රංචු ගැසී ‘දූෂණය’ කළ ශ්‍රී ලංකාව

841

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න දේශද්‍රෝහීන් ලෙස කණ්ඩායම් තුනක් නම් කර ඇත. රටේ මූල්‍ය තත්ත්වය ව්‍යසනකාරී ලෙස පිරිහී ඇති තත්ත්වයක් යටතේ අත්‍යවශ්‍ය එලෙසම තව දුරටත් ප්‍රමාද කළ නොහැකි ආර්ථික . දේශපාලනික . සමාජීය ප්‍රතිසංස්කරණ කළ යුතු බව එතුමා අවධාරණය කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වන තුරු ආණ්ඩුව බලා සිටිය යුතු නැත. අවශ්‍ය ප්‍රතිසංස්කරණ වහා ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන දේශපාලන පක්ෂ සහ එම ක්‍රියාවලියට විරුද්ධ වන වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන දේශ ද්‍රෝහීන් ලෙස ජනතාව හඳුනා ගන්නා බවට කළ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ අවධානයට යොමු විය යුතුය. ආණ්ඩුවට ගැළපෙන ආකාරයේ 21 වන ව්‍යවස්ථා සංශෝධනයක් නීතිගත කිරීමෙන් වර්තමාන අර්බුදකාරී තත්ත්වය සමනය කළ නොහැකිය. ආණ්ඩුවට සහ විපක්ෂයට මායාදුන්න මහතා මතු කළ කරුණු කාරණා සම්බන්ධයෙන් තව දුරටත් අන්ධයන්, ගොළුවන් සහ බිහිරි පුද්ගලයන් ලෙස සිටිය නොහැක. ශ්‍රී ලංකාව තීරණාත්මක අභියෝගයකට මුහුණ දී ඇත. අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට වහාම නොගියහොත් ශ්‍රී ලංකාව නැවතත් ගල් යුගයකට යනු ඇත.

ශ්‍රී ලංකාව නැත්තටම නැති කළ අතිශය විනාශකාරී පක්ෂ දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නව ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්න කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ අවධානයට ලක් විය යුතුය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එතුමාව මෙම තනතුරට පත් කිරීමට පෙර අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ මායාදුන්න පසුගිය වසර 30 දී එජාපය සහ ශ්‍රීලනිපය නායකත්වය දුන් සියලුම ආණ්ඩුවල සැබෑ තත්ත්වය අවධාරණය කළේය. මායාදුන්න මහතා මැයි 28 කොළඹ තැපැල් ශ්‍රවනාගාරයේදී කළ ප්‍රකාශය විමසා බැලිය යුතු වන්නේ මැයි 25 දින ශ්‍රී ලංකා මහා බැංකුවේ ඉහළ නායකත්වය (එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු) සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම් මහින්ද සිරිවර්ධන පොදු ව්‍යාපාර කාරක සභාව ඉදිරියේ කළ හෙළිදරව් ද සැලකිල්ලට ගැනීමෙනි.

වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල අවධානය මෙම ප්‍රකාශවලට අනිවාර්යෙන්ම යොමු විය යුතුය. සමස්ත ආර්ථිකය බිංදුවටම බැස්සවූ කණ්ඩායම සම්බන්ධයෙන් ඉතාමත් පැහැදිලි අවබෝධයක් රටට දිය යුතුය.

සමස්ත ජනතාවගෙන් අති බහුතරයක් හිඟමනට පත් කළ ආසන්නතම හේතුව පොදු ව්‍යාපාර කාරක සභාව ඉදිරියේ හෙළිදරව් වී ඇත. වර්තමාන පෝළිම් යුගයේ නිර්මාතෘවරු කවුරුදැයි පාර්ලිමේන්තුවේදීම හෙළි වී ඇත.

ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහින්ද සිරිවර්ධන සහ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් වන ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ ආචාර්ය රාණි ජයමහ ඉතාමත් පැහැදිලිව නිදහසින් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම අර්බුදයේ නිර්මාතෘවරුන් ලෙස හිටපු අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, මහ බැංකුවේ අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල් සහ එවකට ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මත වගකීම පවරා ඇත.

පොහොට්ටු ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් නායකත්වය දෙන පොදු ව්‍යාපාර කාරක සභාවේ දී සමගි ජනබලවේගය නියෝජනය කරන පාඨලී චම්පික රණවක සහ ආචාර්ය හර්ෂ ද සිල්වා කළ ප්‍රශ්න කිරීම හමුවේ චෝදනාවට ලක්වූ මහජන නියෝජිතයන් සහ නිලධාරීන් රට අකර්මණ්‍ය කළ ආකාරය හෙළිදරව් විය. ඒ විනාශකාරී ක්‍රියාදාමය ආරම්භ වන්නේ 2020 මාර්තු .අප්‍රේල් කාලයේදී බව අවධාරණය විය.

නමුත් 2010.2015 ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණ අමාත්‍ය වූ බැසිල් රාජපක්ෂගේ භූමිකාව සහ ඔහු මුදල් ඇමැති ලෙස (ජුලි 2021 . මාර්තු 2021) කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් අවධානය මෙහිදී යොමු නොවීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ හතර ගාතෙන් වැටී සිටින වර්තමාන ආණ්ඩුව 2020 දී එම ආයතනය දුන් උපදෙස් නොසලකා ක්‍රියාකළ බව ඔප්පු වී ඇත. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය වහාම ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට කළ අවවාදය කුණු කූඩයට දැම්මේය. රාජ්‍ය බදු කපා හැරීම කිසිසේත් නොකළ යුතු බවට කළ උපදෙස ද නොසලකා හැරියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළ පළමු අවවාදය ඉවත දැමීමට තීන්දුව ගත්තේ ආචාර්ය ජයසුන්දර බව වර්තමාන මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත. නමුත් රුපියල් බිලියන 600 බදු කපා හැරීමට ගත් ක්‍රියාමාර්ගයට වගකිවයුත්තා නම් කළේ නැත. නමුත් එම බදු කපා හැරීම සම්බන්ධයෙන් ගත් තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුව මහ බැංකුවෙන් කිසිදු විමසීමක් නොකළ බවද එතුමා ප්‍රකාශ කළේය.

ජනාධිපති නීතිඥ ජයවර්ධන සහ ආචාර්ය ජයමහ පැවසුවේ එවකට මහා බැංකු අධිපති මහාචාර්ය ලක්ෂ්මන් (මුදල් මණ්ඩලයේ සභාපති), මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල සහ සමන්ත කුමාරසිංහ ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 203 පවත්වා ගැනීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුන් උපදෙස් නොසලකා කටයුතු කිරීමේ බරපතළ වරදට වගකීම ගත යුතු බවයි. නමුත් රණවක සහ හර්ෂ ද සිල්වා මහජන නියෝජිතයන් ඉතාමත් නිවැරදිව දිගින් දිගටම අවධාරණය කළේ නිලධාරීන්ට තම වගකීම් සහ වගවීම්වලින් කිසිසේත් ගැළවිය නොහැකි බවයි.

වසර 30 කට වැඩි කාලයක් රාජ්‍ය සේවයේ සිටි, තවමත් සිටින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් මායාදුන්න දේශපාලන නායකත්වයේ රෙදි ගැළවීම විමසා බැලිය යුත්තේ නිලධාරී පැලැන්තියේ වගකීම සහ වගවීමද විමසා බලමිනි. තත්ත්වය අවාසනාවන්තය.

තමිල්නාඩුවෙන් පිනට ලැබෙන සහල් ලබා ගැනීමට ශ්‍රී ලංකාව පත් කළ දේශපාලන නායකත්වය සහ ඉහළ නිලධාරී පැලැන්තිය ලැජ්ජා වියයුතු නොවේද? වගකිව යුතු නොවේද? වගවිය යුතු නොවේද? දේශපාලන නායකත්වය සහ ඉහළ නිලධාරී පැලැන්තිය සාමුහිකව ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් කර ඇත. රංචු ගැසී රටක් විනාශ කර ඇත. තවදුරටත් විනාශ කරමින් සිටින බව නොකියා බැරිය. වර්තමාන මහා බැංකු නායකත්වය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් කළ හෙළිදරව් සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? සියලුම දේශපාලන පක්ෂ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පෙනේ. පොදු ව්‍යාපාර කාරක සභාව ඉදිරියේ රණවක සහ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරුන් කළ සටන පාර්ලිමේන්තුව තුළ සිරවිය යුතු නැත. මායාදුන්න මහතා අනතුරු අඟවන සමස්ත ආර්ථිකය කඩා වැටීමට වගකිව යුතු ආණ්ඩු කළ දේශපාලන පක්ෂ, ජනාධිපතිවරයා, මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් ජනතාව කෙලෙස ප්‍රතිචාර දැක්විය යුතුද ?

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ඉදිරියේදී ක්‍රියාකරන ආකාරය ජනතාව අවධානයෙන් සිටිය යුතුය. දේශපාලනිකව කෙතරම් අහිතකර වුවත් වර්තමාන ආණ්ඩුව සහ විපක්ෂය ගත යුතු තීන්දු තීරණ ඇත.

ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට හේතුවූ ප්‍රධානතම කරුණක් ලෙස මායාදුන්න මහතා අවධාරණය රටේ ආර්ථිකයට දරා ගත නොහැකි රාජ්‍ය සේවයයි. වර්තමාන විනාශකාරී තත්ත්වයට තමන් ඇතුළු පසුගිය දශක තුන තුළ රාජ්‍ය සේවයේ නියුතු සියලුම නිලධාරීන් අඩු වැඩි වශයෙන් වගකිව යුතු බව පිලිගත් මායාදුන්න මහතා ශ්‍රී ලංකාවට උහුලාගත නොහැකි රාජ්‍ය සේවය රටට සාපයක් වී ඇති ආකාරය අවධාරණය කළේය. එතුමා කළ බරපතළ ප්‍රකාශ ගොන්නට සාධාරණය කිරීමට සමස්ත මුද්‍රිත මාධ්‍යට නොහැකි විය. රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාලා නොවන්නට සත්‍යය ජනතාව දැනගන්නේ නැත.

පාර්ලිමේන්තුව මහජන නියෝජිතයන්ගේ වරප්‍රසාද, රාජ්‍ය ව්‍යපෘති සහ බඳවා ගැනීම් සම්බන්ධයෙන් වගකීමෙන් ක්‍රියා කළ යුතු ආකාරය අවධාරණය කළ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය සේවය රටට දරාගත නොහැකි ආකාරයේ පීඩනයක් වී ඇති ආකාරය මෙලෙස පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය ලක්ෂ 5 ක් රාජ්‍ය සේවයකි. පවතින තත්ත්වය අනුව එය ලක්ෂ 8 ක් දක්වා ප්‍රසාරණය කිරීම රටට දරාගත හැකිය. නමුත් වර්තමානයේ රාජ්‍ය සේවය මිලියන 1.5 ඉක්මවා ඇත. විශ්‍රාම වැටුප් ගෙවීමත් අර්බුදකාරීය. තීරු බදු රහිත වාහනයක් ආනයනය කිරීමේ බලපත්‍රය අද රටේ පවතින තත්ත්වය මත වටිනාකමක් නොමැති කොළයකි. රුපියල් බිලියන 17 ක් වන රාජ්‍ය සේවයේ පාරිතෝෂික දීමනා ගෙවීමට ශක්තියක් ආණ්ඩුවට නැත. මුදල් අච්චු ගසා රටේ අවශ්‍යතාවය පිරිමසා ගන්නා තත්ත්වයට ආණ්ඩුව පත්වී ඇත. මායාදුන්න මහතා අවධාරණය කළ කරුණු කාරණා ශ්‍රී ලංකාවේ අනාගතයට බරපතළ තර්ජනයකි. ව්‍යසනකාරී තත්ත්වයකි. ආණ්ඩුව සහ විපක්ෂය මෙන්ම ජනතාව අර්බුදයේ දිග පළල තවමත් තේරුම්ගෙන නැත.

සමස්ත ජනතාවගෙන් අති බහුතරයක් හිඟමනට පත් කළ ජනතා නියෝජිතයන් සහ ඉහළ නිලධාරී පැලැන්තිය තවමත් යහතින් සිටී. ශ්‍රී ලංකාව පසුගිය වසර 30 තුළම ආණ්ඩු කළ සියලුම පක්ෂ සහ එම පක්ෂ නායකත්වය දුන් සන්ධාන කර ඇත්තේ රට අවුලෙන් අවුලට පත් කිරීම බව තවදුරටත් රහසක් නොවේ. පාර්ලිමේන්තු කාරක සභාවලින් හෙළිදරව් වන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණ ක්‍රියාවලිය අතිශය ප්‍රශ්නසහගත බවයි.

නිවැරදිව, රටේ අනාගතය සහ ජනතාවගේ සුරක්ෂිතභාවය සලකා ගත් තීරණයක් නැති තරම්ය. පෙට්ටි කඩයක් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වඩා පිළිවෙළකට කරනු ඇත. බොරු, කයිවාරුකාර අතිශය දූෂිත රැලක් දශක තුනක් තිස්සේ ශ්‍රී ලංකාව ග්‍රහණයට ගෙන ඇත. හිටපු කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තු අතරින් නමුත් 2010.2015 ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණ අමාත්‍ය වූ බැසිල් රාජපක්ෂගේ භූමිකාව සහ ඔහු මුදල් ඇමැති ලෙස (ජුලි 2021 . මාර්තු 2021) කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් අවධානය මෙහිදී යොමු නො වීය. පාර්ලිමේන්තුව ඊට මෙවලමක් පමණි. පාර්ලිමේන්තු අතරින් හොඳම පාර්ලිමේන්තුවක් ලෙස යහපාලන කථානායක කරු ජයසූරිය හැඳින්වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තත්ත්වය විමසා බැලිය යුත්තේ කාරක සභා කරනු ලබන හෙළිදරව් අවධානයට ලක් කිරීමෙනි.

පාර්ලිමේන්තුව දේශපාලන පක්ෂ, එම පක්ෂවල නියෝජිතයන්, රාජ්‍ය සේවයේ ඉහළ තලය, දූෂිත ව්‍යාපාරික ප්‍රජාව සහ වන්දි භාට්ටයන්ගේ යහපත පිණිස බව අමුතුවෙන් කිව යුතු නැත. ජනතාවට ඇති ප්‍රයෝජනයක් නැත.

ආර්ථිකය කඩා වැටීමත් සමඟ වර්තමාන හිඟන පාත්‍රය රැගෙන ලෝකය ඉදිරියට ගොස් ඇත. ඉන්දියාවේ ප්‍රාන්තයකින් මානුෂීය ආධාර ලබා ගැනීමට තරම් තත්ත්වය බරපතළය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ අඩු වැඩි වශයෙන් ජනතාවගෙන් සමාව ගත යුතුය. පෙරදිග ධාන්‍යාගාරය වූ ශ්‍රී ලංකාව තමිල්නාඩු ප්‍රාන්තයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 2 ආධාර ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇත. බංග්ලාදේශයද සැලකියයුතු මූල්‍ය සහ බෙහෙත් ආධාර ලබා දී ඇත. පිනට ලැබෙන ආධාර භාර ගන්නා මහජන නියෝජිතයන් එම තත්ත්වයෙන්ද උපරිම ප්‍රයෝජන ගනිති. ජනතාවට ආධාර බෙදා දෙන ඡායාරූප මාධ්‍යයේ පළකරවා ගනී. කිසිදු ලැජ්ජාවක්, හිරිකිතයන් නැත. අනුන්ගේ ළමයින්ට උප්පැන්න දීම හැර මෙවැනි ක්‍රියා සමාන වන වෙනත් අවස්ථාවක් නැත. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතකදී ඉන්දියාවෙන් නොමිලේ ලබා දුන් ඉන්ධන උතුරේ ධීවරයන්ට බෙදා දෙන ඡායාරූප මාධ්‍යයට නිකුත් කළේය. මානුෂීය ආධාර ප්‍රදානය කරන රටවල් ශ්‍රී ලංකාව අවඥාවට ලක් කරන බව කපටි දේශපාලනඥයන්ට තේරෙන්නේ නැද්ද ? ශ්‍රී ලංකාව විනාශ කිරීමට විදේශීය සතුරු බලවේග අවශ්‍ය නැත. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තරු පහේ ‘ඩිමොක්‍රසිය’ තුළ රට විනාශ කිරීමේ වගකීම මහජන ඡන්දයෙන්ම පත්වූ දේශපාලන පක්ෂ සිදු කරයි. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා වෙළෙඳපොළ තුළ නැති කළේ එම විනාශකාරී දේශපාලනයයි. යුරෝපීය සහ ශ්‍රී ලාංකික මහජන නියෝජිතයන්ටම ආවේනික වූ සුදු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව තුළ රජකරන රොත්ත (කවුරු බලයේ සිටියත්) අති බහුතර ජනතාවක් එක වේලක් නිසියාකාරව ගැනීමට නොහැකි තත්ත්වයට පත් කර ඇත. වසර 90 ක ඡන්ද උරුමය ජනතාවට දායාද කළ ‘වටිනාකම’ හිඟමනයි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment