රක්ෂිතයේ ඉඩම්වලට ප‍්‍රාදේශීය ලේකම් බලපත‍්‍ර දෙනවා මේ වගේ අල්ල ගත්ත ඉඩම් ඕන තරම් තියෙනවා – දිසා වන නිලධාරි – මත්තල ඉඩම් කොල්ලය සොයා බැලීමට ගිය දිස්ත‍්‍රික් ලේකම් හා දිසා වන නිලධාරි අතර උණුසුම් තත්ත්වයක්

385


* ඉඩම් ජාවාරම පිළිබඳව වහා සොයා බලා  නීතිය ක‍්‍රියාත්මක කරන්න – දිස්ත‍්‍රික් ලේකම්වරයා

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල ආසන්යේ ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ප‍්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ හිතවත්කම් මත හෙළි පෙහෙළි කර අල්ලා ගැනීමේ ජාවාරමක් පිළිබදව මාධ්‍ය සිදු කළ අනාවරණයෙන් පසු ඒ පිළිබඳව සොයා බැලීම සඳහා හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් එච්.පී. සුමනසේකර මහතා පසුගිය(10) දා සවස මත්තලට පැමිණියේය.

එහිදී දිසාපතිවරයා හා දිසා වන නිලධාරීවරයා අතර දැඩි උණුසුම් තත්වයක්ද ඇති විය.

පහළ මත්තල වැව ආසන්යේ ඇති ඝන කැලෑ ඉඩම් අක්කර 30ක් පමණ මෙලෙස අල්ලා කොටුකරගෙන ඇති අයුරු දිස්ත‍්‍රික් ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක්විය. දිස්ත‍්‍රික් ලේකම්වරයා එහි යන අවස්ථාව වන විටත් කැලෑ කපා ගිනි තබා තිබුණු අතර එහි සිදුවන ඉඩම් ජාවාරම සම්බන්ධයෙන් කරුණු රැුසක්ද අනාවරණය කර ගැනීමටද දිස්ත‍්‍රික් ලේකම්වරයාට හැකිවිය. මෙහිදි දිසා වන නිලධාරීන්ගේ උදාසීන ක‍්‍රියා කලාපය පිළිබඳවද දිස්ත‍්‍රික් ලේකම්වරයාගේ දැඩි විවේචනයට ලක් වූ අතර මෙම ඉඩම් ජාවාරම පිළිබඳව වහා සොයා බලා අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට දිස්ත‍්‍රික් ලේකම්වරයා දිසා වන නිලධාරී රෝහණ අමරතුංග මහතාට දැනුම් දීමත් සමග දිස්ත‍්‍රික් ලේකම්වරයා හා දිසා වන නිලධාරීවරයා අතර උණුසුම් තත්වයක් ඇති විය.

මෙහිදී ලූණුගම්වෙහෙර දිසා වන නිලධාරී රෝහණ අමරතුංග මහතා කරුණු පැහැදිළි කරමින් දිසාපතිවරයාට පැවසුවේ වන සංරක්ෂණයට අයත් සමහර ඉඩම් සඳහා ලූණුගම්වෙහෙර ප‍්‍රාදේශීය ලේකම්වරයා විසින් බලපත‍්‍ර ලබා දීම නිසා ඔවුන්ට ඊට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත් මේ වැනි ඉඩම් තවත් මේ ප‍්‍රදේශයේ ඕනෑ තරම් තිබෙන බවත්ය. එහිදී දිස්ත‍්‍රික් ලේකම් වරයා දිසා වන නිලධාරීවරයාට පැවසුවේ එලෙස බළහත්කාරයෙන් අල්ලාගෙන ඇති ඉඩම් පිළිබදව තොරතුරු ඇත්නම් ඉඩම් අල්ලාගෙන තිබෙන බව පවසමින් නිහඩව නොසිට නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසයි. කෙසේ වෙතත් මෙහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිස්ත‍්‍රික් ලේකම්වරයා පැවසුවේ දිසා වන නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීගේ උදාසීන ක‍්‍රියා කලාපය මේ සඳහා හේතුවී ඇති බවයි.

එමෙන්ම දිසා වන නිලධාරීවරයා මෙහිදී පැවසුවේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීති ප‍්‍රකාරව කටයුතු කරන බවයි. එහිදී මාධ්‍යවේදීන් දිසා වන නිලධාරී වරයාගෙන් විමසුවේ මෙතෙක් මේ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොකළේ මන්ද යන්නයි. එහිදී දිසා වන නිලධාරීවරයා පැවසුවේ ඒවාට පසුව පිළිතුරු දෙන බවත් මේ සම්බන්ධයෙන් හෙට සිට නීතිය ක‍්‍රියාත්මක කරන බවත්ය. මේ සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් පවසන්නේ දේශපාලන හිතවත්කම් මත මෙම ඉඩම් අල්ලා ගැනීම සිදුවෙන බවත් මේ සම්බන්ධයෙන් අවස්ථා ගනනාවකදීම දිසා වන නිලධාරීවරයා ඇතුළු වන සංරක්ෂණ නිලධාරීන් දැනුවත් කලත් කිසිදු ප‍්‍රයෝජනයක් නොවුණු බවත්ය. එමෙන්ම දිස්ත‍්‍රික් ලේකම්වරයා පැමිණ මේ සම්බන්ධයෙන් සොයා බැලීම සම්බන්ධයෙන්ද ප‍්‍රදේශයේ ජනතාව දැඩි ප‍්‍රසාදය පළකරති.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment