දීමට කටයුතු කෙළේය.

යෝගාවචර සිත් සමාධිගතකර  විදසුන් වඩා දුක දුරලන්නට...... - අමා දම් සුව  ලොවට බෙදන  පිංබිම

බවුන්සෙත් පළමු අදියරේදී අරමුදල සඳහා ව්‍යාපාරික සුගත් තෙන්නකෝන් මහතා සිය ධන පරිත්‍යාග සිදු කළ අතර වාස්තු විද්‍යාත්මකව ස්වභාවික පරිසරයට අනුකූලව නිර්මාණකරණය ඉතාමත්ම විශිෂ්ට ලෙස සිදු කරනු ලබන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපේන්ද්‍ර රාජපක්ෂ හා ආචාර්ය ඉන්දිකා රාජපක්ෂ යන දෙපල විසිනි.

 සිත් සුව දනවන බවුන්සෙත් මානසික සුව සෙවනට ශ්‍රී ගෞතම ශාක්‍යමුණි සෑරදුන් සම්බුදු සසුනට දායාද කිරීමේ අසිරිමත් පින්කමේ දායකත්වය ගෙන කටයුතු කළේ රණාල ගාමිණී කන්ස්ට්‍රක්ෂන් සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමන්ගේ පුතණුවන් වූ සිවිල් ඉංජිනේරු වයි.ඒ.එච්. ගිහාන් පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම විසින් වන අතර එහි සම්බුදු කුටිය එවකට රේගු අධ්‍යක්ෂ ජෙනරාල් චූලානන්ද පෙරේරා මහතා විසින් තනා පූජා කරනු ලැබීය.

 “සිත දමනය කිරීම යහපත් – දමනය කළ සිත සැප ගෙනදෙයි. සම්බුදු වදන සැබවින්ම සත්‍යයක් යන්න මා හට මා තුළින්ම අත්දකින්න ලැබුණේ මීට වසර පහළොවකට පෙර කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මා හට දින කිහිපයක්ම නේවාසිකව ප්‍රායෝගික සතිපට්ඨාන භාවනාව තරමක්දුරට ප්‍රගුණ කිරීමට ලැබුණු අවස්ථාවේදීය. මා හට කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයට පැමිණ භාවනා කිරීමට නිවැරදි භාවනා කර්මස්ථාන දුන්නේ අතිපූජ්‍ය මඩවල උපාලි නායක මාහිමියන් වහන්සේය. මා පර්යංක භාවනාවේදී වේදනාකාරී බව ඉවසීම දුෂ්කර බවත්, සිත එකඟ කිරීම අපහසු බවත් පැවසූ විට පින්වත් නායක ස්වාමීන්වහන්සේ, අනේ මහත්තයෝ මේ සිත හරියට කුළුහරකෙක් වගේනේ, තව ටිකක් දරාගෙන භාවනා කරන්න, එවිට හරියයි කියා මා දිරිගැන්නුවා. මේ විදිහට දරාගෙන විපස්සනා භාවනාව වැඩීමෙන් පුදුම කායික, මානසික සුවයක් මා අත්දකින ලදී. මාගේ ජීවිතේ වෙනත් මාවතකට යොමුවන්නේ ලද අධ්‍යාත්මික පරිවර්තනය නිසාමයි. එතැන් පටන් වත්මන දක්වාම මා හැකි වේලාවන්වලදී කඳුබොඩෙ භාවනා මධ්‍යස්ථානයට භාවනා කිරීමට පැමිණෙන අතර දෛනික ජීවිතේ එය පුහුණු කිරීමට මා උත්සාහ දරනවා.

 මේ කාලයේදී කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ පිරිමි යෝගි කුටි භාරව වැඩ සිටියේ මා හිතාදර කර්මස්ථානාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමීන්වහන්සේය. එදා සිට අද දක්වාම මිත්‍රත්වයෙන් ආශ්‍රය කරනවා. මේ වනවිට කළ්‍යාණ මිත්‍රත්වය ඉතා ප්‍රබල ආකාරයට පත්ව ඇති අතර මාත් ,විමල හිමිපාණන් වහන්සේත් මීට වසරක සිට අපේක්‍ෂා කළ දෙයක් තමා අප විසින් ලැබූ භාවනා සුවය තව බොහෝ දෙනකුට තම ජීවිත තුළින් අත්දකින්නට සුදුසු පරිසරයක් තෝරාගෙන විපස්සනා භාවනා මධ්‍යස්ථානයක් ගොඩනඟා සම්බුදු සසුනට පූජා කිරීම.” රේගු අධ්‍යක්‍ෂ ජනරාල්ව සිටි චූලානන්ද පෙරේරා මහතා මේ පිංබිම බිහිවීම ගැන තම මතකය එලෙස වරෙක ආවර්ජනය කළේය.

 ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ අංකුරයක් වැඩම කරවා රෝපණය කිරීමට වෛද්‍ය ශානිකා විජයගුණසේකර මහත්මියගේ පුර්ණ සහාය ලැබුණාය. ප්‍රධාන අනුශාසක කුටිය විශාල ධනයක් පරිත්‍යාග කොට ඕස්ටේ්‍රලියාවේ පදිංචි ශ්‍රී ලාංකික නාවික කපිතාන් අසංක රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සැම තනා දුන්හ. ප්‍රධාන භාවනා ශාලාව සඳහා ව්‍යාපාරික මනෝජ් එදිරිසූරිය මහතා හා සජානි එදිරිසූරිය මහත්මිය ඇතුළු පිරිසකගේ දායකත්වය ලැබිණි. සුව සෙවනේ අභිනවයෙන් ඉදි කළ “දරණාගම කුසලධම්ම නාහිමි බවුන් කුටි මඬල” දෙස් විදෙස් බැතිමතුන්ට භාවනා කිරීම සඳහා පහසුකම් සලසා ඇත.

 මේ පිළිබඳව බවුන්සෙත් මානසික සුව සෙවනේ නිර්මාතෘ මධ්‍යස්ථානාධිපති හා ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය, ශාස්ත්‍රපති, කම්මට්ඨානාචාර්ය හා ධර්මශාස්ත්‍ර විශාරද විචිත්‍රභාණි දියසෙන්පුර විමල නාහිමියෝ අදහස් දක්වමින් මෙසේ පැවසූහ.

 “මේ රටේ කුරිරු යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවන් 100ක් මුලින්ම තෝරා ගෙන ඔවුන්ට එක් දින හා සත් දින ප්‍රායෝගික අධ්‍යත්මික පුහුණු වැඩමුළුවක් පැවැත්වුවා. එය පැවැත්වුයේ කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදීයි. එහිදී එම රණවිරුවන් එදා වැටී සිටි මානසික තත්ත්වය අපට අවබෝධ කර ගන්නට හැකි වුණා. ඒ අනුව ඔවුන් එම මානසිකත්වයෙන් මුදවා ගන්නට අපට හැකි වුණා.මේ වැඩමුළුවෙන් පසුව එම රණවිරුවන් ඔවුන්ගේ පවුලේ තත්ත්වය ගැන ස්වයං විවේචනයක් කළා. ඔවුන්ගේ මානසික ආතතිය දින 05ක් ගතවන විට අපට වෙනස් කිරීමට මග පැහැදුණා.

 අදටත් මිනිස්සුන් මානසික වශයෙන් අසරණ වී ඉන්නේ. ඔවුන්ට තනියෙන් විසඳා ගැනීමට බොහෝ දේ තියෙනවා. ඒ අනුව ඇවිස්සෙන මිනිස් සමාජය නිවැරදි මගට ගෙන ඒමට බුදුදහම යොදා ගන්නට පුලුවන්. මානසික බලය, පිරිස් බලය හා ආර්ථික බලය යනාදිය මනාවූ සිහියෙන් යුතුව සතිමත්භාවය තුළින් වෙනස් කළ හැකි වෙනවා.ඒකයි මා මෙවැනි පරිසරයක් තෝරා ගෙන බවුන්සෙත් මානසික සුව සෙවන ආරම්භ කළේ. මෙහි එකවර 45 දෙනෙකුට භාවනා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. මා මේ කාර්ය භාරය සිදු කරන්නේ මුදල් උපයා ගැනීමට නෙමෙයි.

 මා 2021 වසරේදී ලක්විරු මානසික සුවතා පුහුණු පාඨමාලාව ආරම්භ කළා. එය කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගෙනයි. එවකට යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ නායකත්වයෙන් පටන් ගත්තා. වසර ගණනාවක්ම රණවිරුවන් සම්බන්ධ කර ගෙන එම පුහුණු පාඨමාලාව පවත්වා ගෙන යනවා. මෙහි මේ වනවිට රණවිරුවන් දසදහසකට අධික පිරිසක් පුහුණු කළා. 2014 වසරේදී අධ්‍යත්මික සුවතාවය දිර්ඝ කාලීනව පවත්වා ගෙන යෑම සඳහා මේ බවුන්සෙත් මානසික සුව සෙවන ආරම්භ කළා.

 කඳුබොඩ විපස්සනා ජාත්‍යන්තර හිටපු බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිතුල්ඇල්ල, රත්මල්කන්ද ආරණ්‍යය, හලාවත මුගුණවටවන වනරතන ආරණ්‍යය යන සේනාසනයන්හි ප්‍රධාන අනුශාසක කර්මස්ථානාචාර්ය අතිපූජ්‍ය මඩවල උපාලි මාහිමියන්, විමල හිමිපාණන්ගේ ආචාර්ය සමිඳුන්ය. උන්වහන්සේ පිළිබඳව අප හිමිපාණන් තැබූ සටහනකින් බිඳකි මේ.

 “ජීවිතය වනාහි සොඳුරු නවාතැනකි. අපි එහි නවාතැන් ගත්තෝ වෙමු.” නවාතැන සොඳුරු වුවද එහි සැරිසැරීම ගොඩනංවාලූහ. මාගේ පොහොසත්කම, මාගේ බුද්ධියෙන්ම විමසා බලා සාමාන්‍යයකු නොවී විශිෂ්ටයකු බවට පත් කරන්නට ඉඩ සැලසූ ධර්මය නමැති මනස්කාන්ත ජීවියා ගැන ස්වාමීනි, ඔබ වහන්සේ මට කියාදුන් සැටි යළිදු මම සිහිපත් කරමි…”

 ධර්මය තුළ ස්ථිරව සැරිසැරීමේ හැකියාවත් ගැඹුරු ප්‍රඥාව මතුකර ගැනීමටත් මට කියාදුන්නේ ඔබ වහන්සේය. ඒ තුළ මාගේ ජීවිතය පිළිබඳ දැනුවත්භාවය ගැන සතුටුවීමට පමණක් නොව නොදැනුවත්භාවය පිළිබඳව දැනගැනීමට ද හැකියාවක් ලැබිණි. මාගේ ජීවිතය හැදුවාවූ, ජීවිතය

 රැක්කාවූ, අතින් පමණක් නොදී හිතින් ද හදවතින් ද දුන් මාගේ ගුරුදේවයාණන් වන ඔබ වහන්සේ සංසාරයේ

 ගහගෙන යන මා හට, මටම දිවයිනක් ලෙස නිර්මාණය වන්නට කියා දුන්නේ ගුරුමුෂ්ටි තියානොගෙනය. “ස්වාමීනි, ඒ සියල්ල සුන්දර මතකයන් සේ මා සිතේ තැන්පත්ව ඇත.”

 “මාගේ ගුරු ස්වාමීනි, අද මම දහමින් පොහොසත්ය. සිල්වත්භාවයෙන් ද පොහොසත්ය. මනුෂ්‍යත්වයෙන් ද පොහොසත්ය. මේ සියලු සුන්දරවූත්, පැහැදිලි වූත්,

 සුගන්ධවත් වූත් සිතිවිලි මා මනසට රසවත් අතුරපසක් ලෙස ආහාර කොට මා බුද්ධිය පෝෂණය කර මා පිවිතුරු

 සුගන්ධවත් පියුමක් බවට ඔබ වහන්සේ පත්කළ හැටි මනස්කාන්තය. ”

 මෙහි නේවාසිකව පුහුණු වැඩමුළු සඳහා බවුන් වැඩීමට හිතැති ඕනෑම කෙනකුට බවුන්සෙත් මානසික සුව සෙවනේ බවුන් කුටි මඬලේ කුටියක් වෙන් කර ගෙන විඩාබර සිත් නිවා සනසා ගැනීම උදෙසා බවුන්සෙත් කල්්‍යාණි මිත්‍ර එකමුතුවේ සවනා ගුරුගේ මහත්මිය දුරකථන අංක-0751188539 හෝ 0719617736 හෝ 0112402220ට අමතා ලබා ගත හැකිය.

 දිවයින පුරා විසිරී තිබෙන භාවනා මධ්‍යස්ථාන, අසපු හා ආරණ්‍ය අතුරින් ලාංකීය ඉතිහාසයට මෑතකදී එක් වූ බවුන්සෙත් මානසික සුව සෙවන අනාගතය වෙනුවෙන් මෙය රැක ගැනීම ලාංකීය අප සැමගේ වගකීමක්ම වන්නේය.

 කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩවසමින් භාවනා පුහුණුව, වනවාසී සම්ප්‍රදාය හා විදර්ශනා භාවනාව ප්‍රායෝගිකව අත්විඳිමින් දැනට එම භාවනා මධ්‍යස්ථානයේම භාවනා මධ්‍යස්ථානාධිකාරීන් වහන්සේ ලෙස උදාරතර ශාසනික සේවාවක නිරත වන දියසෙන්පුර විමල හිමියෝ විරාගී නිරාමිස සැනසීම සොයන පුහුදුන් අප හට මංපෙත් සාදා පාදා ගන්නට ගුරුහරුකම් දෙමින් සන්තානගත දුක් නිවීම සියල්ලටම වඩා උතුම් බව අපට පසක් කරවීමට දැඩි කැපවීමක් කරති.

 තවමත් තරුණ යතිවරයකු ලෙස කටයුතු කරන අපේ හාමුදුරුවන්ට සිය සසුන් මෙහෙවර තව තවත් සාර්ථක ලෙස කරගෙන යෑමට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී බව මෙන්ම දිඝාසිරි ලැබේවායි මෙත් සිතින් පතමු.

 ඡායාරූප හා සටහන:

 දෙල්ගොඩ ඩබ්ලිව්.ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment