රංගන ශිල්පියෙක් හැටියට මාව තෘප්තිමත් කරගන්න ටිකක් අමාරුයි

199

අධිරාජ්‍යයා නැතිව මංගල දර්ශනයට ගිය සොල්දාදුවා

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ක්‍ෂීර සාගරය කැලඹිණ සිනමා නිර්මාණයේ අධිරාජ්‍යයාට එරෙහිව සටන් කරන කැරලිකරුවා ඔහුය. චිත්‍රපටය නරඹන විට අපට පෙනුනේ මේ කැරලිකරුවා කිසිම විටක රංගනයෙන් අධිරාජ්‍යයා අබිබවා යෑමට උත්සාහ නොකරන සිනමා කැරලිකරුවකු බවය. ඇත්තටම මීට වසර අටකට ඉහතදී ප්‍රවේගයේ හේමාල් ලෙසින් රිදී තිරියට ආ මේ ආගන්තුකයා සැබෑවටම හේමාල් රණසිංහ ය. අද වන විට ඔහු නළුවා කියන වචනයේ පරිසමාප්ත අර්ථයටම සැබෑ සාධාරණයක් ඉෂ්ට කරන්න වෙර දරන නිසාම හේමාල් වෙනුවෙන් වැඩි ඉඩකඩක් වෙන් කරන්න ඕනෑ කියලා අපි හිතුවා.

ක්‍ෂීර සාගරය කැලඹිණ චිත්‍රපටයේ සොල්දාදුවාගේ චරිතයට මේ වෙනකොට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?

මුලින්ම සඳහන් කරන්න ඕනෑ සයිමන් නවගත්තේගම කියන දාර්ශනිකයා ගේ චින්තනය චිත්‍රපටයක් කරන්න මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට සිතුවිල්ලක් ඒම සහ මාව සොල්දාදුවාගේ චරිතයට තෝරාගැනීම ගැන ස්තුතිවන්ත වෙන්න ඕනෑ. ඒ වගේම මෙහි මුහුරත් උළෙලේදී ජැක්සන් ඇන්තනී නමැති අපේ ශ්‍රේෂ්ඨ ජේ්‍යෂ්ඨයා පැවසුවා සයිමන් නවගත්තේගමගේ ක්‍ෂීර සාගරය කැලඹිණ පොතම තිරනාටකයක් කියලා. එතකොට මේ තිර පිටපතම චිත්‍රපටයකට හරවන එකම අභියෝගයක් කියලත් කිව්වා. ඒ අභියෝගය ජැක්සන් ඇන්තනී වගේ කෙනකුට විතරයි ගන්න පුළුවන් කියලත් මම විශ්වාස කරනවා. ඔහු ක්‍ෂීර සාගරය කැලඹිණ නවකතාවට ඉතාමත් සාධාරණයක් සිනමාරූපීව කරලා තිබෙනවා. ඔහුගෙන් මා සම්බන්ධයෙන් ඇගයීමක් වෙන්න ඇති මේ චිත්‍රපටයට තෝරාගැනීමම. මට මුල්ම ප්‍රතිචාරය ලැබුණේ මහාචාර්යතුමාගෙන් තමයි. මම නැරඹුවෙත් මංගල දර්ශනයෙන්. මේ ක්‍ෂේත්‍රයේ මම බොහොම ගරුකරන කලාකරුවන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතිං මම ඒ ප්‍රතිචාර සියල්ලම කණ්ඩායම් හැඟීමෙන් තමයි භාරගත්තේ.

රංගන ශිල්පියෙක් හැටියට මාව තෘප්තිමත් කරගන්න ටිකක් අමාරුයි

පිටපත අතට ලැබෙනකොට හේමාල්, සයිමන් නවගත්තේගමගේ ක්‍ෂීර සාගරය කැලඹිණ නව කතාව කියවලා තිබුණ ද?

මම මුලින් පොත කියවලා තිබුණේ ගොඩක් කාලයකට කලින්. ඒ නිසා මට සමහර දේවල් අමතක වෙලා තිබුණා. චිත්‍රපටයේ පිටපත අතට පත්වුණාට පස්සේ මම නැවත වතාවක් කියවලා යම්කසි අධ්‍යයනයක යෙදුණා. හැබැයි මම මුලින්ම පිටපත කියවලා තමයි නැවත නවකතාව කියැව්වේ. එදා මුහුරත් උළෙලේදී තවත් සඳහනක් කළා, පොතේ තියෙන දේ බලාපොරොත්තු වෙන්න එපා කියලා. ඒ නිසා පොත නැවත වතාවක් කියෙව්වා, මේ දර්ශනය මට කාවද්ද ගන්න. චිත්‍රපටය කියන්නේ සිනමාරූපීව ඉදිරිපත් වුණු නිෂ්පාදනයක්.

මහාචාර්යතුමාගේ මීට පෙර ඔබ විජයබා කොල්ලය චිත්‍රපටයේ රඟපෑවා. ක්‍ෂීර සාගරය කැලඹිණ හි සොල්දාදුවා වෙනස් කරගන්න මොන වගේ උපක්‍රම ද භාවිතා කළේ ?

විජයබා කොල්ලයේ චරපුරුෂයකුගේ චරිතයකට සමාන චරිතයක් ලැබෙනකොට, ඉක්මනින් වෙස් මාරුකරගන්න හැඩයක් තමයි මම හදාගන්න උත්සාහ කළේ. ඒකෙදී මම මගේ කොණ්ඩය සම්පූර්ණයෙන් ම වගේ කපල හිටියේ. එතැනදී මම හිතුවේ ඉක්මනින් වෙස්මාරුවකට යන්න පුළුවන් වගේ චරිතයක්. මෙතැනදී මට ලැබුණේ කැරලිකරුවකු ගේ චරිතයක්, මේ චරිතය අපි කොහේවත් දැකලා නැහැ. සයිමන් නවගත්තේගම, කැරලිකාරයාගෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරනවා. ඉතිං මම එතැනදී හිතුවේ මේ කැරලිකාරයා කැලේම ජීවත්වන කෙනෙක් නම් ඔහු ගරිල්ලා සටන්කාකරයෙක් වෙන්න ඕනෑ. අපිළිවෙළට වැඩුණු කොණ්ඩය සහ ශරීරය මම ගොඩක් කෙට්ටු කරන්න උත්සාහ කළා. ගරිල්ලා සටන්කරුවකුගේ ක්‍ෂණික තීරණ ගැනීමේ හැකියාව පෙන්නුම් කරන්න මම උත්සාහ කළා.

රංගන ශිල්පියෙක් හැටියට මාව තෘප්තිමත් කරගන්න ටිකක් අමාරුයි

සොල්දාදුවට අධිරාජ්‍යයා නැතිව තමයි මංගල දර්ශනයට එන්න සිද්ධ වුණේ?

ඇත්තෙන්ම අධිරාජ්‍යයා නැතිව මංගල දර්ශනයට අපිට ලොකු ආලෝකයක් අහිමි වුණා. මේ චිත්‍රපටය ගැන හරියට කතා කරන්න පුළුවන් කෙනා තමයි අපිට එනකම් බලාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි සියලුදෙනාම රටක් හැටියට ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. වෙනදා තිබෙන සතුට අපි හැමෝගෙම තිබුණේ නැහැ. ජැක්සන් ඇන්තනී නමැති ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨයාණන්ගේ වෙනස්ම රඟපෑමක් මේ වෙලාවේ දැකගන්න පුළුවන් වේවි. මේ වෙලාවේ ඔහු රංගනයෙන් දායක වුණු වෙනස්ම චිත්‍රපටයක් වන දඩයම චිත්‍රපටය තිරගත වෙනවා. ඔහු අපිත් එක්ක දෙපයින් හිටගෙන ඉන්නේ නැති එක ගැන ලොකු කනගාටුවක් තිබෙනවා.

මේ චිත්‍රපටයේ අධිරාජ්‍යයා සහ සොල්දාදුවා එකිනෙකාට පරයා යන්න තිරේ උත්සාහ කළේ නැහැ. මේ සුසංයෝගය ඇතුළේ අපි ඒක දැක්කේම නැහැ. ඒක කලාතුරකින් දකින්න ලැබෙන්නේ.

ඇත්ත, ඒ දේවල් හින්දා තමයි මට මේ වෙලාවේ තියෙන ලොකුම කනගාටුව. අද දවසේ රංගන ශිල්පියෙක් විදිහට මට දැනෙන කනගාටුව මම හිතන්නේ අති විශාලයි කියලා. මේ චරිතවලට ජීවය දෙන්න ඕනෑ කොහොමද කියලා අපි ගොඩක් දේවල් ඔහුත් එක්ක කතා කළා. අපි කිසිකෙනකුට කිසිකෙනකු අබිබවා යන්න වුවමනාවක් තිබුණේ නැහැ. මොකද අපි රඟපාන්නේ චරිතයක්. එතකොට අධිරාජ්‍යයාගේ චරිතය දිහා ඉවසිල්ලෙන් බලාගෙන හිටියොත් ඒ හැඟීම් අධිරාජ්‍යයාගේ මැනලිසම් එක මොකක්ද කියන එක තේරෙනවා. මේ චිත්‍රපටය ඇතුළේ අධිරාජ්‍යයා කියන්නේ කැරලිකාරයාව විශ්වාස කරන පුද්ගලයෙක්. එතකොට ඔහු ඉතා ඉක්මනින් අධිරාජ්‍යයාව විශ්වාස කරනවා. මේ විශ්වාසයත් එක්ක පදනම් වෙලා යන සම්බන්ධයක් තමයි මේ චරිත දෙක ඇතුළේ තියෙන්නේ. අපිට හැම චරිතයක්ම වටිනා චරිතයක්. චිත්‍රපටය ඇතුළේ අපි කිසිම කෙනකුට තරගයක් තිබුණේ නැහැ.

රංගන ශිල්පියෙක් හැටියට මාව තෘප්තිමත් කරගන්න ටිකක් අමාරුයි

● ඔබට ඒ වෙලාවේ ජැක්සන් ඇන්තනී කියන රංගධරයා එක්ක තරගයක් තිබුණේ නැහැ?

චිත්‍රපටයක් කරනකොට කවමදාකවත් කිසිම කෙනකු එක්ක තරගයක් තිබෙන්න විදිහක් නැහැ. චිත්‍රපටයක් කියන්නේ සාමූහික හැඟීමකින් ඉෂ්ට සිද්ධ වන කාරණාවක්. ප්‍රධාන චරිතයක්, සුළු චරිතයක් කියලා දෙයක් මට නම් චිත්‍රපටවල නැහැ. මට නම් හැම චරිතයක්ම වැදගත්. ඒ හින්ද චිත්‍රපටවල චරිත අතර තරගයක් තියෙන්න විදිහක් නැහැ.

ලංකාවේ අපි අරගලයකටත් මුහුණ දුන්නා. එතකොට කැරලිකරුවාගේ චරිතය ඔබ සූක්‍ෂ්මව මෙහෙයවනවා.

සමහර විට ප්‍රේක්‍ෂකයකුට මේ චිත්‍රපටය බලනකොට හිතෙන්න පුළුවන් අපි අරගලයෙන් පස්සෙද මේ චිත්‍රපටය රූගත කිරීම් සිදුකළේ කියලා. නැහැ. අරගලයට කලින් තමයි මෙහි රූගත කිරීම් සියල්ල සිදුකළේ. එතකොට මේ අරගලය කියන නම පවා මීට කලින් පාවිච්චි වෙලා තියෙනවා. මම තවමත් කල්පනා කරන්නේ සයිමන් නවගත්තේගම කියන දාර්ශනිකයාගේ චින්තනය ගැන තමයි. මේ ප්‍රස්තුතය ඇතුළේ මොනවද නැත්තේ කියලා හිතෙනවා.

චිත්‍රපටය තිරගත වන වෙලාවේ ඔබට දිගු විදෙස් සංචාරයකට පවා සහභාගි වෙන්න වෙලා තිබෙනවා?

මම මේ වෙලාවේ විදෙස්ගත වෙන්නේ පසුගිය කොරෝනා වසංගතය දරුණුව පැවතුණ අවධියක. මගේ මිත්‍රයකුගේ ආරාධනාවෙන් තවත් රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ සහභාගීත්වයෙන් ප්‍රසංගයක් පවත්වන්න සූදානමින් හිටියා. ඉතිං ඒ දවස්වල තිබුණ ආර්ථික මට්ටම් අපහසුතා මැද්දේ අපිට සමහර වැඩ භාරගන්න සිද්ධ වුණා. ඉතිං ඒක අකැමැත්තෙන් නෙමෙයි. මම ලංකාවෙන් එළියට යන්නේ වැඩ අධික කාලවලදී නෙමෙයි. විවේකයක් ගන්නනේ යන්නේ. ඉතිං මේ වගේ ප්‍රසංගයකට යන්නේ විවේකයයි ප්‍රසංගයයි දෙකම ඔළුවේ තියාගෙන යන්නේ. චිත්‍රපටයක් තිරගත වන වෙලාවේ යන්න සිද්ධ වුණේ කාලයත් එක්ක ඇවිත් එකම තැනකටම වැටුණු හින්දයි.

හේමාල් වැඩක් භාර ගන්නකොට හරි පරිස්සම් වෙනවා. නළුවෙක් විදිහට ගොඩක් දෙනෙක් කරන වැඩක් නෙමෙයි ඒක. හරි අමාරු වැඩක්නේ?

ඒක ඇත්තටම අමාරු වැඩක්. නිර්මාණයක් කරනකොට ප්‍රේක්‍ෂකයාව සතුටු කරන්න කලින් මූලිකවම මම තෘප්තිමත් වෙන්න ඕනෑ. ඉතිං ලංකාවේ කරන හැම නිර්මාණයක් සම්බන්ධයෙන්ම මම තෘප්තිමත් කියලා මට කියන්න අමාරුයි. මම කරන හැම නිර්මාණයක් සම්බන්ධයෙන්ම මට අවශ්‍ය තෘප්තිය මට ලැබෙනවාද කියන කාරණාව සම්බන්ධයෙනුත් ප්‍රශ්න තියෙනවා. නමුත් මම රංගන ශිල්පියෙක් හැටියට මට කරන්න පුළුවන් යම් සීමාවක් තියෙනවානේ. මේ දේවල් සීයට සීයක් එකතැනකට නොඑන්න පුළුවන්. නමුත් අපිට මේක ගළපාගන්න පුළුවන් තැනකට එනකම් මම මගේ කාලය ගන්නවා.

වැඩවලට කතාබහ කරලා එන්නේ නැහැ කිව්වහම අමනාප වුණු අවස්ථා එහෙමත් තියෙනවාද?

ඔව්, ඒ වගේ අවස්ථා ඇති තරම් තියෙනවා. එතැනදී මම විශ්වාස කරන්නේ මම තෘප්තිමත් නැතිව මම වැඩක් භාරගැනීමෙන් ඒ අධ්‍යක්‍ෂකවරයාට, නිෂ්පාදකවරයාට වගේම ප්‍රේක්‍ෂකයාට කරන අසාධාරණයක් හැටියටයි. ඉතිං එහෙම අවස්ථා ගණනාවක් මගේ ජීවිතයේ තිබෙනවා. මට වඩා ඒ චරිතය හොඳට කරන්න පුළුවන් රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉන්නත් පුළුවන්.

ඔබේ චිත්‍රපටයක් තිරගත වෙන්නේ කාලෙකට පස්සේ. එහෙමද?

මගේ අන්තිමට තිරගත වුණු චිත්‍රපටය තමයි සෙකන්ඩ් ෂෝ. ඒ මීට වසර තුනකට පමණ උඩදී.

ඔබ ඔබව පවත්වාගෙන යන්න සෑහෙන වෙහෙසක් දරනවා. එතකොට වැඩිපුර ඉන්නේ හිතවතුන්ද, තරහකාරයෝද?

මට නම් ඉන්නේ හිතවතුන්. මම දන්නෙ නැහැ තරහකාරයෝ ඉන්නවද නැතිද කියලා. මම ඒ ගැන වැඩිපුර හිතන්න යන්නෙත් නැහැ. මම මිනිස්සු ආශ්‍රය කරන්නේ හිතවතුන් හැටියට තමයි.

ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවාද?

ආරාධනා ඉස්සර නම් ලැබුණා. දැන් නම් එහෙම ලැබෙනවා ටිකක් අඩුයි. කොහොමත් ඒගොල්ලොත් දන්නවා මට කතා කරන එකේ තේරුමක් නැහැ කියලා. ඒ කාලෙත් මම කිව්වේ ටෙලි නාට්‍යවලට අකැමැත්තක් නැහැ කියලා. නමුත් මගේ වැඩි කැමැත්ත තියෙන්නේ චිත්‍රපටවලට.

මේ ක්‍ෂේත්‍රයේදී පෙනුම නඩත්තු කිරීම හරිම අමාරු වැඩක්. ඒක කොහොමද ඔබ කරගෙන යන්නේ?

අවංකවම එහෙම අමුතුවෙන් මොකුත් කෙරෙන්නේ නැහැ. පුළුවන් තරම් හිත පිරිසිදුවෙන් ඉන්න උත්සාහ කරනවා. ඒක තමයි තියෙන එකම දෙය.

අධ්‍යක්‍ෂණයට අතගසන්න කාලය හරි කියලා හිතෙන්නේ නැතිද?

තවම රංගන ශිල්පියෙක් හැටියට මට කරන්න ආස දේවල් මම කරලා නැහැ. ඒක හින්ද මට රංගන ශිල්පියෙක් හැටියට මාව තෘප්තිමත් කරගන්න ටිකක් අමාරුයි. අධ්‍යක්‍ෂණය කියන්නේ එසේ මෙසේ කටයුත්තක් නෙමෙයි. මම හිතන්නේ මට ඒකට තව කල් තිබෙනවා කියලයි.

හේමාල්ට දේශපාලනයට එන්න කියලත් ආරාධනා ලැබිල තිබෙනවාද?

ලැබිලා තිබෙනවා. නමුත් දේශපාලනය කියන්නේ මගේ මාතෘකාවක් නෙමෙයි.

ඔය අතරේ ජීවිතයේ වෙනසක් කරගන්න අදහසක් නැතිද?

ජීවිතයේ වෙනසක් කියන්නේ මොන වගේ වෙනසක්ද? ඉතිං අපි බලමු හෙට දවස කොහොම වෙයිද කියලා.

ආපහු කොච්චර කාලයකින්ද හේමාල්ව රිදී තිරයෙන් දකින්න ලැබෙන්නේ?

බොහොම ඉක්මනින් ආපහු දකින්න ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඒ අරුණ ජයවර්ධනගේ මාරියා චිත්‍රපටයෙන්. එහි වැඩ කටයුතු අවසන් වෙලා ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට පවා ලක්වෙලා තිබෙනවා. ඒ වගේම ඔහුගේම 1970 ලව් ස්ටෝරි චිත්‍රපටයත් ලයිනප් එකේ තිබෙනවා. තව රියල් ඉමේජ් චිත්‍රපටයත් එන්න තිබෙනවා. ඔය අතරෙ තව වාණිජමය චිත්‍රපටයකුත් තිබෙනවා.

සිනමාවේ කැමති මොන වගේ චරිතවලටද?

වැඩි කැමැත්ත තියෙන්නේ ප්‍රවේගකාරී චරිතවලට තමයි. අදටත් එළියට ගියහම පොඩි ළමයි පවා කියන්නේ ප්‍රවේගයේ හේමාල් කියලා. ඒක මගේ ජීවිතයේ ලොකු පෙරළියක් කරපු චරිතයක්. ප්‍රවේගය කියන්නේ හේමාල්ගේ නැවත ඉපදීමක් තමයි. දැන් ඉතිං ඉපදිලා බලාගෙන ඉන්නවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment