යෝජනා 6  ඉටු නොකළාට විරෝධය – මල්වතු මහ නාහිමියෝ දේශපාලනඥයන්ට දොර වසති

231

කිසිදු දේශපාලනඥයකුට තමන් වහන්සේ බැහැදැකීම සඳහා අවසර ලබා නොදීමට මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් තීරණය කර ඇත.

ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ පූර්ණ එකඟතාව මත පවතින අර්බුදයෙන් රට මුදා ගැනීම පිණිස තාවකාලිකව සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් කර ජනපති, අගමැති හා පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කරන ලද ලියවිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මහනාහිමියෝ මෙම තීරණයට එළඹ තිබේ.

විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සමගි ජන බලවේගය මගින් ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් ලියවිල්ල මහ නාහිමිවරුන්ට පිළිගැන්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා මහනුවරට පැමිණි අවස්ථාවේ ඒ මහතාට මල්වතු මහ නාහිමියන් බැහැදැකීමට අවසර ලැබුණේ නැත.

අස්ගිරි මහ නාහිමියන් පමණක් බැහැදැක අදාළ ලියවිල්ල පිළිගැන්වීමට ඒ මහතාට සිදුවිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක්ද පසුගිය 29දා මල්වතු මහ නාහිමියන් බැහැදැක පවතින අර්බුදය සම්බන්ධයෙන් ඔවුන්ගේ යෝජනා ඇතුළත් ලියවිල්ලක් පිළිගැන්වීමට අවසර ඉල්ලා ඇති අතර ඔවුන්ටද මහ නාහිමියන් වේලාවක් ලබාදී නොමැත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් කැඳවා පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් තීරණය කර තිබේ.

සමන්ති වීරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment